එහි කර්‍මවශයෙන් වනාහි, නොපෙරලුණු ලිංග ඇති මිනිස් මවක හෝ පියෙකු ජීවිතයෙන් තොර කරන්නාවූ මිනිසෙකුගේම කර්‍මය ආනන්තර්ය වෙයි. ඔහුගේ විපාකය වළක්වන්නෙමැයි සියලු සක්වළ මහා සෑය පමණවූ ස්වර්‍ණමය ස්තූපයන්ගෙන් පුරවාද සියලු සක්වල පුරවා හුන්නාවූ බික් සඟනට මහදන් දීද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ සඟළ සිවුරු කොණ නොමුදමින් හැසිරීද කය බිඳීමෙන් නිරයෙහිම උපදියි. යමෙක් වනාහි තෙමේ මිනිසෙක්වූයේ තිරිසන්වූ මවක හෝ පියෙකු, තෙමේ තිරිසන්වූයේ මිනිස් මවක හෝ පියෙකු, (තෙමේ) තිරිසන්වූයේ තිරිසන්වූම මවක හෝ පියෙකු ජීවිතයෙන් තොර කරයිද ඔහුගේ කර්‍මය ආනන්තර්ය නොවෙයි. බැරෑරුම් නම් වෙයි. ආනන්තර්යයට ගැටී සිටී. මනුෂ්‍ය ජාතිකයන්ගේ වශයෙන්ම මේ ප්‍රශ්නය කියනලදී.
එහි ඵළක චතුක්කයද සංගාමචතුක්කයද චොර චතුක්කයද දතයුතුය. එළුවෙකු මරමැයි මිනිසෙක් එළුවන් සිටින තැන සිටි මිනිස් මව හෝ පියා එකට ගැලපීමෙන් (එළුවෙකැයි වරදවා සමානකොට සිතීමෙන්) හෝ මරයිද ආනන්තර්යය ස්පර්‍ශ කෙරේමැයි. එළුවෙකැයි ගැලපීමෙන් හෝ මවපියායි ගැලපීමෙන් එළුවෙකු මරන්නේ ආනන්තර්යය ස්පර්‍ශ නොකරයි. මවුපියන් ගැලපීමෙන් මවුපියන් මරන්නේ ස්පර්‍ශ කෙරේමැයි. සෙසු චතුක්ක දෙකෙහිද මේ ක්‍රමයමයි. මවුපියන් කෙරෙහි යම්සේද එසේම රහතුන්වහන්සේ කෙරෙහිද මේ චතුෂකයෝ දතයුත්තාහ. මිනිස් රහත් කෙනෙකුම මරා ආනන්තර්යය ස්පර්‍ශ කරයි. යක්‍ෂයෙකුවූ රහත් කෙනෙකු (මැරීමෙන්) නොවේ. කර්‍මය වනාහි බැරෑරුම්ය. ආනන්තර්යයක් සමාන වේමයි. මිනිස් රහතන්වහන්සේටද පෘථග්ජන කාලයෙහිම අවිපහරක් හෝ විෂයක් දුන් කල්හි ඉදින් හෙතෙම රහත්බවට පත්ව එයින්ම මැරෙයිද අරහන්ත ඝාතකයෙක් වේමයි. පෘථග්ජන කාලයෙහි දුන්නාවූ යම් දානයක් රහත්බවට පැමිණ වළඳයිද එය පෘථග්ජනයාටම දුන් දෙයක් වෙයි. සෙසු ආර්‍ය්‍ය පුද්ගලයන් මරන්නහුට ආනන්තර්යයක් නැත. කර්‍මය නම් ආනන්තර්යයකට සමාන ලෙසින්ම බැරෑරුම්ය.
ලොහිතුප්පාද (ආනන්තර්ය) යෙහි තථාගතයන්වහන්සේගේ නොබිඳෙන කය ඇතිබැවින් අනුන්ගේ උපක්‍රමයෙන් සම සිඳීමකොට ලේ වැගිරීමක් නම් නැත. ශරීරයාගේ ඇතුළතම එක් තැනක ලේ එක්තැන් වෙයි. දෙව්දත්විසින් හෙළූ ගලින් බිඳීගිය ගල් කැබලිත්තද තථාගතයන්වහන්සේගේ පා කෙළවර ගැටිණි. පොරවකින් පහර ලද්දාක් මෙන් පාදය ඇතුළත ලෙහෙ ඇත්තේම විය. එසේ කරන්නහුට ආනන්තර්යය වෙයි. ජීවකතෙමේ වනාහි තථාගතයන්වහන්සේගේ කැමැත්තෙන් සැතින් සම සිඳ එතැනින් නරක්වූ ලෙය ඉවත්කොට පහසුව ඇති කළේය. එසේ කරන්නහුට පුණ්‍ය කර්‍මයක්ම වෙයි.
තථාගතයන්වහන්සේ පිරිනිවන් පෑකල්හි යමෙක් චෛත්‍යය බිඳිත්ද බෝධිය සිඳිත්ද ධාතූන් විෂයෙහි (පැහැරගැනීම් සඳහා) උපක්‍රම යොදත්ද ඔවුනට කුමක් වේද? ආනන්තර්යය සමානවූ බැරෑරුම් කර්‍මයක් වෙයි. ධාතු සහිතවූ ස්තූපයකට හෝ ප්‍රතිමාවකට හෝ බාධා කරන්නාවූ බෝඅත්තක් සිඳීම වටී. තවද එහි සැඟවුණු පක්‍ෂීහු චෛත්‍යයෙහි වසුරු හෙළත්ද සිඳීමට වටනේමය. පාරිභොගික චෛත්‍යයට වඩා ශරීර චෛත්‍යය මාහැඟි වෙයි. චෛත්‍යවස්තුවක් බිඳ යන්නාවූ බෝමුලක් වුවද සිඳ ඉවත්කිරීම වටී. යම් බෝ අත්තක් බෝධිඝරය වළහා සිටීද එය ගෙය රැකීම සඳහා සිඳීමට සුදුසු නොවෙයි. ගෙය බෝධිය සඳහාය. ගෙය සඳහා බෝධිය නොවේ. ආසනඝරයෙහිද මේ ක්‍රමයමයි. යම් ආසනඝරයක ධාතු තැන්පත් කරනලද්දේ වේද? එය ආරක්‍ෂා කිරීම සඳහා බෝඅත්ත සිඳීම වටී. බෝධිය පිළිදැඟුම් කිරීම සඳහා ඉස්ම වැගිරෙන අත්තක් හෝ කුණුවීගිය තැනක් හෝ සිඳීමට වටනේමය. සිරුර පිළිදැඟුම් කිරීමෙහි මෙන් පිණද වෙයි.