‘නොසිතූ දෙයම සිදුවෙයි. සිතූදෙය නොසිදුවෙයි. ස්ත්‍රියට හෝ පුරුෂයාට සිතන පරිදිවූ වස්තුව නොලැබේ.’
‘පෙර ඔබ ගිරිදුර්‍ගයක යම් රසහ මුවකු ලුහුබැඳ ගියෙහිද කරුණා සිතැති උගේ වෑයම නිසා ඔබ ජීවත්වෙහි.’
‘යම් සරහමුවෙක් ගලෙන් වෑයම් කොට එතෙරවිය නොහැකි නරාවලෙන් තොප ගොඩ ගත්තේද දුකටපත්වූ තොප මරුමුවෙන් මිදුවේද? නොපසුබට සිතැති ඒ මුවාගේ (ගුණ) කීහුය.’
‘බමුණ, තෙපි එදා එහි සිටියහුද? නැතහොත් කිසිවෙක් එය ඔබට කීවේද? (නැතහොත්) දුරුකළ කෙලෙස් ඇති සියල්ල දක්නා කෙනෙක්වූහුද? තොපගේ නුවණ බලවත් පැවතුම් ඇත්තේය.’
‘ජනනායකය, මම එදින එහි නොවීමි. කිසිවෙකුත් එය මට නොකීය. (එහෙත්) නුවණැත්තෝ මනාකොට කියනලද ගාථා පදයන්ගේ අර්‍ත්‍ථය පමුණුවා ගනිත් (සොයාගනිත්)’
තෙළෙස් නිපාතයෙහි මේ සරභජාතකය පැවසීය. අතීතයෙහිද සැකෙවින් කියනලද්දෙහි අර්‍ත්‍ථය මගේ පුත්තෙමේ දනීයයි ශාස්තෘන්වහන්සේ විසින් ධම්සෙනෙවි සැරියුත් තෙරුන්ගේ ප්‍රඥානුභාවය පැවසීම සඳහාම මේ ජාතක පසම දෙසන ලදි. මෙසේ වැටහීමෙන්ද තෙරුන්වහන්සේ මහපැනවත් බවින් එතදග්‍රස්ථානය ලැබූහ.
පුරුදුකරනලද දක්‍ෂභාවයෙන් කෙසේදයත්? සිව්පිරිස් මැද ධර්‍මය ප්‍රකාශකරන්නේ සිව්සස් නොමුදා පවසයි යන මෙය තෙරුන්වහන්සේ විසින් පුරුදුකරනලදි. මෙසේ පුරුදුකරනලද දක්‍ෂ බැවින්ද තෙරුන්වහන්සේ එතදග්‍රස්ථානය ලැබූහ.
ගුණවිශිෂ්ටත්වයෙන් කෙසේද යත්? බුදුන්වහන්සේ හැර මහපැනවත් බැවින් ධම්සෙනෙවි සැරියුත්තෙරුන් සමානවූ අන් එකද සව්වෙක් හෝ නැතැයි මෙසේ ගුණ විශිෂ්ටත්වයෙන්ද තෙරුන්වහන්සේ මහපැනවත් බැවින් එතදග්‍රස්ථානය ලැබූහ.
සැරියුත් තෙරුන්වහන්සේ යම්සේද එසේ මහ මුගලන් තෙරුන්වහන්සේද සියලුම මේ සිවු කරුණින් එතදග්‍රස්ථානය ලැබූහ. කෙසේදයත්? තෙරුන්වහන්සේද මහත්සෘද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. නන්‍දොපනන්‍ද සමානවූ නාරජුන්ද දමනය කළහයි මෙසේ වනාහි අර්‍ත්‍ථොත්පත්ති වශයෙන් ලැබූහ. මේ තෙරුන්වහන්සේ දැන් පමණක් මහත් සෘද්ධි මහත් ආනුභාව ඇත්තෝ නොවූහ. අතීතයෙහි ජාති පන්සියයක තවුස් පැවිද්දෙන් පැවිදිවූවෝ මහත්සෘද්ධි මහත් ආනුභාව ඇත්තෝම වූහ.
‘යමෙක් මනරම්වූ කම්සැප අතැර ජාති පන්සියයක් පැවිදිවූයේද වීතරාගවූ මානව දැමුණු ඉඳුරන් ඇති පිරිනිවුණු ඒ මුගලන් තෙරුන් වදිවු.’
මෙසේ පැමිණීමෙන්ද (අවබොධ කිරීමෙන්) ලැබූහ. නිරයට ගොස් තමාගේ සෘද්ධිබලයෙන් නිරාසතුන්ට සැනසිලිදනවනු සඳහා සිසිල ඉටා රියක් පමණවු නෙළුමක් මවා නෙළුම් කෙමියෙහි වැඩහිඳ ධර්‍මකථා කරයි යන මෙය තෙරුන්වහන්සේට පුරුදුය. මෙසේ පුරුදුකරනලද දක්‍ෂතායෙන්ද ලැබූහ. සම්මාසම්බුදුන්වහන්සේ හැර මහ මුගලන් තෙරුන්මෙන් මහත් සෘද්ධි ඇති මහත් ආනුභාව ඇති අන් සව්වෙක් නැතැයි මෙසේ ගුණවිශිෂ්ටත්වයෙන්ද ලැබූහ.
මුන්වහන්සේ යම්සේද එසේ මහකසුප් තෙරුන්වහන්සේද මේ සියලුම කරුණින් එතදග්‍රස්ථානය ලැබූහ. කෙසේදයත්? සම්මාසම්බුදුන්වහන්සේ වනාහි තෙරුන්වහන්සේට තුන්ගව්වක් පමණ පෙර ගමන් කොට අවවාද තුනකින් උපසපන්කරවා සිවුර මාරුකොට දුන්සේක. එසමයෙහි මහපොළව දිය කෙළවර දක්වා කම්පාවූයේය. මහජනයාගේ සිත්තුළ තෙරුන්වහන්සේගේ කිත්ගොස වසා පැතිරගියේය. මෙසේ අර්‍ත්‍ථොත්පත්ති වශයෙන්ලැබූහ. මුන්වහන්සේ දැන් පමණක් ධුතවාදී නොවූහ. අතීතයෙහි ජාති පන්සියයක තවුස් පැවිද්දෙන් පැවිදිවද ධුතවාදීම වූවාහුය:
‘මනරම්වූ කාමයන් අතහැර යමෙක් ජාති පන්සියයක් පැවිදිවීද පහකළරාග ඇති මනාව දැමුණු ඉදුරන් ඇති පිරිනුවුණු ඒ මහකසුප් තෙරුන් වදිවු’යි
මෙසේ පැමිණීම් වශයෙන් ලැබූහ. සිවුපිරිස මැදට ගියේ ධර්‍මය ප්‍රකාශකරන්නේ දසකථාවස්තූන් නොහැරම ප්‍රකාශකරන්නේය යන මෙය තෙරුන්වහන්සේ විසින් පුරුදුකරනලදී. මෙසේ පුරුදුකරනලද දක්‍ෂභාවයෙන් ලැබුහ. සම්මාසම්බුදුන්වහන්සේ හැර තෙළෙස් ධුතගුණයන්ගෙන් මහ කසුප් සමානවූ අන් සව්වෙක් නැතැයි මෙසේ ගුණ විශිෂ්ටත්වයෙන් ලැබූහ. මේ ක්‍රමයෙන්ම ඒ ඒ තෙරවරුන්ගේ ලැබීම් අනුව ගුණයන් ප්‍රකාශකිරීමට වටනේයි.