වංගීසතෙරණුවෝ
සිවුවැන්නෙහි පටිභානවන්තානං යනු ප්‍රතිභානයෙන් යුක්තවූවන් අතුරෙනි. වංගීස තෙරුන්වහන්සේ අග්‍රයහයි දක්වනුලැබේ. මේ තෙරහු වනාහි බුදුන් සමීපයට එළඹෙන්නාහු චක්ෂුපථයෙහි සිට සඳ හා උපමා කොට හිරු හා අහස හා මහ සමුදුර හා ඇති රජුන් හා මෘගරාජ සිංහයා හා උපමාද කොට නොයෙක් පද සියගණනින්ද පද දහස් ගණනින්ද ශාස්තෘවර්ණනාව කරන්නාහුම එළඹෙත්, එහෙයින් ප්‍රතිභාන ඇත්තවුන් අතුරින් අග්‍ර නම්වූහ.
ඔහුගේ ප්රහනකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන්කල්හි හංසවතී නුවරෙහි මහාධනවත් කුලයෙක පිළිසඳගෙන මුලින් කී අයුරින්ම වෙහෙරට ගොස් දහම් අසන්නේ එක් භික්ෂුවක ප්‍රතිභාන ඇත්තවුන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක ශාස්තෘන් කෙරෙහි පින්කම් කොට ‘මමද අනාගතයෙහි ප්‍රතිභාන ඇත්තවුන් අතුරින් අග්‍ර වන්නෙම්යයි ප්‍රාර්ත්‍ථනාකොට ශාස්තෘන්වහන්සේ විසින් විවරණ දෙන ලද්දේ දිවිඇති තෙක් කුසල් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවැත්නුවර බමුණු ගෙයක උපන්නේය ඔහුට ඔහුට වඞ්ගීස මානවයයි නමක් කළාහුය. හෙතෙම වියපත්වූයේ ත්‍රිවේදයන් උගන්නේ ඇදුරා සතුටුකොට ඡවසීස මන්ත නම්වූ ශිල්පයක් උගෙන මළසිරුරේ හිසට නියෙන් තට්ටුකොට මේ සත්වයා අසුවල් යෝනියෙහි උපන්නේයයි දැන ගනියි.
බමුණෝ මේ අපගේ ජීවනොපායයයි දැන වංගීසමානවකයා වැසුණු යානයක හිඳුවා ගම් නියම්ගම් රාජධානිවල හැසිරෙන්නාහු නගර දොරටුවෙහි හෝ නියම්ගම් දොරටුවෙහි තබා මහජනයා එක්රැස්වූ බව දැන, ‘යමෙක් වංගීස දකීද හෙතෙම ධනය හෝ ලබයි. කීර්තිය හෝ ලබයි. ස්වර්ගයට හෝ යයයි කියති. ඔවුන්ගේ කථාව අසා බොහෝ දෙනා අල්ලසක්දී දකිනු කැමැත්තෝ වෙත්. රාජරාජමහාමාත්යවරු ඔවුන් සමීපයට ගොස් ආචාර්‍ය්‍යයන්ගේ දැනුම් වෙසෙස කවරේදැයි අසත්. ‘නුඹලා නොදන්හුය. සියලු දඹදිව අපගේ ආචාර්‍ය්‍යවරයාට සමවූ අන් පඬවරයෙක් නම්නැත. අවරුදු තුනකට මත්තෙහි මියගියවුන්ගේද හිස ගෙන්වා නියෙන් තට්ටුකොට මේ සත්වයා අසුවල් යෝනියෙහි උපන්නේයයි දනියි.’ වංගීස තෙමේද මහජනයාගේ සැක සිඳිනු සඳහා ඒ ඒ මිනිසුන් ගෙන්වාගෙන තමතමන්ගේ උත්පත්ති ගතිය කියවයි. ඒනිසා මහජනයාගේ අතින් (කහවණු) සියයද දහසද (බැගින්) ලබයි.
