‘එහි අරතිය නම් කුමක්ද? විවේක ඇති සෙනසුන්හි හෝ යම් යම් අධිකුශලධර්මයන්හි හෝ නොඇලීම, කළකිරීම, නොකැමැත්ත, සිත්නොගැනීම, උකටලීබව, මේ අරතියයි කියනු ලැබේ’. ‘එහි නන්දි යනු කුමක්ද? යම් ප්රමාදයකි. ප්රමාදශීලීබවක්, ප්රමාද සිත් ඇතිබවක් අලසබවක් අලසබවට යාමක් උදාසීනතාවක් වේද මෙය නන්දියයි කියනු ලැබේ.’ ‘එහි විජම්භිකා යනු කුමක්ද? ශරීරයාගේ යම් කිළිපෙළීමක්, මැලිකැඩීමක්, දිගහැරීමක්, ඉදිරියට නැමීමක්, මනාව නතුවීමක් උත්සුකබවක් වේද මෙය විජම්භිකායි කියනුලැබේ.’ ‘එහි භත්තසම්මදය යනු කුමක්ද? ‘අනුභවකරන ලද්දහුගේ යම් භක්තමූර්ඡාවක්, භක්තක්ලාන්තයක් භක්තදාහයක් කායික දුෂ්කරතාවක් වේද මෙය භත්තසම්මදයයි කියනුලැබේ.’ එහි චෙතසො ලීනත්ථ යනු කුමක්ද? සිතෙහි යම් රෝගී බවක් අකර්මණ්යතාවක්, පසුබටවීමක්, සැඟවීමක්, හැකිළීමක්, අප්රකටබවක්, දුබලතාවක්, සිතේ හැකුළුණුබවක් වේද මෙය චෙතසො ලීනත්තයයි කියනුලැබේ.
මෙහිද මුල් ධර්මසතර ථිනමිද්ධ නීවරණයට එකට හටගැනීම් වශයෙන්ද උපනිශ්රය වශයෙන්ද, ප්රත්යය වෙයි. සිතේ ලීනත්වය තමාගේම තමාසමඟ එකට හටගැනීමක් නොවේ. උපනිශ්රය කෙළවරින් වනාහි වෙයි.
තෙවැන්නයි.
සිවුවැන්නෙහි උද්ධච්චකුක්කුච්චං යනු උද්ධච්චය හා කුක්කුච්චයයි. එහි උද්ධච්ච නම් සිතේ උඩඟුබවයි. (සොසන්සුන් ආකාරයයි) කුක්කුච්ච නම් යහපත් දෙය නොකළ තැනැත්තාගේ, පව්කළ තැනැත්තාගේ ඒ හේතුවෙන් ඇතිවන විපිළිසරබවයි. චෙතසො අවූපසමො යන මෙය උද්ධච්ච කුක්කුච්චයට නමෙකි. අවුපසන්තචිත්තස්ස යනු ධ්යානයෙන් හෝ විදර්ශනාවෙන් හෝ නොසන්සුන්වූ සිත් ඇත්තහුගේයි. මේ නොසංසිඳීම උද්ධච්චකුක්කුච්චයට උපනිශ්රය කෙළවරින් ප්රත්යයවෙයි.
සිවුවැන්නයි.
පස්වැන්නෙහි, විචිකිච්ඡා යනු ‘සත්ථරිකඞ්ඛති’ (ශාස්තෘන් කෙරෙහි සැකකරයි) යනාදී ක්රමයෙන් විස්තර කරනලද විචිකිච්ඡා නීවරණයයි. අයොනිසොමනසිකාරො මෙය කියනලද විස්තර ඇත්තේමය.
පස්වැන්නයි.
සයවැන්නෙහි, ‘අනුප්පන්නො වා කාමච්ඡන්දො නූපජ්ජති’ යනු නිති හැසිරීම් වශයෙන්ද නොවිඳි අරමුණු වශයෙන්ද යන කරුණු දෙකින්ම නූපන්නේ නූපදියි. එසේ යටපත්වූයේම වෙයි. යළි හේතුවක් හෝ ප්රත්යයක් හෝ නොලබයි. මෙහිද වත් ආදියේ වශයෙන් නිති නොහැසිරීම දතයුතුයි. කියනලද ක්රමයෙන්ම වතෙහි යෙදුනු වත් කරන ඇතැමෙකුගේ කෙලෙස් ඉඩක් නොලබයි. වත් වශයෙන් යටපත් කරනලද්දේවෙයි. හෙතෙම එය එසේ යටපත්වූවක්ම කොට පෙරළා අර්හත්වය ගනී. මිලක්ඛතිස්ස තෙරුන්වහන්සේ මෙනි.
ඒ ආයුෂ්මතුන්වහන්සේ වනාහි රුහුණු දනව්වෙහි ගාමෙණ්ඩවාල මහාවිහාරයට අයත් ගොදුරැගමෙහි වැදිකුලයෙහි උපන්නේ වැඩිවිය පැමිණ කරනලද ගෘහවාසය ඇත්තේ අඹුදරැවන් රකින්නෙමැයි හබක සියයක් පිහිටුවා උගුල්සියයක් යොදා හුල් සියයක් නංවා බොහෝ පව් රැස්කරන්නේ එක් දිනක් ගෙදරින්ම ගිනිද ලුණුද ගෙන කැලයට ගියේ උගුලෙහි බැඳුණු මෘගයකු මරා අඟුරෙහි පැසවූ මස් කා පවස ඇත්තේ වී ගාමෙණ්ඩවාල මහාවිහාරයට පිවිසියේ පැන්හලෙහි දහයක් පමණවූ පැන්කළයන්හි පවස සිඳුවන පමණවූ පැනක් නොලබන්නේ මේ කිමෙක්ද මෙපමණ භික්ෂූන් වසනතැන පවසින් ආවුන්ගේ පවස සංසිඳුවන පමණවූ පැනක් නැත්දැයි දොස් කියන්නට පටන් ගත්තේය. චූලපිණ්ඩපාතිකතිස්ස තෙරුන්වහන්සේ ඔහුගේ කථාව අසා ඔහු සමීපයට යමින් පැන්මළුවෙහි දසයක් පමණවූ පිරුණු පැන්කළ දැක, මෙතෙම ජීවමාන ප්රේතභවයට අයත් සත්වයෙක් වන්නේයයි සිතා ‘උවසුව, ඉදින් පවස ඇත්තෙහි වීනම් පැන් බොව’යි කියා පියන ඔසවා දෙඅතෙහි වත කළහ. ඔහුගේ (පාප) කර්මය නිසා බොන බොන ලද්ද රත්වූ තලියක දියක් මෙන් නසී. සියලු කළ බොන්නහුගේ පවස නොසිඳුනේය. ඉක්බිති ඔහුට තෙරුන්වහන්සේ මෙසේ කීහ: ‘උවසුව, ඔබ විසින් කෙතෙක් දරුණු පාපකර්මයක් කරන ලද්දේද? දැන්ම ප්රේතයෙක් වූවෙහි නම් විපාකය කෙබඳු වන්නේද?’