එහි ස්ත්රීරූපයාගේ මැඬගැනීමේ බලය දැක්වීමේ කථාවස්තුවයි, මෙය: මහදැළියා මානා රජතෙමේ වනාහි සෑගිරියෙහි අඹතලෙහි මහාස්තූපයක් කරවා ගිරිභණ්ඩවාහන නම් පූජාවක් කරවා කලින්කලට අතැවුර පිරිවරනලද්දේ සෑගිරියට ගොස් බික්සඟනට මහදන් දෙයි. බොහෝදෙනෙකු රැස්වූ තන්හි සිහල්ලන්ගේ සිහිය මනාව පිහිටියේ නොවෙයි. රජුගේද දමිළදේවී නම්වූ මෙහෙසිය පළමුවියෙහි සිටියා දැකුම්කලුය; පහදවන සුලුය. ඉක්බිති චිත්තත්ථෙර නම්වූ එක් මහළුපැවිද්දෙක් අසංවර ලෙසින් බලන්නේ ඇයගේ රූපාරම්මණයෙහි නිමිතිගෙන උමතුවූවකු මෙන් සිටිහුන්තන්හි ‘දමිළදේවිය මනාය, දමිළදේවිය මනායැ’යි කියමින් හැසිරෙයි. එතැන්පටන් ඔහුට කුඩාහෙරණෝ උම්මත්තක චිත්තත්ථෙර යනුවෙන් නමක් කොට ව්‍යවහාර කළහ. ඉක්බිති ඒ දේවිය නොබෝ කලකින්ම කලුරිය කළාය. බික්සඟන අමුසොහොනෙහි ඇය දැක්මට ගොස් ආවිට කුඩා හෙරණෝ ඔහු වෙතට ගොස් මෙසේ කීවාහුය. ‘ස්වාමීනි චිත්තතෙරණුවනි, යම් තැනැත්තියක වෙනුවෙන් ඔබ වැළපෙන්නෙහිද අපි ඒ දේවියගේ සිරුර අමුසොහොනෙහි දැක්මට ගොස් ආවෝවෙමු.’ මෙසේ කීකල්හිද නොඅදහමින් ‘යම් තැනැත්තියක හේතුකොටගෙන නුඹවහන්සේලා අමුසොහොනෙහි දැකීම සඳහා ගියාහුද නුඹවහන්සේලාගේ මුහුණ දුම් පැහැගෙන ඇත’යි උමතු වචනම කීවේය. මෙසේ මේ ස්ත්‍රී රූපය උම්මත්තකචිත්ත තෙරුන්ගේ සිත මැඬගෙන සිටියේය.
වෙනත් වස්තුවක් ද වේ: සද්ධාතිස්ස මහරජතෙමේ එක් දිනක් අතැවුර පිරිවරන ලද්දේ වෙහෙරට පැමිණියේය. එක් තරැණ භික්ෂුවක් ලෝවාමහපායෙහි දොරකොටුවෙහි සිට අසංවරයෙහි සිටියේ එක් ස්ත්‍රියක දෙස බැලීය. ඕද ගමන නවතා ඔහු දෙස බැලීය. දෙදෙනාම ඇතුළත නැඟුණු රාගගින්නෙන් දැවී කලුරිය කළාහුය. මෙසේ ස්ත්‍රීරූපය තරුණයාගේ සිත මැඬගෙන සිටියේය.
වෙනත් වස්තුවක්ද වේ: කැලණි මහාවිහාරයෙන් එක් තරුණ භික්ෂුවක් උදෙසීම සඳහා කාළදීඝවාපිගාමද්වාර විහාරයට ගොස් නිමවනලද උදෙසීම්කිස ඇත්තේ හිතවැඩ කැමැත්තවුන්ගේ කීම නොඅසා ‘ගියතැන්හි තරුණ හෙරණුන් විසින් විමසනලදවිට ගමට පිවිසුණු ආකාරය කිවයුත්තේ වනැ’යි ගමෙහි පිඬුපිණිස හැසිරෙන්නේ ප්‍රතිවිරුද්ධ ආරම්මණයක නිමිතිගෙන තමා වසන තැනට ගියේ, ඇය විසින් හඳනාලද වස්ත්‍ර හැඳින ‘ඔබ මෙය කිනම් තැනකින් ලබන ලද්දේදැයි අසන්නේ, ඇය මළ බව දැන මෙබඳු නම් ස්ත්‍රිය මා නිසා මළේයයි සිතමින් ඇතුළත නැඟුණු රාගගින්නෙන් දැවී ජීවිතක්ෂයට පත්විය. මෙසේද මේ ස්ත්‍රීරූපය පුරුෂයාගේ සිත මැඬගෙන සිටීයයි දතයුතුය.
