අනුරුද්ධ තෙරණුවෝ
පස්වෙනි සූත්‍රයෙහි,, ‘දිබ්බචක්‍ඛුකානං යදිදං අනුරුද්දධො’ යනු දිවැස් ඇති භික්‍ෂූන් අතුරෙන් අනුරුද්ධ තෙරුන්වහන්සේ අග්‍රයයි කියයි. ඔහුගේ පුරුදු කරනලද දක්‍ෂතාවේ අග්‍රභාවය දතයුතුයි. තෙරුන්වහන්සේ වනාහි බොජුන් සඳහා පමාවීම පමණක් හැර ඉතිරි කාලය ආලෝකය වඩා දිවැසින් සත්වයන් බලමින්ම වාසය කරති. මෙසේ දිවාරාත්‍රියෙහි පුරුදුකරනලද දක්‍ෂතාව හේතුකොටගෙන උන්වහන්සේ දිවැස් අත්තවුන් අතුරෙන් අග්‍රතමවූහ. තවද කල්පල්‍ෂයක් අර්‍ත්‍ථනා කරලද බැවින්ද උන්වහන්සේ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රවූවෝම වෙත්. එහි උන්වහන්සේ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රවූවෝම වෙත්.
එහි උන්වහන්සේගේ ප්‍රශ්නකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මේ කුලපුත්‍රයාද පදුමුත්තර භාග්‍යවතුන්වහන්සේගේ කාලයෙහි පසුබත්කල්හි දහම් ඇසීම සඳා වෙහෙරට යන මහජනයා සමඟ විහාරයට ගියේය. එකල්හි මෙතෙමේ එක්තරා අප්‍රසිද්ධ නම් ඇති ධනවත් කෙළෙඹියෙක් වූයේය. හෙතෙම භාග්‍යවතුන්වහන්සේ වැඳ පිරිස් කෙළවරෙහි සිටියේ දහම් අසයි. ශාස්තෘන්වහන්සේ දේශනාව අනුසන්‍ධි ගන්වා එක් දිවැස් ඇති භික්‍ෂුවක ඒතදග්‍රස්ථානයෙහි තැබූසේක.
ඉක්බිති කෙළෙඹියාට මෙසේ සිත්විය. ශාස්තෘන්වහන්සේ යමෙකු මෙසේ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රභාවයෙහි තැබූසේකද ඒකාන්තයෙන්ම මේ භික්‍ෂුව ශ්‍රේෂඨයෙකි. ‘අහෝ! මමද අනාගතයෙහි පහළවන බුදුවරයකුගේ සසුනෙහි දිවැස් ඇත්තවුන් අතුරෙහි අග්‍රවන්නෙමි නම් යෙහෙකැ’යි සිත් උපදවා පිරිස අතුරෙන් ගොස් හෙට දිනය සඳහා භික්‍ෂු සංඝයා සමඟ භාග්‍යවතුන්වහන්සේට ඇරයුම් කොට දෙවැනි දිනයෙහි බුදුපාමොක් බික් සඟනට මහදන්දී මාවිසින් මහත්වූ තනතුරක් පතනලදැයි ඒ ක්‍රමයෙන්ම අද සඳහා හෙට සඳහායි ආරාධනා කොට දින සතක් මහදන් පවත්වා පිරිවර සහිත භාග්‍යවතුන්වහන්සේට උතුම් වස්ත්‍රදී, ‘භාග්‍යවතුන්වහන්ස, මේ සත්කාරය මම දිවසැපත් සඳහා මිනිස් සැපත් සඳහා නොකරමි. නුඹවහන්සේ මෙයින් දින සතකට මත්තෙහි යම් භික්‍ෂුවක දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක්ද මමද අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි ඒ භික්‍ෂුව මෙන් අග්‍ර වෙම්වායි ප්‍රාර්‍ත්‍ථනා කොට වැද හොත්තේය. ශාස්තෘන්වහන්සේ අනාගතය බලා ඔහුගේ පැතුම ඉටුවන බව දැන මෙසේ වදාළසේක. ‘පින්වත් පුරුෂය, ආනාගතයෙහි කල්ප ලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදුරජාණන්වන්සේ උපදිනසේක. උන්වහන්සේගේ සසුනෙහි නුඹ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රවූ අනුරුද්ධ නම් වන්නෙහිය.’ මෙසේද පවසා භූත්තානුමෝදනාවකොට විහාරයටම වැඩිසේක.
කෙළෙඹි තෙමේද බුදුරජාණනන්වහන්සේ වෙසෙන තෙක් අත් නොහැම යහපත් කටයුතු කොට ශාස්තෘන්වහන්සේ පිරිනිවන පෑ කල්හි සත් යොදුන්වූ ස්වර්‍ණ චෛත්‍යය තනා නිමවූ කල භික්‍ෂුසංඝයා වෙත එළඹ, ස්වාමීනි දිවැසට උපකාරක දේ කුමක්දැයි විමසීය. ‘උවසුව, පහන්දානය දීම නම් වටනේය’යි කීය. ‘මැනව, ස්වාමීනි කරන්නෙමි’යි දහසක් පත් ඇති පහන්ගස් දහසක් කරවූයේය. ඉන් අනතුරුව ඊටතරමක් අඩු, තරමක් අඩු නොයෙක් දහස් ගණන් පහන්ගස් කරවීය. ඉතිරි පහන් වනාහි අප්‍රමාණ විය.