357. එහි භවප්‍රත්‍යයෙන් උපදනා ජාති කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙයෙහි යම් ඉපැද්මෙක් (පරිපූර්‍ණායතණ විසින්) මොනොවට ඉපැද්මෙක් අවක්‍රාන්තියෙක් වෙසෙසින් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යි කියනු ලැබේ.
358. එහි ජාතිප්‍රත්‍යයෙන් උපදනා ජරාමරණ කවරෙ යත්: ජරායෙක් ඇත, මරණයෙක් ඇති.
එහි ජරා කවර යත්: ඒ ඒ සත්ත්‍වනිකායෙහි ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් දිරීමෙක් දිරනඅයුරෙක් ඛණ්ඩිත බවෙක් පැසුණු බවෙක් රැලිනැඟුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉඳුරන් මිහි කිරීමෙක් වේ ද, මේ ජරා යි කියනු ලැබේ.
එහි මරණ කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙන් යම් ච්‍යුතියෙක් ච්‍යුත වන බවෙක් බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යුසඞ්ඛ්‍යාත මරණයෙක් කලුරිය කිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් කලෙවරයාගේ බහා තැබීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද, මේ මරණ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය දැ යි මේ ජාතිප්‍රත්‍යයෙන් උපදනා ජරාමරණ යි කියනු ලැබේ.
359. එහි ශෝක කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවකින් පහස්නා ලද්දහුගේ ශෝකයෙක් ශෝකාකාරයෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශෝකයෙක් සිත දවන අයුරෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක් වේ ද, මේ ‘ශෝක’ යි කියනු ලැබේ.
360. එහි පරිදේව කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවකින් පහස්නා ලද්දහුගේ (යම්) නම කියා හැඬීමෙක් නම කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා කීමෙක් පුනපුනා කියන අයුරෙක් පුනපුනා කී බවෙක් වේ ද, මේ ‘පරිදේව’ යි කියනු ලැබේ.
361. එහි දුඃඛ කවරෙ යත්: යම් කායික වූ නො සුවයෙක් කායික වූ දුකෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දුඃඛ’ යි කියනු ලැබේ.
362. එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික වූ නො සුවයෙක් චෛතසික වූ දුකෙක් සිත්පහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් සිත්පහසින් උපන් නො සුව වූ දුක වූ වේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ.
363. එහි ‘උපායාස’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යරව්‍යසනයෙකින් සමන්‍වාගත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛ හේතුවකින් පහස්නා ලද්දහුගේ ආයාසයෙක් බලවත් ආයාසයෙක් ආයාසයට පැමිණි බවෙක් උපායාසයට පැමිණි බවෙක් වේ ද, මේ ‘උපායාස’ යි කියනු ලැබේ.
364. ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යනු: මෙසේ අමිශ්‍ර වූ නොහොත් සියලු දුඃඛරාශිහුගේ එක්වීම වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි, ප්‍රාදුර්‍භාවය වේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
සූත්‍රාන්තභාජනිය යි.
365. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි, මෙසේ තෙල සියලු දුඃඛරාශිහුගේ පහළවීම වේ.