ඒකපුග්ගල වර්ගය
එකපුද්ගලවර්ගයෙහි පළමුවෙනි සූත්රයෙහි ‘එකපුග්ගලො’ යනු එක් පුද්ගයෙකියි. මෙහි ‘එකො’ යනු දෙවැනි ආදිය ප්රතික්ෂෙප කිරීම් අර්ත්ථයෙහි සංඛ්යා පරිච්ඡේදයයි. ‘පුග්ගලො’ යනු ව්යවහාර කථාවකි. පරමාර්ත්ථ කථාවක් නොවේ. භාග්යවත් බුදුරජානන්වහන්සේගේ වනාහි සම්මුති දෙසනා පරමත්ථදෙසනායි ද්විවිධ දේශනාවක් වෙයි. එහි පුද්ගලයා, සත්වයා, ස්ත්රිය, පුරුෂයා, ක්ෂත්රියයා, බ්රාහ්මණයා, දෙවියා, මාරයා යනුවෙන් මෙබඳු වූයේ සම්මුති (ව්යවහාර) දෙසනානමි. අනිත්ය, දුක්ඛ, අනාත්ම, ස්කන්ධ, ධාතු, ආයතන, සතිපට්ඨාන යනුවෙන් මෙබඳුවූයේ පරමත්ථ (පරමාර්ත්ථ) දෙසනා නමි. එහි භාග්යවතුන්වහන්සේ යමෙක් සම්මුති වශයෙන් දේශනාවක් අසා අර්ත්ථය වටහාගෙන මෝහය අතහැර විශේෂ (මාර්ගඵලාදි) යක් ලැබීමට හැකිවෙත්ද ඔවුනට සම්මුති දෙසනාව දෙසනසේක. යමෙක් වනාහි පරමාර්ත්ථවශයෙන් දේශනාවක් අසා අර්ත්ථය වටහාගෙන මෝහය අතහැර විශේෂයක් ලැබීමට සමත්වෙත්ද ඔවුනට පරමාර්ත්ථදේශනාව දෙසනසේක.
එහි මේ උපමායි. යම්සේ වනාහි දේශභාෂාවන්හි දක්ෂවූ ත්රිවිධ වේදයන්ගේ අර්ත්ථසංවර්ණනා’ ක්රමයන් දන්නාවූ ආචාර්ය්යවරයෙක්, යමෙක් දමිළ භාෂාවෙන් කීකල්හි අර්ත්ථය දනිත්ද ඔවුනට දමිළ භාෂාවෙන් ප්රකාශකරයි. යමෙක් අන්ධභාෂාදිය අතුරෙන් යම් භාෂාවකින් (කී කල්හි අර්ත්ථය දනිත්ද) ඔවුනට ඒ ඒ භාෂාවෙන් (ප්රකාශකරයි.) මෙසේ ඒ මානවකයෝ භාෂා ප්රයෝගයෙන් දක්ෂවූ ව්යක්තවූ ආචාර්ය්යවරයෙකු වෙත එළඹ ඉක්මණින්ම ශිල්පය උගණිත්. එහි භාග්යවත් බුදුරජාණන්වහන්සේ ආචාර්ය්යවරයා මෙනි. කිවයුතුබවෙහි පිහිටි තුන් පිටකය ත්රිවේදය මෙනි. පරමාර්ත්ථසම්මුති දේශනාවන්හි දක්ෂතාව දෙශභාෂාවන්හි දක්ෂතාව මෙනි. සම්මුති පරමත්ථ වශයෙන් වටහාගැනීමට සමත් විනෙයජනයෝ නොයෙක් දේශභාෂාවන්ට අයත් මානවකයන් මෙනි. භාග්යවතුන්වහන්සේගේ සම්මුති පරමාත්ථවශයෙන්වූ දේශනාව ආචාර්ය්යවරයා දමිළ භාෂාදියෙන් ප්රකාශකිරීම මෙනැයි දතයුතුය. මෙහි කියනලද්දේදවෙයි.
‘දේශකයන් අතුරෙන් ශ්රෙෂ්ඨවූ බුදුරජාණන්වහන්සේ සම්මුතියද පරමාර්ත්ථයදැයි සත්යදෙකක් ප්රකාශකළසේක. තෙවැනි සත්යයක් නොලැබෙයි.
ලෝකයෙහි පිළිගැනීම හේතුවෙන් සංකේත වචනය සත්යය. ධර්මයන් හටගත් ආකාරය හේතුවෙන් පරමාර්ත්ථ වචනය සත්යය.
