ස්ත්රීලිංගය පමණක් නොව පුරුෂලිංගයද බ්රහ්ම ලෝකයෙහි නැත. එහෙයින් පුරුෂයෙක් බ්රහ්මබව කරන්නේය යන යමක් වේද? මෙකරුණ විද්යාමාන වේයයිද නොකිය යුතු වන්නේය. නොකිවයුතු වන්නේද නොවේ. කුමක් හෙයින්ද යත්? මෙහිලා පුරුෂයා එහි උපදින බැවිනි. බ්රහ්මත්තං යන්නෙන් මහාබ්රහ්ම බව අදහස් කරලදී ස්ත්රියද මෙහි ධ්යාන වඩා කළුරිය කොට බ්රහ්මපාරිසද්යයන් සමඟ සහවාසයෙහි උපදියි. මහාබ්රහ්මයන් සමඟ නොවේ. පුරුෂයා වනාහි එහි නූපදිතැයි නොකිව යුතුය. (ස්ත්රීපුරුෂ) උභය ලිංගයාගේ අභාවය සමානව ඇති කල්හි බ්රහ්මයෝ පිරිමි සටහන් ඇත්තෝම වෙත්, ගැහුණු සටහන් ඇත්තෝ නොවෙත්, එබැවින් මෙය මනාව කියන ලද්දේම වෙයි.
කායදුච්චරිතස්ස යනාදියෙහි කොහොඹ ඇට කරවිල ඇට ආදිය මිහිරිපල නොඋපදවයි. කටුක අමිහිර පලම උපදවයි. එසේ කායදුශ්චරිතාදිය මිහිර විපාක නූපදවයි. අමිහිරි විපාකම උපදවයි. යම්සේ උක් හැල්බීජාදිය මිහිරි මනාරස ඇති පල උපදවයිද අමිහිරි කටුක පල නූපදවයිද එසේම කායසුචරිතාදිය මිහිරිවූම විපාකයක් උපදවයි, අමිහිරි විපාකයක් නූපදවයි. මෙයද කියනලදී.
‘යම්බඳු බීජයක් වපුරයිද එබඳුම පලයක් ගෙනෙනු ලැබේ. යහපත කරන්නා යහපත් පලයක්ද පවුකරන්නා පවිටුපලයක්ද ගෙනෙනු ලැබේ
එහෙයින් අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං කායදුච්චරිතස්ස’ ආදිය කියනලදී.
කායදුච්චරිතසමඞ්ගී යනාදියෙහි ‘සමඞ්ගී’ යනු ආයුහන සමඞ්ගිතා, චෙතනා සමඞ්ගිතා, කම්මසමඞ්ගිතා, විපාක සමඞ්ගිතා යන පස්ආකාර සමඞ්ගිතාව (යුක්ත බව)යි. එහි කුශලාකුශලකර්ම රැස්වන කෙණෙහි ආයුහන සමඞ්ගිතාවයි කියනු ලැබේ. චෙතනා සමඞ්ගිතා යනුද එසේමයි. රහත් බවට නොපැමිණෙන තෙක් සියලුම සත්වයෝ පෙර රැස කරනලද විපාකයකට සුදුසු කර්මයන් නිසා කර්මයෙන් යුක්තවූවෝයයි කියනු ලැබෙත්. මෙය කර්මසමඞ්ගිතාවයි. විපාක සමඞ්ගිතාව විපාකක්ෂණයෙහිම දතයුතුය. සත්වයෝ යම්තාක් රහත්බවට නොපැමිණෙත්ද එතෙක් ඔවුන්ගෙන් ඒ ඒ තැනින් සැව නිරයෙහි උපදිනවුන්ට ගිනිදැල් ලොහොකුඹු ආදී වැටහෙන ආකාරයන්ගෙන් නිරයද මවුකුසට එළඹෙන්නවුන්ට මවුකුසද දෙවියන් අතුරෙහි උපදිනවුන්ට කප්රුක්වීමන් ආදී වැටහෙන