බමුණෝ වංගීස මානවකයා ගෙන කැමති පරිද්දෙන් හැසිර යළි සැවතට පැමිණියාහුය. වංගීසතෙමේ දෙව්රමට නුදුරුතැන්හි සිටියේය, ‘ශ්‍රමණභවත් ගෞතමයන් පණ්ඩිතයෙකැයි කියත්, හැමකල්හිම මාවිසින් මොවුන්ගේ කීම කරමින්ම හැසිරීමට නොවටියි. පඬිවරුන්ගේ සමීපයටද යායුතුය’යි සිතුවේය. හෙතෙම බමුණන්ට, ‘නුඹලා යන්න. මම බොහෝ දෙනෙකු සමඟ ගොස් ශ්‍රමණභවත් ගෞතමයන් නොදකින්නෙමි’යි කීවේය. ඔවුහු, ‘වගීස, ශ්‍රමණභවත් ගෞතමයන් දැකීම ඔබට රුචි නොවේවා! යමෙක් වනාහි ඔහු දකීද හෙතෙම ඔහුව මායාවෙන් පොළඹවා ගනීයයි කීහ. වඞ්ගීස තෙමේ ඔවුන්ගේ කථාව පිළිනොගෙන ශස්තෘන් සමීපයට ගොස් මිහිරි පිළිසඳර කොට එකත්පසෙක හුන්නේය.
ඉක්බිති ඔහුගෙන් ශාස්තෘන්වහන්සේ, ‘වංගීස, කිසි ශිල්පයක් දන්නෙහිදැ’යි ඇසුසේක. ‘භවතගෞතමයිනි, එසේය. ඡවසීසමන්ත්රය නම් එකක් දනිමි’ ‘ඒ මන්ත්‍රය කුමක් කරන්නේද?’ ‘ඒ මන්ත්‍රය ජපකොට තෙවසකට කලින් මියගියවුන්ගේද හිස නියෙන් පහරා උපන් තැන දනිමි.’ ශාස්තෘන්වහන්සේ ඔහුට නිරයෙහි උපන්නකුගේ හිසක් දැක්වූසේක. මිනිසුන් අතර උපන්නකුගේ හිසක්ද දෙවියන් අතර උපන්නකුගේ හිසක්ද පිරිනිවන් පෑ කෙනෙකුගේ හිසක්ද දැක්වූසේක. හෙතෙම පළමු හිසට පහරා ‘භවත් ගෞතමයිනි, මේ සත්වයා නිරයට ගියේයැ’යි කීවේය. ‘මැනවි වංගීස, ඔබ විසින් මනාකොට දක්නාලදී. මේ සත්වයා කොහි ගියේදැ’යි ඇසුසේක. ‘භවත් ගෞතමයිනි, මනුෂ්‍ය ලෝකයටය.’ ‘මෙතෙම කොහි ගියේයද?’ ‘භවත් ගෞතමයිනි, දෙව්ලොවටය’යි තිදෙනාගේම ගිය තැන කීවේය. පිරිනිවන් පෑවහුගේ හිස නියෙන් පහරන්නේ අන්තයක් කෙළවරක් නොදකියි. ඉක්බිති ශාස්තාන්වහන්සේ ඔහුට වංගීස, නොහැක්කෙහිදැයි ඇසූ සේක. ‘බලනු මැනව භවත් ගෞතමයිනි, තවදුරටත් පරීක්ෂා කරමි’යි යළ යළිත් පෙරළා බලාද බාහිර මන්ත්‍රයකින් ක්ෂීණාශ්රවයකුගේ ගතිය කෙසේ දැන ගනීද? ඉක්බිති ඔහුගේ හිසින් දහදිය වගුළේය. හෙතෙම ලජ්ජාවට පත්ව නිහඬව සිටියේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔහුගෙන් ‘වංගීස, විඩා වන්නෙහිදැයි ඇසූසේක. ‘එසේය භවත් ගෞතමයිනි, මේ සත්වයා ගිය තැන දැනීමට නොහැක්කෙමි. ඉදින් ඔබවහන්සේ දන්නාසෙක් නම් කියනු මැනව.’ ‘වංගීස, මම මෙයද දනිමි. මෙයින් මත්තෙහිවූ දෙයක්වුවද දන්නෙමියි වදාරා ධර්මපදයෙහි මේ ගාථා දෙක පැවසූසේක.
