අනඳ තෙරුන්වහන්සේ වනාහි නිහඬවම හුන්හ. ඉක්බිති භික්‍ෂූහු ඔහුට ‘ඇවැත්නි, භික්‍ෂුසංඝයා උපස්ථායක තනතුර ඉල්ලයි. නුඹද ඉල්වව’ කීහ. ‘ඇවැත්නි, ඉල්ලා ලත් තැන නම් කෙබඳු වේද? කිම? ශාස්තෘන්වහන්සේ මා නොදකිනසේකද? ඉදින් මට කැමතිවනසේක්නම් ආනන්‍ද මට උවටැන් කරවයි කියන සේකැ’යි තෙරුන්වහන්සේ පැවසූහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ, මහණෙනි, ආනන්ද අන්‍යයන් විසින් උත්සාහවත් නොකළ යුත්තෙකි. තෙමේම දැන මට උපස්ථාන කරන්නේය’යි පැවසූසේක. ඉක්බිති භික්‍ෂූහු ‘ඇවැත්නි නැගිටින්න. ආනන්‍දය නැගිටින්න. ආනන්‍ද දශබලයන්වහන්සේගෙන් උපට්ඨායක තනතුර ඉල්වන්නැයි කීවාහුය. තෙණුවෝ නැඟිට ප්‍රතික්‍ෂේප සතරක්ද ආයාචනා සතරක්දැයි වර අටක් ඉල්ලූහ.
ප්‍රතික්‍ෂේප සතරනම්: ස්වාමීනි, ඉදින් භාගයවතුන්වහන්සේ තමන් විසින් ලබනලද ප්‍රණීත චීවර නොදෙන සේක්ද, පිණ්ඩපාතය නොදෙන සේකද? එක ගඳකිළියෙහි විසීමට නොදෙන සේක්ද, නිමන්ත්‍රණය ගෙන නොවඩිනසේක්ද එසේ නම් මම භාග්‍යවතුන්වහන්සේ උපස්ථාන කරමැයි පවසා ‘ආනන්‍දය, මෙහි කවරනම් ආදීනව දැක්කෙහිදැයි ඇසූකල්හි, ‘ස්වාමීනි, ඉදින් මම මේ වස්තූන් ලබන්නෙම් නම්, ආනන්‍දතෙර තථාගතයන් විසින් ලබන ලද ප්‍රණීත සිවුරු පරිභෝග කරයි, පිණ්ඩපාතය වළඳයි. එක ගඳකිළියෙහි වසයි. එක අරයුමට යයි. මේ ලාභ ලබමින් තථාගතයන්ට උවටැන් කරයි. මෙසේ උවටැන් කිරීමෙහි කවර බරෙක්දැයි කියන්නෝ වන්නාහ! මෙසේ මේ ප්‍රතික්‍ෂෙප සතර ඉල්ලූහ.
සතර ආයාචනා නම්: ‘ස්වාමීනි, ඉඳින් මා විසින් පිළිගන්නාලද නිමන්ත්‍රණයට භාග්‍යවතුන්වහන්සේ වඩිනසේක්ද, ඉදින් මම රටට පිටින් ජනපදයට පිටතින් භාග්‍යවතුන්වහන්සේ දැකීමට ආපිරිස පැමිණි කෙණෙහිම භාග්‍යවතුන්වහන්සේ දැක්වීමට ලබන්නේම්ද යම්විටෙක මට සැකයක් උපදීද එකෙණෙහිම භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹීමට ලබන්නෙම්ද භාග්‍යවතුන්වහන්සේ මා නොහමුවෙහි යම් දහමක් දෙසයි නම් එය අවුත් මට පවසන්නේද එසේ නම් මම භාග්‍යවතුන්වහන්සේට උපස්ථාන කරමියි කියා ‘ආනන්‍දය, මෙහි කවර ආනිසංශයක් දකිහිදැයි විමසූවිට මෙසේ කීහ: මෙහි ස්වාමීනි, සැදැහැති කුලපුත්තු භාග්‍යවතුන්වහන්සේගෙන් අවකාශයක් නොලබන්නාහු මට මෙසේ කියත්: ‘ස්වාමීනි ආනන්‍දය, හෙට භාග්‍යවතුන්වහන්සේ සමඟ අපගේ ගෙහි භික්‍ෂාව ගනුමැනව.’ ඉදින් භාග්‍යවතුන්වහන්සේ එහි නොයන සේක්නම් කැමැතිකැමති අවස්ථාවෙහි පිරිස දැක්වීමටද සැක දුරලීමටද අවකාශද නොලබමි. කිමේකද? ආනන්‍ද තෙරණුවෝ බුදුන්වහන්සේට උවටැන් කරති. මෙපමණවත් අනුග්‍රහයක් ඔහුට නොකරතිදැයි කියන්නෝද වන්නාහ. ‘ඇවැත්නි ආනන්‍දය, මේ ගාථාව, මේ සූත්‍රය මේ ජාතකය කොහිදී දෙසන ලද්දැයි භාග්‍යවතුන්වහන්සේගේ අසම්මුඛයෙහි මගෙන් අසන්නාහ. ඉදින් මම ඔවුනට එය නොසපයන්නෙම් නම් ‘ඇවැත්නි, මෙපමණක්වත් නොදන්නෙහිද? කුමක් නිසා නුඹ සෙවනැල්ලක් මෙන් භාග්‍යවතුන් අතනොහරිමින් දිගුකලක් හැසිරෙහිදැ’යි කියන්නෝ වන්නාහ. එහෙයින් මම (මා) නොහමුවෙහි දෙසනලද ධර්‍මය නැවත කීමද බලාපොරොත්තු වෙමි’යි මේ ආයාචනා සතර ඉල්ලූහ. භාග්‍යවතුන්වහන්සේද ඒවා උන්වහන්සේට දුන් සේක.
