මහා කප්පින තෙණුවෝ
නව වැන්නෙහි භික්ඛුඔවාදකානං යන්නෙන් භික්ෂූන්ට අවවාදකරන්නන් අතුරින් මහාකප්පින තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබෙත්. මේ තෙරණුවෝ එක් කුළුගැන්වීමකදීම ධර්මකථා කියමින් භික්ෂූන් දහසක් රහත්බවට පත් කරවූහ. එහෙයින් භික්ෂූන්ට අවවාද කරන්නවුන් අතුරින් අග්‍රනම්වූහ.
උන්වහන්සේගේ ප්‍රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක ඉපිද මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාවක් අසමින් එක් භික්ෂුවක භික්ෂූන්ට අවවාද කරන්නවුන් අතුරින් අග තනතුරෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප සම්බුදුන්වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක පිළිසිඳගෙන මිනිසු දහසකට ගණදෙටුවෙක් වී ගැබ් (කාමර) දහසකින්යුත් මහරිවෙණක් කරවීය. ඒ සියලු මිනිස්සු දිවි ඇතිතෙක් කුසල්කොට කප්පින උවසුවා දෙටු (ප්‍රධාන) කොටගෙන අඹුදරුවන් සහිතවූවෝ දෙව්ලොව උපන්නාහු එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතර සැරිසරුවාහුය.
ඉක්බිති අපගේ ශාස්තෘන්වහන්සේගේ පහළවීමට පෙරාතුවම මේ කප්පින තෙමේ ප්‍රත්‍යන්ත දේශයෙහි කුක්කුටවතී නම් නුවරෙහි රජගෙහි පිළිසඳ ගත්තේය. සෙසු පුරුෂයෝ ඒ නගරයෙහිම ඇමති කුලයන්හි උපන්නාහුය. කප්පින කුමරුවා පියාගේ ඇවෑමෙන් (සේ) සත් ඔසවා මහාකප්පින රජනම් වූයේය. පෙර පින්කම් කරන කාලයෙහි ඔහුගේ ගෙහිමි කාන්තාව සමජාතිකවූ රජකුලයෙහි ඉපිද මහාකප්පින රජුගේ අගමෙහෙසියවූවාය. කටුකරඬුමල් පැහැයට සමානවූ බැවින් ඇයට අනෝජා දේවියයි නම් වූයේය. මහාකප්පින රජතෙමේද සුතචින්තකයෙක් (උගතුන් පිළිබඳව සිතන්නෙක්) වූයේය. හෙතෙම උදෑසනින්ම නැඟිට සිවු දොරටුවෙන්, ‘යම්තැනක බොහෝ ඇසූපිරූතැන් ඇති සුතධරවූ පුද්ගලයන් දකිවුද එයින් ආපසු අවුත් මට සැළකරවු’යි ඉක්මණින් දූතයන් යැවීය.
එසමයෙහි අපගේ ශාස්තෘන්වහන්සේ ලෝකයෙහි පහළවී සැවැත්නුවර ඇසුරුකොට වාසය කරනසේක. එකල්හි සැවැත්නුවර වැසි වෙළෙන්දෝ සැවතෙහි හටගන්නා බඩු රැගෙන ඒ නුවරට ගොස් බඩු තැන්පත්කොට රජු දකින්නෙමුයයි පඬුරුගත් අත ඇත්තාහු රජමැදුරු දොරටුවට ගොස් රජු උයනට ගියේයයි අසා උයනට ගොස් දොරටුවෙහි සිටියාහු ආරක්ෂකයාට දැන්වූවාහුය. ඉක්බිති රජුට දැන්වූ කල්හි රජතෙමේ (ඔවුන්) කැඳවා පවරා දෙනු ලැබූ පඬුරු ඇතිව වැඳ සිටි කල්හි ‘දරුවනි, කොහි සිට අවුදැයි ඇසීය. ‘දේවයිනි, සැවතෙහි සිටය.’ ’කෙසේද ඔබලාගේ රට සුභික්‍ෂද? රජ ධාර්මිකද’ ‘සේය, දේවයනි.’’නුඹලාගේ දේශයෙහි කිසියම් පණිවිඩයක් (තොරතුරක්) තිබේ?’ දේවහන්වහන්ස ඇත. (එහෙත්) ඉඳුල් මුවින් කීමට නොහැකිය.’ රජතෙමේ රන්කෙණ්ඩියෙන් පැන්දෙවීය. ඔවුහු මුව සෝදා බුදුන්වහන්සේ දෙසට මුහුණලා ඇඳලි බැඳගෙන දේවයන්වහන්ස, අපගේ දේශයෙහි බුද්ධ නම් රත්නයක් පහළවීය’යි කීවාහුය. රජුට බුද්ධ යන වචනය අසූ කෙණෙහිම සියලුම සිරුර පැතිරෙමින් ප්‍රීතිය උපන්නේය. ඉක්බිති ‘දරුවනි, බුද්ධයයි කියවු’යි පැවසීය. ‘දේවයිනි, බුද්ධයයි කියමු.’ මෙසේ තෙවරක් කියවා, බුද්ධ යන පදය අප්‍රමාණය, ඊට ප්‍රමාණයක් කිරීමට නොහැකිය’ය’ ඒ පදයෙහිම පැහැදුනේ ලක්ෂයක් දෙවා වෙනත් කවර හසුන්දැය’යි ඒ පදයෙහිම පැහැදුනේ ලක්ෂයක් දෙවා වෙනත් කවර හසුන්දැ’යි ඇසීය. දේවයිනි, ධර්මනම් රත්නයක් උපණ. එයද අසා එසේම තෙවරක් පිළිණගෙන තවත් ලක්ෂයක් දෙවා යළි ‘අනෙක් කවර හසුනක්දැ’යි ඇසීය. ‘දේවයිනි, සංඝරත්නය උපණ.’ එයද අසා එසේම පලිණගෙන තවත් ලක්ෂයක් දෙවා දුන්බව පතෙහි ලියවා ‘දරුවනි, දේවිය සමීපයට යනු’යි යැවීය. ඔවුන් ගිය කල්හි ‘දරුවනි, බුදුරජාණන්වහන්සේ ලොව උපන්සේක. නුඹලා කුමක් කරන්නහුදැ’යි ඇමතියන්ගෙන් ඇසුවේය. ‘දේවයිනි, නුඹවහන්සේ කුමක් කරනු කැමැත්තහුද?’ ‘මම පැවිදි වන්නෙමි.’ අපිද පැවිදි වන්නෙමු’ ඒ සියල්ලෝම ගෙවල් හෝ පවුල් හෝ (ගැන) නොබලා යමෙක් අසුන්පිට නැඟී ගියාහුද ඔවුන් සමඟම නික්මුණාහුය.
