8. සම්‍යක්ප්‍රධාන විභඞ්ගය
489. සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි පිළිපන්මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, කායික චෛතසික වීර්‍ය්‍ය කෙරෙයි, (එ ම සහජාත වීර්‍ය්‍යයෙන්) සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි, උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපැදීම පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණ වීම පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි.
490. කිසෙයින් මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නො ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වීර්‍ය්‍ය කෙරේ ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ ද යත්:
එහි නූපන් අකුශලධර්‍මයෝ කවරහ යත්: ලෝභ දෝස මෝහ යන තුන් අකුශල මූලයෝ යැ, තදේකස්ථ වූ ක්ලේශයෝ යැ, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යැ, තත්සමුත්‍ථාන වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය යන මොහු ‘නූපන් අකුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්.
මෙසේ මේ නූපන් ලාමක අකුශලධර්‍මයන් නො ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ.
ඡන්‍දං ජනෙති යනු: එහි ‘ඡන්‍දය’ කවරෙ යත්: යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශලයෙක් ස්වභාවඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍ද’ යි කියනු ලැබේ. මේ ඡන්‍දය උපදවයි. නිරතුරු කෙරෙයි, නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි. එහෙයින් ‘ඡන්‍දං ජනෙති’ යි කියනු ලැබේ.
වායමති යනු: එහි ‘වායාම’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘වායාම’ යි කියනු ලැබේ. මේ වායාමයෙන් උපේත වූයේ සමුපේත වූයේ එළඹසිටියේ මොනොවට එළඹසිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘වායමති’ යි කියනු ලැබේ.
විරියං ආරභති යනු: එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘විරිය’ යි කියනු ලැබේ. මේ වීර්‍ය්‍ය කෙරෙයි, (අරඹයි) පුනපුනා කෙරෙයි, ඇසුරු කෙරෙයි, වඩයි, බහුල කෙරෙයි. එහෙයින් ‘විරියං ආරභති’ යි කියනු ලැබේ.
චිත්තං පග්ගණ්හාති යනු: එහි ‘චිත්තය’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය නඟාසිටුවයි, පුනපුනා නඟාසිටුවයි, රුකුල්දෙයි, පුනපුනා රුකුල් දෙයි, එහෙයින් ‘චිත්තං පග්ගණ්හාති’ යි කියනු ලැබේ.
පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
491. කිසෙයින් මහණ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්:
එහි උපන් ලාමක අකුශලධර්‍මයෝ කවරහ යත්: ලෝභ දෝස මෝහ යන තුන් අකුශලමූලයෝ යැ තදේකස්ථ වූ ක්ලේශයෝ යැ තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථාන වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම යන මොහු ‘උපන් ලාමක අකුශල ධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
ඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තං පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
492. කිසෙයින් මහණ නූපන් කුශලධර්‍මයන් ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්:
එහි නූපන් කුශලධර්‍මයෝ කවරහ යත්: අලෝභ අදෝස අමෝහ යන තුන් කුශල මූලයෝ යැ. තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථාන වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය යන මොහු ‘නූපන් කුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ නූපන් කුශලධර්‍මයන් ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
ඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තය පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
493. කිසෙයින් මහණ උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ වීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි යත්:
එහි උපන් කුශලධර්‍මයෝ කවරහ යත්: අලෝභ අදෝස අමෝහ යන තුන් කුශල මූලයෝ ය, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථාන වූ කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම යන මොහු ‘උපන් කුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ වීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
ඨිතියා යනු: යමක් ‘ඨිති’ නම් හේ ‘අසම්මෝස’ ය, යමෙක් ‘අසම්මෝස’ නම් හේ ‘භිය්‍යොභාව’ ය, යමෙක් ‘භිය්‍යොභාව’ නම් ඒ ‘වේපුල්ල’ ය, යමක් ‘වේපුල්ල’ නම් ඕ ‘භාවනා’ ය, යමක් ‘භාවනා’ නම් ඕ පාරිපූරී ය.