එහෙයින් ව්යවහාරයෙහි දක්ෂවූ ලෝකයාට ස්වාමීවූ සම්මුතිය ව්යවහාර කරන ශාස්තෘන්වහන්සේට මුසාවාදයක් හටනොගනී.
තවද: භාග්යවතුන්වහන්සේ කරැණු අටකින් පුද්ගල කථාව කරනසේක. විලිබිය පළටකරනු සඳහා, කර්මය අයත් කොට ඇතිබව පළට කිරීම සඳහා, එක්එක් පුද්ගලයා අයත් ක්රියා පළටකරනු සඳහා, පෙරවිසූ කඳපිළිවෙළ පළටකරනු සඳහා, දානයේ පිරිසුදුකම පළටකරනු සඳහා, ලෝකසම්මතය අත්නොහැරීම සඳහාත් යනුවෙනි. ස්කන්ධ ධාතු ආයතනයෝ ලජ්ජාවෙති බිය වෙතියි කීකල්හි මහජනයා නොදනියි. මුළාවට පැමිණෙයි. ස්කන්ධධාතු ආයතනයෝ ලජ්ජාවෙති බියවෙති. යනු මේ කිමෙක්දැයි විරුද්ධ වෙයි. ස්ත්රිය, පුරුෂයා, ක්ෂත්රියයා, බ්රාහ්මණයා, දෙවියා, මාරයා ලජ්ජාවෙයි බියවේයයි කීවිට දනියි. මුළාවට නොපැමිණෙයි. විදරුද්ධ නොවෙයි. එබැවින් භාග්යවතුන්වහන්සේ ලජ්ජා බිය ප්රකටකිරීම සඳහා පුද්ගලකථාව කරනසේක.
ස්කන්ධයෝ ධාතූහු ආයතනයෝ කර්මය අයත්කොට ඇත්තෝයයි කීවිටද මේ ක්රමයමැයි. එබැවින් භාග්යවතුන්වහන්සේ කර්මය ස්වකීයකොට ඇතිබව ප්රකට කරනු සඳහා පුද්ගලකථාව කරනසේක.
වෙළුවනාදී මහාවිහාරයෝ ස්කන්ධයන් විසින් ධාතූන් විසින් ආයතනයන් විසින් කරවනලද්දෝයි කීකල්හිද මේ ක්රමයමයි. මේ නිසා භාග්යවතුන්වහන්සේ එක් එක් පුද්ගලයාට අයත් ක්රියා ප්රකටකරනු සඳහාද පුද්ගල කථාව කරනසේක.
ස්කන්ධයෝ ධාතූහු, ආයතනයෝ මව, පියා රහතුන්වහන්සේ ජීවිතයෙන් තොර කිරති, ලෝහිතුප්පාදකර්මය කරති, සංඝභේද කර්මය කරතියි කීවිටද මේ ක්රමයමයි. එහෙයින් භාග්යවතුන්වහන්සේ ආනන්තර්ය්යකර්ම ප්රකට කරනු සඳහා පුද්ගලකථාව කරනසේක.
ස්කන්ධයෝ ධාතූහු ආයතනයෝ මෛත්රී කරතියි කීවිටද මේ ක්රමයමයි. එබැවින් භාග්යවතුන්වහන්සේ බ්රහ්මවිහාර ප්රකටකරනු සඳහා පුද්ගලකථාව කරනසේක.
ස්කන්ධයෝ ධාතූහු ආයතනයෝ පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරතියි කීවිටද මේ ක්රමයමයි. එබැවින් භාග්යවතුන්වහන්සේ පෙරවිසූ කඳපිළිවෙළ ප්රකටකරනු සඳහා ද පුද්ගලකථාව කරනසේක.
ස්කන්ධයෝ ධාතූහු ආයතනයෝ දානය පිළිගනිති. කීකල්හිද ස්කන්ධයෝ ධාතූහු ආයතනයෝ පිළිගනිති යනු මේ කිමෙක්දැයි මහජනයා නොදනියි. මුළාවට පැමිණෙයි, විරුද්ධවෙයි. පුද්ගලයෝ සිල්වත්තු යහදම් ඇත්තෝ පිළිගනිතියි කීකල්හි මහජනයා දනියි. මුළාවට නොපැමිණෙයි. විරුද්ධ නොවෙයි. එබැවින් භාග්යවතුන් වහන්සේ දානයෙහි පිරිසුදු බව දැක්වීමට පුද්ගලකථාව කරනසේක.