වෙළෙන්දෝ අනෝජා දේවියගේ සමීපයට ගොස් හසුන දැක්වූවාහුය. ඕ තොමෝ කියවා, රජුවිසින් නුඹලාට බොහෝ කහවණු දෙනලදී. දරුවනි නුඹලා විසින් කුමක් කරන ලදදැ’යි ඇසුවාය. ‘දේවිය, සතුටු හසුනක් ගෙනෙනලදී.’ ‘දරුවනි, අපටත් අස්වන්නට හැකිද?’ ‘දේවිය හැකිය. ඉඳුල් මුවින් පවසන්නට නොහැකිය.’ ඕ රන් කෙන්ඩියෙන් ජලය දුන්නාය. ඔවුහු මුව සෝදා රජුට සැළ කළ ක්‍රමයෙන්ම සැළ කළාහුය. ඕතොමෝත් උපන් ප්‍රමුදිතබව ඇත්තී ඒ ක්‍රමයෙන්ම එක්එක් පදයෙන් තෙවරක් පිළිණගෙන පිළින ගණනට තුනක්බැගින් කොට නව ලක්ෂයක් දුන්නාය. වෙළෙන්දෝ සියල්ල දොළොස් ලක්ෂයක් ලැබූහ. ඉක්බිති ඔවුන්ගෙන් ‘දරුවනි. රජතුමා කොහිදැ’යි ඇසුවාය. දේවිය, පැවිදි වන්නෙමියි නික්මුණේය’යි දැන්වූහ. ‘එසේ වීනම් දරුවනි, තෙපි යවු’යි ඔවුන් පිටත්කොට යවා රජු සමඟ ගිය ඇමතිවරුන්ගේ මාගමුන් කැඳවා ‘යෙහෙළියනි, තෙපි තමන්ගේ හිමියන් ගිය තැන දන්නහුදැයි ඇසුවාය. ‘එසේය, ආර්‍ය්‍යාවනි, දනිමු. රජු සමඟ උයන් කෙළියට ගියාහුය.’ ‘එසේය යෙහෙළියනි, ගියාහුය, එහි ගොස් බුදුරජාණන්වහන්සේ පහළවූසේක. ධර්මය පහළවිණ, සංඝයා පහළවිණැයි අසා බුදුන්වහන්සේ සමීපයෙහි පැවිදි වන්නෙමුයි ගියාහුය. නුඹලා කුමක් කරන්නහුදැ’යි ඇසුවාය. ‘ආර්‍ය්‍යාවනි, නුමවහන්සේ කුමක් කරනු කැමැත්තාහුද?’ ‘මම පැවිදි වන්නෙමි. ඔවුන් විසින් වැමෑරූ වමනය දිවග නොතබන්නෙමි’යි කීවාය. ‘එසේ වන්නෙනම් අපිද පැවිදිවන්නෙමු’යි රිය යොදවා නික්මුණාහුය.
රජතෙමේද ඇමැති දහස සමඟ ගංතෙරට පැමිණියේය. එසමයෙහි වනාහි ගඟ පිරී පැවැතුණේ වෙයි. ඉක්බිති එය දැක ‘මේ ගඟ පිරී ඇත. සඬ මසුන්ගෙන් ගැවසුණේය. යමෙක් අපට නැවක් හෝ පසුරක් හෝ සදා දෙත්ද අප සමඟ ආවාවූ එබඳු දාසයෝ හෝ මිනිස්සු හෝ නැත. මේ ශාස්තෘන්වහන්සේගේ ගුණය නම් යට අවීචියෙහි පටන් මතු භවාග්‍රය දක්වා පැතුරුණේය. ඉදින් මේ ශාස්තාන්වහන්සේ සම්මාසම්බුද්ධ නම් මේ අසුන්ගේ කුර පිට පමණකුදු නොතෙමේවායි දියපිටින් අසුන් පැන්හූහ. එකද අසකුගේ කුරපිට පමණකුදු නොතෙමුණේය. රාජමාර්ගයෙන් යන්නාහු මෙන් පරතෙරට පැමිණියාහු පරතෙරින්ද වෙනත් නදියකට පැමිණියාහුය. එහිදී වෙනත් සත්‍යක්‍රියාවක් නැත. ඒ සත්‍යක්‍රියාවෙන්ම අඩයොදුන් පළල නදිය ඉක්මවූවාහුය. ඉක්බිති තෙවැනිවු චන්ද්රභාග නම් මහා නදියට පැමිණ එයද එම සත්‍යක්‍රියාවෙන්ම තරණය කළහ.