724. කිසෙයින් මහණ කරුණාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් දුගී වූ කායදුශ්චරිතාදියෙන් යුක්ත වූ එක් පුද්ගලයකු දැක කුළුණුසිත් උපදවන්නේ ද, එසෙයින් ම සියලු සත්ත්‍වයන් කරුණායෙන් ස්පර්‍ශ කෙරෙයි.
එහි ‘කරුණා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥාන ධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ කරුණාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘කරුණාසහගතෙන චේතසා’ යි.
‘ඒකං දිසං’ යනු: පැදුම් දිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
‘කරුණාසහගතෙන චේතසා’ යනු: එහි ‘කරුණා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කුළුණු කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ කරුණාව සහගියේ වෙයි. සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘කරුණාසහගතෙන චේතසා’ යි.
‘විපුලෙන’ යනු: යම් සිතෙක් විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අබ්‍යාපජ්ඣ යි.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
725. කිසෙයින් මහණ මුදිතාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් ප්‍රිය වූ මනාප වූ එක් පුද්ගලයකු දැක ප්‍රමුදිත වූයේ වන්නේ ද, එපරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් මුදිතායෙන් ස්පර්‍ශ කෙරෙයි.
එහි ‘මුදිතා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් මුදිතායෙක් ප්‍රමෝද අයුරෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥාන ධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මුදිතාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මුදිතාසහගතෙන චේතසා’ යි.
‘ඒකං දිසං’ යනු: පැදුම්දිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි. තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
‘මුදිතාසහගතෙන චේතසා’ යනු: එහි ‘මුදිතා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් ප්‍රමෝදයෙක් ප්‍රමෝදාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මුදිතාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මුදිතාසහගතෙන චේතසා’ යි.
‘විපුලෙන’ යනු: යම් සිතෙක් විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අව්‍යාබාධ යි.
‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.