ආකාරයෙන් දෙව්ලොවදැයි මෙසේ උප්පත්ති නිමිත්ත වැටහෙයි. මෙසේ ඔවුනට උත්පත්ති නිමිත්ත වැටහීමෙන් නොමිදෙනබැවින් උපට්ඨාන සමඞ්ගිතා නමි. එය සෙලවෙයි, සෙස්ස නිසලය. නිරයෙහි එළඹුනුකල්හිද දෙව්ලොවද වැටහෙයි. දෙව්ලොවෙහි එළඹුණු කල්හි නිරයද වැටහෙයි. මිනිස් ලොව එළඹුණු කල්හිද තිරිසන් යෝනියද තිරිසන් යෝනියෙහි එළඹුණු කල්හි මිනිස් ලොවද වැටහේමැයි
එහිලා මේ කථාවස්තුවයි - සොණ ගිරි පාමුලෙහි පංචල විහාරයෙහි සොණ තෙරුන් නම් වූ එක් ධර්මකථිකයෙක් වූයේය. ඔහුගේ පියා සුනඛයින් මෙහෙයවා සතුන් දඩයම් කරන්නෙක් වූයේය. තෙරුන්වහන්සේ ඔහු වළහන්නහුද සංවරයෙහි තැබීමට නොහැකි වන්නෝ අසරණයා නොනැසේවායි මහළු කල නොකැමැත්තෙන්ම පැවිදි කරවූහ. ගිලන් ඇඳෙහි වැදහොත්තාවූ ඔහුට නිරය වැටහුනේය. සොණ ගිරි පාමුලින් මහත් සුණඛයෝ අවුත් කනුකැමැත්තවුන් මෙන් වටකළාහුය. හෙතෙම මහත් බියෙන් බියපත්වූයේ ‘දරුව, සොණ වළක්වන්න, දරුව සෝණ වළක්වන්නැ’යි කීය, ‘කිමෙක්ද මහතෙර’යි සොණ තෙරණුවෝ ඇසූහ.’දරුව නොදක්නෙහිදැ’යි එපුවත සැළකළේය. සොණ තෙරණුවෝ ‘කෙසේනම් මා වැන්නෙකුගේ පියෙක් නරකයෙහි උපදින්නේද? මොහුට පිහිටක් වන්නේමැයි සාමණේරයන් ලවා නොයෙක් මල් ගෙන්වා සෑමලු බෝමලුවල මල් අතුරා කරන පූජාවක්ද ආසන පූජාවක්ද කරවා පියා ඇඳකින් සෑමලුවට යවා ඇඳෙහි හිඳුවා ‘මහතෙරුන්වහන්ස, මේ පූජාව ඔබ වෙනුවෙන් කරනලදී. භාග්යවතුන්වහන්ස, මේ මාගේ දිළිඳු පඬුරකැයි කියා භාග්යවතුන්වහන්සේ වැඳ සිත පහදවා ගනුමැනවැයි කීහ. මහතෙරණුවෝ පූජාව දැක එසේ කරමින් සිත පැහැදවූහ. එකෙණෙහිම ඔහුට දෙව්ලොව (නිමිති වශයෙන්) වැටහුණේය. නන්දන වනය, චිත්රලතා වනය, මිශ්රක වනය, පාරසක වන විමානයන් මෙන්ම දෙව් නිළියන්ද පිරිවරා සිටියාක් මෙන් විය. හෙතෙම ‘සොණ ඉවත්වන්නැයි කීවේය. ‘තෙරුන් වහන්ස, මේ කිමෙක්දැ’යි ඇසීය. මේ ඔබේ මවුවරු පැමිණෙති’යි කීවේය. තෙරණුවෝ ‘තෙරුන්ට ස්වර්ගය එළඹ සිටියේයයි සිතූහ. මෙසේ උපට්ඨාන සමඞ්ගිතාව වෙනස් වේයයි දතයුතුය. මේ සමංගිතාවන් අතුරෙහි මෙහි ආයුහන, චෙතනා, කර්මසමංගිතා වශයෙන්ද කායදුශ්චරිත සමංගිතා වශයෙන්ද කායදුච්චරිත සමංගි යනාදිය කියනලදී.