පළමුසූත්ර නිමියේයි.
දෙවෙනි සූත්‍රාදිය ශබ්දගරුකාදීන්ගේ සිතේ පවත්නා ආකාරය අනුව කියනලදි. ඔවුනතුරෙහි ඉත්ථිසද්දො යනු ස්ත්‍රියගේ සිතෙහි හටගත් කීම් ගැයීම් හැඬීම් ශබ්දයයි. තවද, ස්ත්‍රිය හඳනලද ඇඳුම් වලද සරසන ලද සැරසීම්වලද ස්ත්‍රියගේ ප්‍රයෝගයෙන් නිපැයුණු වෙණවීණාසක් බෙර ආදියේ හඬද ස්ත්‍රී ශබ්දයමයයි දතයුතුය. මේ සියල්ලම පුරුෂයාගේ සිත මඬගෙන සිටී. එහි සුවණ්නකක්කටක සුවණ්ණමොරදහර භික්ඛු ආදීන්ගේ කථාවස්තු දතයුතුය.
පර්වතාන්තරයක් ඇසුරුකොට මහත් ඇත්කුලයක් වසයි. නුදුරු තන්හි මහාපරිභෝගවූ විලකි. එහි මහත්සිරුරකින් යුත් රන් කකුළුවෙක් සිටී. හෙතෙම ඒ විලට බස්නවුන් අඬුක් වැනි අත්වලින් පා අල්වාගෙන තම වසයට පමුණුවා මරයි. ඊට බසිනු කැමති ඇත්තු එක් මහ ඇතෙකු ජ්‍යෙෂ්ඨයා කොටගෙන හැසිරෙත්. ඒ කකුළුවා එක් දිනක ඒ මහ ඇතු අල්වා ගත්තේය. සවියෙන් හා සිහියෙන් යුත් ඇතා ‘ඉදින් මම බියපත් හඬ නංවන්නෙම් නම් සියල්ලෝ කැමති පරිද්දෙන් ක්‍රීඩා නොකොට පලා යන්නාහ’යි (සිතා) නිශ්චලවම සිටියේය. ඉක්බිති සියල්ලන් ගොඩට ආබව දැන ඒ කකුළුවා විසින් අල්වාගත් බව තමාගේ බිරියට දැන්වීමට මහහඬ නංවා මෙසේ කීය.
අං ඇති, මෘගයෙකු බඳුවූ දිගු ඇස් ඇති ඇටම සමලෙස පිහිටි දියෙහි නිදන ලොම් නැති (සතෙකි.) ඔහු විසින් මඩනාලද මම බැගෑපත්ව හඬමි. ප්රාණසමවූ මා අත් නොහරින්න.
ඕ එය අසා සැමියා අල්වාගත් බව දැන ඔහු ඒ බියෙන් මිදවීමට ඇතාද කකුළුවාද සමඟ කථා කරන්නී මෙසේ කීවාය:
‘සැටවියැති ඇත් හිමියාණෙනි, ඔබ අත් නොහරින්නෙමි. එබ සිවුකොනැති පොළොවෙහි මට බෙහෙවින් ප්‍රිය වූයේවෙහි. සමුදුරෙහිද ගංගා නදියෙහිද යමුනා නදියෙහිද යම් කකුළුවෝ වෙත්ද දියෙන් උපන් ඔබ ඔවුන් අතුරින් ශ්‍රේෂ්ඨ වෙහි. හඬන්නියගේ හිමියා මුදන්න’
කකුළුවා ස්ත්‍රීශබ්දය ඇසීමත් සමඟ ග්‍රහණය ලිහිල් කළේය. ඉක්බිති ඇතා මෙයම ඔහුගේ අවස්ථාවයයි (සිතා) එක් පයක් අල්වාගත් අයුරින්ම තබා දෙවැනි පය ඔසවා පිටකටුව මැඩ, සුණුවිසුණු කළ පිට ඇති ඒ කකුළුවා ඇද තෙරට විසිකළේය. ඉක්බිති සියලු ඇත්තු රැස්ව මොහු අපගේ සතුරායයි කූඩු කළහ. මෙසේ මෙපමණකින් ස්ත්‍රී ශබ්දය රන් කකුළුවාගේ සිත මැඬගත්තේය.
රන් මොනරෙක්ද හිමවතට පිවිස මහත් කඳුවැටියක් ඇසුරු කොට ගෙන වසන්නේ නිබඳව හිරු නැගෙන කල්හි හිරුමඬල දෙස බලා තම ආරක්ෂාව පිණිස මෙසේ කියයි: