ආනන්‍ද තෙරණුවෝ
සිවුවැන්නෙහි පළමුවෙනි සූත්‍රයෙහි බහුස්සුතානං යනාදියෙහි බහුශ්‍රැතවූ සතිමත්වූ ගතිමත්වූ ධිතිමත්වූ උපස්ථායකවූ අන්‍ය ස්ථවිරවරුද වෙති. මේ ආයුෂ්මතුන්වහන්සේවනාහි බුදුවදන් උගන්නෝ බුද්ධශාසනයෙහි භාණ්ඩාගාරික පර්‍ය්‍යාප්තියෙහි සිට ගත්හ. එහෙයින් බහුශ්‍රැතයන් අතුරින් අග්‍රනම්වූහ. මේ තෙරුන්ගේ බුද්ධවචනය ගෙන ධාරණය කරගැනීමේ ස්මෘතිය අන්තෙරුනට වඩා බලවත්වූයේය. එහෙයින් සතිමන්තයන් අතුරින් අග්‍රනම්වූහ. මේ ආයුෂ්මතුන්වහන්සේම එක් පදයක සිට පද සැටදහසක් ගන්නාහු ශාස්තෘන්වහන්සේ විසින් කියනලද ක්‍රමයෙන්ම සියලු පදයන් දනිත්, එබැවින් ගතිමන්තයන් අතුරෙන් අග්‍රනම් වූහ. මේ ආයුෂ්මතුන් වහන්සේගේ බුද්ධවචනය උගෙනීමේ වීර්‍ය්‍යය, සජ්ක්‍ධායනය කිරීමේ වීර්‍ය්‍යය, ධාරණය කරගැනීමේ වීර්‍ය්‍යය හා ශාස්තෘන්වහන්සේට උපස්ථාන කිරීමේ වීර්‍ය්‍යයද අන්‍යයන් හා අසමානවූයේ එහෙයින් ධිතිමන්තයන් අතුරෙන් අග්‍රනම්වූහ. තථාගතයන්වහන්සේට උපස්ථාන කරන මුන්වහන්සේ අනෙක් උපස්ථායක භික්‍ෂූන් උවටැනි කරන ආකාරයෙන් උවටැන් නොකළහ. තථාගතයන්වහ්නසේට උපස්ථාන කරන අන්‍යයෝ බොහෝ කලක් උපස්ථාන නොකළාහුය. බුදුන්වහන්සේගේ සිත්ගෙන උපස්ථාන නොකළාහුය. තෙරණුවෝ වනාහි උපස්ථායක තනතුරලද දිනයෙහි පටන් ඇරඹූ වීර්‍ය්‍ය ඇත්තෝම තථාගතයන්වහන්සේගේ සිත්ගෙන උපස්ථාන කළහ. එබැවින් උපස්ථායකයන් අතුරෙන් අග්‍රනම්වූහ.
ඔහුගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි: මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි පදුමුත්තර නම් ශාස්තෘන්වහන්සේ ලොව පහළවූසේක. උන්වහන්සේට හංසවතී නම් නුවරක් වූයේය. නන්ද නම් රජතෙමේ පියා වූයේය. සුමෙධා නම් දේවිය මව වූවාය. බෝසත් තෙමේ උත්තරකුමාර නම් වූයේය. හෙතෙම පුතෙකු උපන් දිනයෙහි මහබිනික්මන්කොට පැවිදිව කෙළෙස් තැවීමෙහි යෙදුණේ ක්‍රමයෙන් සර්‍වඥතාඥානයට පත්ව අනෙකජාතිසංසාරං’යි උදන් අනා සත්දිනක් බෝමැඩ ගෙවා පොළොවෙහි තබන්නෙමැයි පය එළවීය. ඉක්බිති පොළොව බිඳී යට කියනලද ප්‍රමාණ ඇති පියුමක් නැඟී සිටියේය. එය හේතකොටගෙන භාග්‍යවතුන්වහන්සේ පදුමුත්තර යනුවෙන් ප්‍රකටවූසේක. උන්වහන්සේට දේවාලය සුමෙධයයි අගසව් දෙනමක් වූහ. අමිතා අසමා යනුවෙන් අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක්වූහ. උපස්ථායක තෙමේ සුමන නම්වූයේයි. පදුමුත්තර භාග්‍යවතුන්වහන්සේ පිතෘසංග්‍රහය කරමින් භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොට ඇත්තාහු හංසවතී රාජධානියෙහි වසනසේක.
උන්වහන්සේගේ කනිටු සොහොයුරා සුමන කුමාර නම්විය. ඔහුට රජතෙමේ හංසවතී නගරයෙන් යොදුන් දෙදහසෙක්හි භොගග්‍රාමයක් දුන්නේය. හෙතෙම යම් යම් විට පැමිණ පියාද බුදුන්වහන්සේද දකියි. එක්දිනක් ප්‍රත්‍යන්තය කිපියේයි. සුමන කුමර තෙමේ රජුට (දන්වා) යැවීය. රජ තෙමේ ‘මා විසින් නුඹ එහි කුමක් සඳහා තබලද්දේහිදැ’යි යළි ඔහුට දන්වා යැවීය. හෙතෙම සොරුන් සංසිදුවා ‘දෙවයන්වහන්ස, ජනපදය සංසිඳියේයයි රජුට දන්වා යැවීය. රජතෙමේ සතුටුවූයේ ඉක්මණින් මාගේ පුත්‍රයා පැමිණේවා’යි පැවසීය. ඔහුට දහසක් පමණ අමාතයයෝ වෙති. හෙතෙම ඔවුන් සමඟ අතරමගදී ‘මගේ පියා සතුටුවූයේ වෙයි. ඉදින් මට වරයක් දෙන්නේ නම් කුමක් ගන්නේම්දැ’යි සාකච්ඡා කළේය. ඉක්බිති ඔහුට ඇතැම්හු ඇතෙකු ගනුමැනව, අසකු ගනුමැනව, දනව්වක් ගනු මැනව. සත්රුවන් ගනු මැනවැ’යි කීහ. අන්‍යයෝ, නුඹවහන්සේ පෘථිවීශ්වර (රජු) ගේ පුත්‍රයාය. නුඹවහන්සේට ධනය දුර්‍ලභ නොවේ. මේ සියල්ල ලැබුවත් අතහැර යායුතුය. පිනිම පමණක් රැගෙන යාතුයුය. එබැවින් රජු වර දෙනකල්හි තෙමසක් පියුමුතුරා බුදුරජාණන්වහන්සේට උවටැන් කිරීමට වරයක් ගනු මැනවයි කීවාහුය. හෙතෙම, ‘නුඹලා මගේ කල්‍යාණමිත්‍රයෝයි. මේ සිත මට නැත නුඹලාවිසින්ම උපදවනලදී. එසේ කරමැ’යි ගොස් පියා වැඳ පියාවිසින් වැළඳ ‘පුත, ඔබට වරයක් දෙමි’යි කීකල්හි, ‘මහරජතුමනි. භාගයවතුන්වහන්සේ තෙමසක් සිවුපසයෙන් උවටැන් කරමින් ජීවිතය නොසිස්වූවක් කිරීමට කැමැත්තෙමි. මේ වරය මට දෙනු මැනවැ’යි කීවේය. ‘දරුව නොහැකිය. අනෙකක් ඉල්වව’ ‘දේවයන් වහන්ස, ක්‍ෂත්‍රියයන්ට කථා දෙකක්නම් නැත. මෙයම දෙන්න. මට අනෙකකින් වැඩක් නැත.’ ‘දරුව, බුදුවරුන්ගේ නම් සිත දැනීම දුෂ්කරය. ඉදින් භාග්‍යවතුවහන්සේ නොකැමති වනසේක්නම් මාදුන්කල්හිද කිමෙක් වන්නේද?’ ‘මැනවි, දේවයිනි, මම භාග්‍යවතුන්වහන්සේගේ සිත දන්නෙමැ’යි විහාරයට ගියේය.