‘ලොකෙ’ යනු අවකාශ ලෝකය, සත්වලෝකය, සංසකාර ලෝකයයි ලෝක තුනකි. ඒවායේ විස්තර කථාව විශුද්ධිමාර්ගයෙහි කියනලදි. ඒවා අතරින් මෙහි සත්වලෝකය අදහස් කරනලදි. සත්වලෝකයෙහි උපදිනුලබන්නාවූද මෙතෙම දිව්යලෝකයෙහි නොඋපදියි. බ්රහ්මලෝකයෙහිද නොඋපදියි. මිනිස් ලොවෙහිම උපදියි. මිනිස් ලොවෙහිද අන් සක්වළක නොව මේ සක්වළම උපදියි. එහිද හැම තන්හිම නොවේ,
පෙරදිගින් කජංගල නම් නියම්ගමෙකි. එයට අන්යව මහාසාලයෝයි. ඉන් මත්තෙහි මෙපිටින් මැද ප්රත්යන්ත ජනපදයෝයි. ගිනිකොන දිගින් සලලවතී නම් නදියයි. ඉන් මත්තෙහි මෙපිටින් මැද ප්රත්යන්ත ජනපදයෝයි. දකුණු දිගින් සෙතකණ්ණික නම් නියම්ගමයි. ඉන් මත්තෙන් මෙපිටින් මැද ප්රත්යන්තජනපදයෝයි. පැසුළුදිගින් ථුනනම්වූ බමුණුගමයි. ඉන් මත්තෙහි මෙපිටින් මැද ප්රත්යන්ත ජනපදෙයෝයි. උතුරැ දෙසින් උසීරද්ධජ නම්වූ පර්වතයයි. ඉන්මත්තෙහි මෙපිටින් මැද ප්රත්යන්ත ජනපදයෝයයි මෙසේ පිරිසිඳුණු, දිගින් යොදුන් තුන්සියයක් ඇති, පළලින් යොදුන් දෙසියපණසක් ඇති, වටින් යොදුන් නවසියයක් ඇති මධ්යම දේශයෙහි උපදියි. හුදෙක් තථාගතයන්වහන්සේ පමණක් නොවෙත්. පසේබුදුවරු, අගසව්වරු, අසූමහ තෙරවරු බුදුබව, බුදුපියා, සක්විති රජ හා වෙනත් හරවත් (ධනවත්) වූ බමුණු ගැහැවියෝ ද මෙහිම උපදිත්,
‘උප්පජ්ජමානො උපපජ්ජති’ යන මෙය වනාහි දෙකම නිමනොකළ වචනයි. පහළ වන්නේ බොහෝ දෙනාගේ හිතවැඩ සඳහා පහළවෙයි. වෙනත් කරුණකින් නොවේයයි මෙසේ මෙහි අර්ත්ථය දතයුතුයි. මෙහි ලක්ෂණය මෙබඳුමය. මෙය වෙනත් ශබ්දලක්ෂණයකින් මැඩලන්නට නොහැකිය.
