පුණ්ණ මන්තානිපුත්ත තෙරණුවෝ
නව වැන්නෙහි පුණ්ණො මන්තානිපුත්තො යනු නමින් පුණ්ණය. හෙතෙමේ මන්තානි බැමිණියගේ පුතාවේයයි මන්තානි පුත්ත නමි. ඔහුගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙම වනාහි පියුමුතුරා භාග්‍යවතුන්වහන්සේ පහළවීමට කලින්ම හංසවතී නුවරෙහි බමුණුමහසල් කුලයක උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි ගොතමයි නම් කළාහුය. හෙතෙම වියට පැමිණියේ තුන්වේදයන් උගෙන සියලු ශිල්පයන්හි දක්‍ෂවී මානවකයන් පන්සියයක් පිරිවරකොට ඇත්තේ හැසිරෙමින් ත්‍රිවේදයන්ද විමසමින් මොක්‍ෂධර්‍මයක් සොයන්නේ නොදැක මේ ත්‍රිවේදය නම් කෙසෙල් කඳන් මෙන් පිටින් මටය. ඇතුළතින් හරනැත්තේය. මෙය ගෙන හැසිරීම දහයියා කෙටීමක් බඳුවෙයි. මෙයින් මට කවර වැඩෙක්දැයි සෘෂි පැවිද්දෙන් පැවිදව බඹවිහරණයන් උපදවා නොපිරිහුණුධ්‍යාන ඇතිව බඹලොව සෙලවමින් යන්නේමැයි මානවකයන් පන්සියය සමඟ පර්‍වතපාදයට ගොස් සාෂි පැවිද්දෙන් පැවිදි විය. ඔහුට අටළොස් දහසක් ජටිලයෝ පිරිවරවූහ. හෙතෙම පංචාහිඥ අෂ්ට සමාපත්තීන් උපදවා ඔවුනටද කසිණ පරිකර්‍ම කියා දුන්නේය. ඔවුහු ඔහුගේ අවවාදයෙහි සිට සියල්ලෝම පංචාභිඥාඅෂ්ට සමාපත්ති ඉපදවූහ.
කල් ඉක්මුණු කල්හි ඒ ගොතම තාපසයාගේ මහළු කල්හි පදුමුත්තර දශබලයන්වහන්සේ උතුම් අභිසම්බෝධියට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොට ඇත්තාහු හංසවතී නුවර ඇසුරු කර වාසය කළසේක. උන්වහන්සේ එක් දිනක උදෑසන කාලයෙහි ලොව බලා වදාරණසේක් ගෝතම තවුසාගේ පිරිසගේ රහත් බවට උපනිශ්‍රයද ගෝතම තවුසා ‘මම අනාගතයෙහි උපදින බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ධර්‍මකථිකභක්‍ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙමි’යයි පතනබවද දැක උදයෙන්ම සිරුර පිළිදැගුම්කොට තමන්ගේ පාසිවුරු තෙමේම ගෙන අප්‍රකට වේශයකින් ගෝතම තවුසාගේ අතවැස්සන් වනමුල් පලවැල සඳහා ගියකල්හි වැඩම කොට ගෝතමගේ පන්සල් දොරටුවෙහි සිටිසේක. ගෝතම තෙමේ බුදුන්වහන්සේ උපන් බව නොදන්නේවුවද දුරදීම දශබලයන් වහන්සේ දැක මේ පුරුෂයා ලොවින් මිදුනෙක්වී පැනෙයි. මොහුගේ ශරීර නිෂ්පත්තිය යම්සේ වේද යම්වූ ලක්‍ෂණයන්ගෙන් සමන්විත වූයේද (එබඳු පුද්ගලයා) ගිහිගෙහි සිටින්නේ හෝ සක්විති රජවෙයි. පැවිදිවන්නේ හෝ ඉවත්කරන ලද සසර පියසි ඇති සර්‍වඥවූ බුදු වේයයි දැන පළමු දැකීමෙන්ම දශබලයන් වහන්සේ වැඳ ‘භාග්‍යවතුන්වහන්ස, මෙහි වඩිනු මැනවැ’යි බුද්ධාසනයක් පනවා දුන්නේය. තථාගතයන්වහන්සේ තවුසාට දම් දෙසමින් වැඩහුන්සේක.
එකල්හි ඒ ජටිලයෝ මිහිරි මිහිරි වනමුල් පලවැල ආචාර්‍ය්‍යවරයාට දී ඉතිරිය වළඳමුයි එන්නාහු උසසුන්හි හිඳිනා දශබලයන්වහන්සේසේද මිටි අසුනෙහි හිඳිනා ඇදුරුවරයාද දැක අපි මෙලොව අපගේ ඇදුරුවරයාගෙන් ශ්‍රේෂ්ඨවූවෙක් නැතැයි හැසුරුණෙමු. දැන් වනාහි අපගේ ඇදුරුතුමන් මිටි අසුනෙහි හිඳුවා උසසුන්හි හුන්නෙක් පැනෙයි. ඒකාන්තයෙන්ම මේ පුරුෂයා ශ්‍රේෂ්ඨයෙක් වන්නේයයි (පලවැල) කුඩා රැගෙන ආවාහුය. (ගෝතම තවුසා) මොවුහු දශබලයන්වහන්සේ ඉදිරියෙහි මට වඳින්නාහුයයි බියපත් වුයේ, ‘දරුවනි, මට නොවඳින්න. දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගලයා වූ සියල්ලන්ගේ වැඳුමට සුදුසු වූ පුරුෂයා මෙහි හුන්නේය. උන්වහන්සේ වඳුව’යි කීවේය. තවුසෝ නොදැන ඇදුරුතුමා නොකියතියි සියල්ලෝම තථාගතයන්වහන්සේගේ පාදයන් වැන්දාහුය. දරුවනි, දශබලයන්වහන්සේට දිය යුතු අන් බොජුනක් අපට නැත. මේ වන මුල්පලාපල දෙන්නෙමුයි කියා මිහිරි මිහිරි දෙය බුදුන්වහන්සේගේ පාත්‍රයෙහි පිහිටවීය. ශාස්තෘන්වහන්සේ වනමුල්පලාපල වැළදූසේක. ඉන් අනතුරුව තවුසාද අතවැසියන් සමඟ වැළදුවේය. ශාස්තෘන්වහන්සේ බත්කිස කොට, ‘දෙඅගසව්වෝ භික්‍ෂූන් ලක්‍ෂයක් ගෙන එත්වායි සිතූසේක. එසමයෙහි අගසව් මහාදේව තෙරුන්වහන්සේ ‘ශාස්තාන්වහන්සේ කොහි වැඩිසේක්දැයි විමසා බලන්නේ ශාස්තෘන්වහන්සේ අපගේ ගමන බලාපොරොත්තු වන සේකැයි භික්‍ෂූන් ලක්‍ෂයක් ගෙන ශාස්තෘන් සමීපයට ගොස් වැඳ නමඳිමින් සිටියහ.