මෙසේ මේ අටවරය ගෙන නිබඳඋවටැන් කරන්නා වූහ. ඒ තනතුර සඳහාම කල්පලක්‍ෂයක් පුරනලද පාරමීන්ගේ ප්‍රතිඵලය පැමිණිණි. හෙතෙම උපස්ථායක තනතුරලද දිනයෙහි සිට දශබලයන්වහන්සේ දෙයාකාර ජලයෙන් තුන්ආකාර දැහැටුවෙන් පාද පරිකර්‍මයෙන් පිට්ඨිපරිකර්‍මයෙන් ගඳකිළි පිරිවෙණ හැමදීමෙන්ද යන මේ ආදී කටයුතුවලින් උවටැන් කරන්නේ මෙනම් වේලාවෙහි ශාස්තෘන්වහන්සේට මෙනම් දෙය ලැබීමට වටී. මෙනම් දෙය කිරීමට වටීයයි රාත්‍රිභාගය අතරතුර පන්දම් එළියක් රැගෙන එක් රැයකට ගඳකිළිපිරිවෙණ නව වරෙක වටේට යයි. උන්වහන්සේට මෙබඳු අදහසක් විය: ‘ඉදින් මට ථිනමිද්ධය ඇති වන්නේ නම් භාග්‍යවතුන්වහන්සේ කැඳවන විට පිළිවදන් දීමට නොහැකි වන්නේය’ යනුවෙනි. එබැවින් සියලු රාත්‍රියෙහි පන්දම් පහන අතින් නොමුදති. මේ කථාවස්තුව මෙපමණෙකි. මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ වසනසේක් නොයෙක් ආකාරයෙන් ධර්‍මභාණ්ඩාගාරික ආනන්‍ද ස්ථවිරයන් වර්‍ණනා කොට තෙරුන් මෙම සසුනෙහි බොහෝ ඇසූපිරූතැන් ඇත්තන් අතුරින්, සිහි ඇත්තවුන් අතුරින්, ගතිමන්තයන් අතුරින් ධිතිමන්තයන් අතුරින් හා උපස්ථායක භික්‍ෂූන් අතුරින්ද අගතනතුරෙහි තැබූසේක.
උරුවෙලකස්සප තෙරණුවෝ
දෙවන සූත්‍රයෙහි මහාපරිසානං යන්නෙන් මහත් පිරිවර ඇත්තවුන් අතුරින් උරුවෙලකස්සප තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. අනෙක් තෙරවරුන්ට වනාහි කිසියම් කාලයක් පිරිවර මහත්වෙයි. කිසියම් කාලයක මඳ වෙයි. මේ තරුන්ට වනාහි දෙබෑයන් සමග ශ්‍රමණයින් දහසක් නිබඳ පිරිවර වූයේය. ඔවුනතුරින් එක් කෙනෙකු එක්කෙනෙකු එකිනෙකා බැගින් පැවිදිකරවනකල්හි දෙදහසක් ශ්‍රමණයෝ වෙත්. දෙදෙනා බැගින් පැවිදිකරවන කල්හි තුන්දහසක් ශ්‍රමණයෝ වෙත්. දෙදෙනා බැගින් පැවිදිකරවන කල්හි තුන්දහසක් ශ්‍රමණයෝ වෙත්. එහෙයින් හෙතෙම මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අග්‍රනම්වූයේය. කස්සප යන මොහුගේ ගෝත්‍රයයි. උරුවේලාවෙහි පැවිදිවූ බැවින් ‘උරුවෙලකස්සප’යි ප්‍රසිද්ධ විය.
ඔහුගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන් කළ හංසවතී නුවර කුලගෙයක පිළිසිඳගෙන වියපත්වූයේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අගතැන්හි තබන ශාස්තෘන්වහන්සේ දැක මාවිසින්ද අනාගතයෙහි මෙබන්දකු වීම වටීයයි සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන්දී තුන්සිවුරෙන් අන්දවා බුදුන්වහන්සේ වැඳ මහපිරිස් ඇත්තවුන්ට අගබව පැතුවේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුරජාණන්වහන්සේගේ සසුනෙහි මහපිරිස් ඇත්තවුන් අතුරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී වැඩිසේක.