තවද උපදිනුලබන්නේනම් උපදියිනම් උපන්නේ නම්යි මෙහි මේ භේදය දතයුතුයි. මෙතෙම වනාහි දීපඞ්කර පාදමූලයෙහි ලබනලද විවරණ ඇත්තේ බුද්ධකාරක ධර්මයන් සොයන්නේ දසපාරමිතාවන් දැක මේ ධර්මයෝ මාවිසින් පිරියයුත්තාහයි කරනලද සනිටුහන් ඇත්තේ දානපාරමිතාව පුරන්නේද උපදිනුලබන්නේ නමි. ශීලපාරමිතාව -පෙ- උපෙක්ෂා පාරමිතාවය යන මේ දශපාරමිතාවන් පුරන්නේද දශඋපපාරමිතාවන් පුරන්නේද, උපදිනුලබන්නේනමි. පංචමහා පරිත්යාගයන් පරිත්යාගකරන්නේද, උපදිනුලබන්නේ ඥාති අර්ත්ථචර්ය්යාව, ලෝකාර්ත්ථචර්ය්යාව හා බුද්ධචර්ය්යාව සම්පූර්ණ කරන්නේද උපදිනුලබන්නේ නමි. කල්පලක්ෂයක් අධිකකොට ඇති අසංඛ්යසතරක් බුද්ධකාරකධර්මයන් මුදුන්පමුණුවන්නේද, උපදිනුලබන්නේ නමි. වෙසතුරු අත්බව හැර තුසිත දෙව්පුරයෙහි පිළිසිඳ ගෙන අවුරුදු සැටලක්ෂයක් අධිකකොට ඇති අවුරුදු පණස්හත්කෝටියක් සිටින්නේද උපදිනුලබන්නේ නමි. දෙවියන් විසින් අයදිනලද්දේ පස්මහ බැලුම් බලා මායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගන්නේද නොඅඩු නොවැඩි දසමසක් ගැබහි වසන්නේද උපදිනු ලබන්නේ නමි. එකුන්තිස් වසක් ගිහිගෙහි සිටින්නේද උපදිනුලබන්නේ නමි. කාමයෙහි ආදීනවද නෛෂ්ක්රම්යයෙහි ආනිසංශද දැක රාහුලභද්රයන් උපන්දිනයෙහි ඡන්නසහායකොට ඇත්තේ කත්ථක නම් උතුම් අසුපිට නැඟ නික්මෙන්නේද උපදිනුලබන්නේ නමි. රාජ්යතුනක් ඉක්මවන්නේද අනෝමා නදීතීරයෙහි පැවිදි වන්නේද උපදිනුලබන්නේ නමි. අවුරුදුසයක් මහා ප්රධන් වීර්ය්ය කරන්නේද උපදිනුලබන්නේම නමි. නුවණ මුහුකුරා ගිය කල්හි ඕලාරික ආහාර වළඳන්නේද උපදිනුලබන්නේනමි. සවස්කල්හි වෙසක් පුන් පොහොයෙහි බෝමැඬට නැඟ මාරබලය පරදා පළමු යාමයෙහි පුබ්බෙනිවාසානුස්සති ඤාණය සිහිකොට මැදුම්යමෙහි දිබ්බචක්ඛුඤාණය පිරිසුදුකොට පශ්චිමයාමයට සමනන්තරව අංගදොළසක් සහිත ප්රතීත්යසමුප්පාදය අනුලොම් පිළිලොම් වශයෙන් සම්මර්ශනයකොට සෝතාපත්ති මාර්ගය අවබෝධ කරන්නේද උපදිනුලබන්නේම නමි. සොතාපත්ති ඵලක්ෂණයෙහිද සකෘදාගාමි මාර්ගක්ෂණයෙහිද අනාගාමිඵලක්ණණයෙහිද උපදිනුලබන්නේම නමි. අර්හත්මාර්ගක්ෂණයෙහිවනාහි උපදියි නමි. අර්හත් ඵලක්ෂණයෙහි උපන්නේ නමි. බුදුවරුන්ගේ වනාහි ශ්රාවකයන්ගේ මෙන් ඉද්ධිවිධඤාණාදිය පිළිවෙළින් නූපදියි. අර්හත්මාර්ගය සමගම සියලුම සර්වඥතාඥානාදී ගුණ සමූහය ආයේමනම් වෙයි. එබැවින් ඔහුහු උපන් සියලු කෘත්ය ඇතිබැවින් අර්හත්ඵලක්ෂණයෙහි උපන්නෝනම් වෙත්. මේසූත්රයෙහිද අර්හත්ඵල ක්ෂණයම උදෙසා උපදීයයි දතයුතුයි. උපන්නේ වේය යන මෙය මෙහි අර්ත්ථයයි.