‘යමෙක් සර්වප්රකාරයෙන් සත්වයන්ගේ චුතියද උත්පත්තියද දනියිද නොඇළුණු, මනාගති ඇති අවබෝධ කල ඔහු බ්රාහ්මණයැකයි මම කියමි.’ දෙවියෝ ගාන්ධර්වයෝ හා මිනිස්සු යමෙකුගේ ගතිය නොදිත්ද? ක්ෂයකළ ආශ්‍රවයන් ඇති රහත්වූ ඔහු බ්රාහ්මණයකැයි මම කියමි.’
ඉක්බිති වංගීස තෙමේ, ‘භවත් ගෞතමයිනි, විද්‍යාවෙන් විදයාව දෙන්නාට නම් වැය වීමක් නොවේ. මම තමන් දන්නා මන්ත්‍රය නුඹවහන්සේට දෙන්නෙමි. නුඹවහන්සේ මේ මන්ත්‍රය මට දෙනු මැනවැයි කීවේය. ‘වංගීස, අපි මන්ත්‍රයෙන් මන්ත්‍රය නොදෙමු. මෙසේම දෙමු.’ ‘භවත් ගෞතමයිනි, මැනවි. මන්ත්‍රය මට දෙනු මැනවැයි ගෞරවය දක්වා අත කැස ගන්වා ගෙන හුන්නේය. ‘කිමෙක්ද වංගීස, නුඹලාගේ ආගමෙහි මහාර්ඝ මන්ත්‍රයක් හෝ යම්කිසිවක් හෝ ගන්නවුන්ට පරිවාසයක් නම් නොවෙයිද?’ ‘භවත් ගෞතමයිනි, වෙයි’ ‘අපගේ මන්ත්‍රය වනාහි පරිවාස රහිතය’යි සංඥවක් කරව’ බ්‍රාහ්මණයෝ නම් මන්ත්‍රයන්ගෙන් තෘප්තිමත්වූවෝ නොවෙත්, එහෙයින් හෙතෙම භාග්‍යවතුන්වහන්සේට නුඹවහන්සේ විසින් කියනලද ක්‍රමයක් කරන්නෙමි’යි කීවේය. භාග්‍යවතුන්වහන්සේ, ‘වංගීස, අපි මේ මන්ත්‍රය දෙන්නමෝ අප සමාන ලක්ෂණය ඇත්තවුන්ට දෙමු’යි කීසෙක්. වංගීස තෙමේ ‘යම්කිසිවක් කොට මාවිසින් මේ මන්ත්‍රය ගන්වාගන්ට වටීය’යි බ්‍රාහ්මණයින්ට, නුඹලා මා පැවිදිවනකල්හි නහමක් නොසිතවු. මම මේ මන්ත්‍රය උගෙන සියල් දඹදිව්හි ජ්‍යෙෂ්ටයා වන්නෙමි. එසේ ඇති කල්හි නුඹලාටද යහපතක් වන්නේය’යි කීවේය. (එසේ කියා) මන්ත්‍රය සඳහා ශාස්තෘන්වහන්සේ සමීපයෙහි පැවිදිවූයේය. ශාස්තාන්වහන්සේ, ‘එතෙක් මන්ත්රපරිවාසය වසව’යි දෙතිස් ආකාරය පැවසූසේක. නුවණැති සත්ව තෙමේ දෙතිස් ආකාරය සජ්ක්ධායනා කරන්නේම එහි ක්ෂයව්යය පිහිටුවා විදසුන් වඩා රහත්බවට පැමිණියේය.