“ආදිච්චබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් පුථුජ්ජනයෝ දෙදෙනෙක් දෙසන ලද්දාහුය. එකෙක් අන්‍ධපෘථග්ජනයායි. අනෙකා කල්‍යාණ පෘථග්ජනයායි. (යනුවෙන්)
පෘථග්ජනයෝ දෙදෙනෙක් කියනලදහ.” ඔවුනතුරෙන් අන්‍ධපෘථග්ජනයා (මෙහිදී) කියනලදැයි දතයුතිය.
යථාභූතං නප්පජානාති යනු මේ භවාංග සිත මෙසේ ආගන්තුකවූ කෙලෙසුන්ගෙන් කිළිටිවූයේ නම්වෙයි. මෙසේ මිඳුණේ නම්වේයයි ස්වභාවයට අනුව නොදනියි. තස්මා යනු යම්හෙයකින් නොදනියිද එහෙයිනියි. චිත්තභාවනා නත්‍ථි යනු සිත නවත්වා ගැනීමක්, සිතේ අයිතියක් නැත. නැති බැවින්ම නැතැයි කියමැයි දක්වනුලබයි.
දෙවැන්නෙහි සුතවා යනු ශ්‍රැතවත්බවින් යුක්තවූයේයි. විස්තර වශයෙන් මෙහි අස්සුතවා යන පදයට ප්‍රතිපක්‍ෂ වශයෙන් අර්‍ත්‍ථය දතයුතුයි. අරියසාවකො යනු බුදුවරුන් හා පසේබුදුවරුන් යම්සේද එසේ වූ ශ්‍රාවක නොවන ආර්‍ය්‍යයෙක් ඇත. නොලද (සෝවාන් ආදී) ඵල ඇති ගිහියා යම්සේද එසේවූ ආර්‍ය්‍ය නොවන ශ්‍රාවකයෙක් ඇත. අන්‍යතීර්ථකයෝ යම්සේද එසේවූ ආර්‍ය්‍යනොවූද ශ්‍රාවකනොවූද අයෙක් වෙත්. පැමිණි ඵල ඇති සසුන දන්නා ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ යම්සේද එසේවූ ආර්‍ය්‍යවූද ශ්‍රාවකවූද අයෙක්වෙත්. මෙහි වනාහි ගිහියෙක් හෝ වේවා! පැවිද්දෙක් හෝ වේවා! යම් කිසි සුතවා යනුවෙන් මෙහි කියනලද පදයාගේ අර්‍ත්‍ථවශයෙන් ශ්‍රැතවත්වූ මේ ආර්‍ය්‍යශ්‍රාවකයායි දතයුතුයි. යථාභූතං පජානාති යනු මෙසේ මේ භවාංග සිත ආගන්තුකවූ කෙලෙසුන්ගෙන් මිදුණේ වෙයි. මෙසේ කිළිටිවූයේයි ස්වභාවය පරිද්දෙන් දනී. චිත්තභාවනා යනු සිත නවත්වා ගැනීමක්, සිතේ අයිතියක් ඇත. ඇති බැවින්ම ඇතැයි කියමැයි දක්වනු ලබයි. මෙම සූත්‍රයෙහි බලවත් විදර්‍ශනාව කියනලදී ඇතමෙක් තරුණවිදර්‍ශනාවයයි කියති.
තෙවැන්න අර්‍ත්‍ථොත්පත්තියෙහි කියනලදී. කවර අර්‍ත්‍ථොත්පත්තියකදීදයත්! අග්ගික්‍ඛවන්‍ධාපම සූත්‍රාන්ත අර්‍ත්‍ථොත්පත්තියෙහියි. භාග්‍යවතුන්වහන්සේ වනාහි එක් සමයෙක්හි සැවත්නුවර ඇසුරුකොට දෙව්රම් මහවෙහෙරෙහි වාසය කරනසේක. යම්කිසි තැනක වසන්නාවූ බුදුවරුන්ගේවනාහි පසු ආකාර කෘත්‍යයක් අත්නොහරින ලද්දේම පවතියි. පෙරබත්කිස, පෙරයම්කිස, මැදියම්කිස, පැසුලු යම්කිසයයි බුදුකිස පසෙකි.
