අකර්මණ්‍ය වර්ගය
තෙවෙනි වර්‍ගයෙහි පළමුවැන්නෙහි අභාවිතං යනු නොවඩනලද්දයි භාවනා වශයෙන් නොපවත්වන ලද්දයි. අකම්මනියං හොති යනු කර්‍මක්‍ෂම වූයේ, කර්‍මයට යෝග්‍යවූයේ නොවෙයි.
දෙවැන්නෙහි කියනලද දෙයට විපර්‍ය්‍යාස වශයෙන් අර්‍ත්‍ථය දතයුතුය. මෙහිද පළමුවැන්නෙහි චිත්තං යනු වර්‍ත (සාංසාරික) වශයෙන් උපන්සිතයි. එහි වට්ට, වට්ටපාද, විවට්ට, විවට්ටපාද යන මේ ප්‍රභේදය දතයුතුය. වට්ට නම් ත්‍රෛභූමක වර්‍තයයි. වට්ටපාද නම් වර්‍තප්‍රතිලාභය සඳහාවූ කර්‍මයයි. විවට්ට නම් නවලෝකෝත්තර ධර්‍මයයි. විවට්ටපාද නම් විවර්‍තප්‍රතිලාභය සඳහා වූ කර්‍මයයි. මෙසේ මේ සූත්‍රයන්හි වර්‍තවිවර්‍තයම කියනලදී.
තෙවැන්නෙහිද වර්‍තවශයෙන්ම උපන්සිත දතයුතුයි. ‘මහතො අනර්‍ත්‍ථය සංවත්තති’ යනු දිව්‍යමනුෂ්‍ය සම්පත්තිද මාරබ්‍රහ්ම ඓශ්වර්‍ය්‍යයද දෙනු ලබන්නේවුවත් නැවත නැවත ජාති ජරාව්‍යාධි මරණ සෝක පරිදේව දුක්‍ඛ දොමනස්ස උපායාසයන්ද ස්කන්‍ධධාතු ආයතන ප්‍රතීත්‍යසමුත්පාද වර්‍තයන්ද දෙමින් හුදෙක් දුඃඛ ස්කන්‍ධයම දෙතැයි මහත්වූ අනර්‍ත්‍ථය සඳහා පවතී නම්වේ.
තෙවැන්නයි
සිවුවැන්නෙහි චිත්තං යනු විවර්‍තවශයෙන්ම උපන් සිතයි.
සිවුවැන්නයි
පස්වෙනි සවෙනි සූත්‍රයන්හි අපාතුභූතං යන මෙය විශේෂයයි. එහි අදහස මෙසේයි. වර්‍තවශයෙන් උපන්සිත නම් උපන්නේවුවද නොවඩනලද්දේ නොපහළ වූවක්මවෙයි. කුමක් හෙයින්ද? ලෝකෝත්තර පාදකවූ ධ්‍යාන විදර්‍ශනා මාර්‍ගඵල නිර්‍වාණ යන මේවාහි ඇතුළට වැදීමට අසමත් වන බැවිනි. විවර්ත වශයෙන් උපන් සිත වඩනලද්දේ පහළවූයේ නම් වෙයි. ඒ ධර්‍මයන්හි ඇතුළට වැදීමට සමත් වන බැවිනි. ‘ඇවැත්ති මාර්‍ගසිතම වඩනාලද්දේ පහළවූයේ නම් වේ’යයි කුරුන්දකවාසී ඵුස්සමිත්ත තෙරුන්වහන්සේ කීහ.
සවැන්නයි
සත්වෙනි අටවෙනි සූත්‍රයන්හි ‘අබහුලීකතං’ යනු නැවත නැවත නොකළ යුතුයි. මේ දෙකද වර්‍තවිවර්‍තවශයෙන් උපන්සිත්මයි දතයුතුය.
අටවැන්නයි
නවවැන්නෙහි ජාතිපි දුක්‍ඛා යනාදී ක්‍රමයෙන් කියනලද දුක එළවයි, ගෙනඑයි යන අර්‍ත්‍ථයෙන් දුක්‍ඛාවහං නම් වෙයි. දුක්‍ඛාධිවාහං යනුද පාඨයෙකි. එහි අර්‍ත්‍ථය මෙසේයි: ලෝකෝත්තර පාදකවූ ධ්‍යානාදියෙහි ආර්‍ය්‍යධර්‍මාභිමුඛවූයේ දුකින් උසුලාගෙනයනු ලබයි, යවයි යන්නෙන් දුක්‍ඛාධිවාහං (දුක්උසුලන්නේ) නම් වෙයි. මෙයද වර්‍තවශයෙන් උපන් සිතමයි. එය ඒකාන්තයෙන්ම කියනලද ආකාර ඇති දෙවිමිනිස් සැපත් දෙන්නේවුවද ජාති ආදිය උසුළාගෙන එන බැවින් දුක් උසුලන්නේයි. ආර්‍ය්‍යධර්‍මාධිගමය සඳහා අපහසුවෙන් යවන හෙයින් දුක්‍ඛාධිවාහද නම් වෙයි.
නවවැන්නයි
දසවැන්නෙහි, විවර්‍තවශයෙන් උපන් සිතම කියනලදී. එය වනාහි මනුෂ්‍ය සුඛයෙන් දිව්‍යසුඛයද දිව්‍යසුඛයෙන් ධ්‍යානසුඛයද ධ්‍යානසුඛයෙන් විදර්‍ශනාසුඛයද විදර්‍ශනාසුඛයෙන් මාර්‍ගසුඛයද මාර්‍ගසුඛයෙන් ඵලසුඛයද ඵලසුඛයෙන් නිර්‍වාණ සුඛයද උසුලාගෙන එයි; රැගෙන ඒනුයි සුඛාවහං නම් වෙයි. සුඛාධිවාහං හෝ වෙයි. එයද ලෝකෝත්තර පාදකවූ ධ්‍යානාදී අර්‍ය්‍යධර්‍මාභිමුඛව මනාව යවන්නේ මුදාහළ ඉන්‍ද්‍ර (දෙවියන්ගේ) වජ්‍රායුධය සමාන වේයයි සුඛාධිවාහං යනුද කියනුලැබේ. මේ වර්‍ගයෙහිද වර්‍තවිවර්‍තයම කියනලදී.
තෙවෙනි අකම්මනියවර්‍ගයයි
අදන්ත වර්ගය
සිවුවෙනිවර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි, අදන්තං යනු නොදැමුණු ඇත්, අස් ආදීන්ගේ වැනි දඟකාරබවයි. චිත්තං යනු වර්‍තවශයෙන් උපන් සිතයි.
දෙවැන්නෙහි දන්තං යනු දැමුණු ඇත්අස් ආදීන්ගේ වැනි දඟකාරබවයි. මේ සූත්‍ර දෙකෙහිදීද වර්‍තවිවර්‍තවශයෙන් උපන් සිතම කියනලදී. මෙහි යම් සේද තන්හිද මෙසේමයි.