එහි නිරෝධතෘෂ්ණා කවර යත්: උච්ඡේදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘නිරෝධතෘෂ්ණා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් තෘෂ්ණා’ යි.
923. එහි තුන් ඒසනාවෝ කවරහ යත්: කාමේසනා (කාමගවේෂණරාගය) ය, භවේසනා ය, බ්රහ්මචරියේසනා යි. එහි කාමේසනා කවර යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්දයෙක් ... කාමයන් ගිලගැනීමෙක් වේ ද, මේ ‘කාමේසනා’ යි කියනු ලැබේ.
එහි භවේසනා කවර යත්: රූපාරූපභවයන්හි යම් භවච්ඡන්දයෙක් ... භවය ගිලගැනීමෙක් වේ ද, මේ ‘භවේසනා’ යි කියනු ලැබේ.
එහි බ්රහ්මචරියේසනා කවර යත්: ලෝකය ශාස්වතැ යි හෝ ලෝකය අශාස්වතැයි හෝ ... සත්ත්ව තෙම මරණින් මතු නොම වෙයි නොද නොවේ ය යි හෝ යම් මෙඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්ය්යාසග්රාහයෙක් වේ ද, මේ ‘බ්රහ්මචරියේසනා’ යි කියනු ලැබේ.
එහි කාමේසනා කවර යත්: කාමභවය තදේකස්ථ (එය හා එක්ව සිටි) අකුශල කායකර්ම ය, වාක්කර්ම ය, මනඃකර්ම යි. මේ ‘කාමේසනා’ යි කියනු ලැබේ.
එහි භවේසනා කවර යත්: භවරාග ය, තදේකස්ථ වූ අකුශල කායකර්ම ය, වාක්කර්ම ය, මනඃකර්ම යි. මේ ‘භවේසනා’ යි කියනු ලැබේ.
එහි බ්රහ්මචරියේසනා කවර යත්: අන්තග්රාහකදෘෂ්ටිය තදේකස්ථ වූ අකුශල කායකර්ම ය, වාක්කර්ම ය, මනඃකර්ම යි. මේ ‘බ්රහ්මචරියේසනා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් ඒසනා’ යි.
924. එහි තුන් විධා (මානය) කවරහ යත්: මම් ශ්රේෂ්ඨයෙමි විධායෙක. මම් සදෘශයෙමි විධායෙක. මම් හීනයෙමි විධායෙකි. මොහු තුන් විධා යි.
925. එහි තුන් භය කවරහ යත්: ජාතිභය ය, ජරාභය ය, මරණභය යි. එහි ජාතිභය කවරෙ යත්: ජාතිය පිණිස භයෙක් භයානකයෙක් තැතිගැන්මෙක් ලොමුදහගැන්මෙක් චිත්තයාගේ උත්රාසයෙක් වේ ද, මේ ‘ජාතිභය’ යි කියනු ලැබේ.
එහි ජරාභය කවරෙ යත්: ජරාව පිණිස බියෙක් බිය අයුරෙක් තැතිගැන්මෙක් ලොමුදහගැන්මෙක් චිත්තයාගේ උත්රාසයෙක් වේ ද, මේ ‘ජරාභය’ යි කියනු ලැබේ.
එහි මරණභය කවරෙ යත්: මරණය පිණිස බියෙක් බිය අයුරෙක් තැතිගැන්මෙක් ලොමුදහගැන්මෙක් චිත්තයාගේ උත්රාසයෙක් වේ ද, මේ ‘මරණභය’ යි කියනු ලැබේ.
926. එහි තුන් තමස්හු (අඳුරු) කවරහ යත්: අතීතකාලය හෝ ඇරබ සැක කෙරෙ යි, විචිකිත්සා කෙරෙ යි, එහි අධිමුක්ත නො වෙ යි, නො පහදී. අනාගතකාලය හෝ ඇරබ සැක කෙරෙ යි, විචිකිත්සා කෙරෙ යි, එහි අධිමුක්ත නො වෙයි, නො පහදී. මේ ප්රත්යුත්පන්නකාලය හෝ ඇරබ සැක කෙරෙ යි, විචිකිත්සා කෙරෙයි, එහි අධිමුක්ත නො වෙයි, නො පහදී. මේ තුන් තමස්හු වෙත්.
927. එහි තුන් තීර්ත්ථායතනයෝ කවරහ යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියනසුලු වෙයි. මෙබඳු දෘෂ්ටි ඇත්තේ යි: (කෙබඳු ද යත්) ‘මේ සත්ත්ව තෙම යම් කිසි සුඛවේදනාවක් හෝ දුඃඛවේදනාවක් හෝ උපේක්ෂාවේදනාවක් හෝ විඳී නම් ඒ සියල්ල පූර්වකෘතහේතුයෙන් විඳී’ යයි.
තව ද මෙ ලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියනසුලු වෙයි. මෙ බඳු දෘෂ්ටි ඇත්තේ යි: ‘මේ සත්ත්ව තෙම යම් කිසි සුඛවේදනාවක් හෝ දුඃඛවේදනාවක් හෝ උපේක්ෂාවේදනාවක් හෝ විඳී නම් ඒ සියල්ල ඊෂ්වරනිර්මාණහේතුයෙන් විඳී’ යයි.
තව ද, මෙ ලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියනසුලු වෙයි. මෙ බඳු දෘෂ්ටි ඇත්තේ යි: ‘මේ සත්ත්ව තෙම යම් කිසි සුඛවේදනාවක් හෝ දුඃඛවේදනාවක් හෝ උපේක්ෂාවේදනාවක් හෝ විඳී නම් ඒ සියල්ල හේතු රහිත ව ප්රත්යය රහිත ව විඳී’ යයි. මොහු ‘තුන් තීර්ත්ථායතනයෝ’ යි.
928. එහි තුන් පලිබෝධ කවරහ යත්: රාගය පලිබෝධයෙක, ද්වේෂය පලිබෝධයෙක, මෝහය පලිබෝධයෙකි. මොහු තුන් පලිබෝධයෝ යි.
929. එහි තුන් අඞ්ගණයෝ (තියුණු කෙලෙස්) කවරහ යත්: රාගය අඞ්ගණයෙක, ද්වේෂය අඞ්ගණයෙක, මෝහය අඞ්ගණයෙකි. මොහු තුන් අඞ්ගණයෝ යි.
930. එහි තුන් මල කවරහ යත්: රාගය මලයෙක, ද්වේෂය මලයෙක, මෝහය මලයෙකි. මොහු ‘තුන් මල’ වෙත්.
931. එහි තුන් විෂමයෝ කවරහ යත්: රාගය විෂමයෙක, ද්වේෂය විෂමයෙක, මෝහය විෂමයෙකි. මොහු ‘තුන් විෂමයෝ’ යි.
932. එහි අනෙකුදු තුන් විෂමයෝ කවරහ යත්: කායවිෂම ය, වාග්විෂම ය, මනෝවිෂම ය. මොහු ‘තුන් විෂමයෝ’ යි.
933. එහි තුන් ගිනි කවරහ යත්: රාග ගිනි ය, ද්වේෂ ගිනි ය, මෝහ ගිනි යි. මොහු තුන්ගිනි වෙත්.
934. එහි තුන් කසට කවරහ යත්: රාගකසට ය, ද්වේෂකසට ය, මෝහකසට යි. මේ තුන් කසට වෙත්.
935. එහි අනෙකුදු තුන් කසට කවරහ යත්: කායකසට ය, වාක්කසට ය, මනඃකසට යි. මේ තුන් කසට වෙත්.