එහි මේ පෙරබත් කිසයි: භාග්‍යවතුන්වහන්සේ වනාහි උදෑසනින්ම නැගිට, උපස්ථායකයන්ට අනුග්‍රහා සඳහාත් ශරීරපහසුව සඳහාත් මුව දෙවීම් ආදි සිරුර පිරිසුදු කිරීම්කොට පිඬුසිඟායන වේලාව දක්වා විවේකාසනයක කල් යවා පිඬු හැසිරෙන වේලෙහි හැඳ කාබහන (සිවුරැපටිය) බැඳ සිවුර පොරවා පාත්‍රය රැගෙන කිසිවිටෙක හුදෙකලාව කිසිවිටෙක බික්සඟන පිරිවරනලදුයේ ගමය හෝ නියම්ගමට පිඬුපිණිස පිවිසෙනසේක. ඇතැම්විටෙක ප්‍රකෘතියෙන්ද ඇතැම්විටෙක පවත්වනු ලබන්නාවූ නොයෙක් පෙළහරින්ද යුතුවයි. කෙසේදයත්? පිඬු පිණිස හැසිරෙන බුදුරජාණන්වහන්සේට පෙරටුව ගොස් මෙළෙක් ගති ඇති සුළඟ පොළොව පිරිසුදු කරයි. වලාකුළු දියබිඳු හෙළමින් මගෙහි දූවිලි සංසිඳුවා මත්තෙහි වියනක් වී සිටියි. අන් සුළඟක් මල් රැගෙනවුත් මඟෙහි විසුරුවයි. උස්වූ බිම්පෙදෙස් පහත්කරයි. පහත් බිම්පෙදෙස් උස්කරයි. පා තබන විට සමබිමක් වෙයි. සුවපහස් ඇති නෙළුම්මල් හෝ දෙපා පිළිගනියි. දකුණුපස ඉන්‍ද්‍රඛීලයෙන් (නුවරදොරටුව ඉදිරියේ ඇති ස්තම්භයෙන්) ඇතුළතට තැබූ කෙණෙහි සිරුරෙන් සවණක් රැස්නික්මී පහයකුළුගෙවල් ආදිය රන්රස කලබ් මෙන්ද සිතුවම්පටකින් වටකරනලද්දාක් මෙන්ද කරමින් ඔබිමොබ විසිරෙයි. ඇත්අස් කුරැළු ආදීහු තම තමන්ගේ තැන්වල සිටියාහුම මිහිරි අයුරින් හඬනංවත් බෙර වෙණ ආදී තූර්‍ය්‍යභාණ්ඩයෝද මිනිසුන්ගේ සිරුරුගත අබරණද එසේමය. ඒ දැනීමෙන් මිනිස්සු අද භාග්‍යවතුන්වහන්සේ පිඬු පිණිස පිවිසිසේක්යයි දනිති. ඔවුහු මනාව හැඳ මනාව පොරවා සුවද මල් ආදිය ගෙන ගෙවලින් නික්ම ඇතුල්වීදියට එළඹ භාග්‍යවතුන්වහන්සේ ගඳමල් ආදියෙන් මනාව පුදා වැඳ, ‘ස්වාමීනි, අපට භික්‍ෂූන් දසනමක්, අපට විසිනමක් අපට සියක් නමක් දෙනුමැනවැයි ඉල්වා භාග්‍යවතුන්වහන්සේගේද පාත්‍රය ගෙන අසුනක් පනවා සකසා පිණ්ඩපාතයෙන් ගෞරව දක්වති. භාග්‍යවතුන්වහන්සේ කරනලද බත්කිස ඇත්තාහු ඔවුන්ගේ සිත් බලා යම්සේ ඇතමෙක් සරණාගමනයෙහි පිහිටත්ද ඇතැමෙක් පන්සිල්හි පිහිටත් ද ඇතැමෙක් සෝවාන් සකෘදාගාමී, අනාගාමී ඵලයන්ගෙන් යමක පිහිටත්ද ඇතැමෙක් පැවිදිව අග්‍රඵලයවූ රහත්බවෙහි පිහිටත්ද එසේ දම් දෙසනසේක. මෙසේ මහජනයාට අනුග්‍රහකොට අසුනෙන් නැඟිට විහාරයට වඩිනසේක. එහි ගන්‍ධමණ්ඩලමාලයෙහි පනවනලද උතුම් බුද්ධාසනයෙහි භිකෂූන්ගේ බත්කිස නිමාව බලාපොරොත්තු වෙමින් වැඩහිඳනසේක. ඉක්බිති භික්‍ෂූන්ගේ බත්කිස අවසානයෙහි උපස්ථායකයෙක් භාග්‍යවතුන්වහන්සේට සැලකරයි. අනතුරුව භාග්‍යවතුන්වහන්සේ ගඳකිළියට පිවිසෙන සේක. මේ වනාහි පෙරබත් කිසයි.