10. බෝධ්යඞ්ග විභඞ්ගය
533. බෝධ්යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්යඞ්ග යැ ධර්මවිචයසම්බෝධ්යඞ්ග යැ වීර්ය්යසම්බෝධ්යඞ්ග යැ ප්රීතිසම්බෝධ්යඞ්ග යැ ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ග යැ සමාධිසම්බොධ්යඞ්ග යැ උපේක්ෂාසම්බෝධ්යඞ්ග යි.
534. එහි ස්මෘතිසම්බොධ්යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ සිහි ඇත්තේ උතුම් සිහිනුවණින් යුක්ත වූයේ බොහෝ කලකින් පෙර කරන ලද්ද ද බොහෝ කලකින් පෙර කියන ලද්ද ද සිහිකරන්නේ පුනපුනා සිහිකරන්නේ වෙයි. මේ ‘ස්මෘතිසම්බොධ්යඞ්ග’ යි කියනු ලැබේ.
එසේ ඒ මහණ සිහි ඇති ව වසන්නේ ඒ ධර්මය නුවණින් විමසයි. වෙසෙසින් විමසයි, ප්රඥාව හසුරුවයි, විමසීමට පැමිණෙයි. මේ ‘ධර්මවිචයසම්බෝධ්යඞ්ග’ යි කියනු ලැබේ.
ඒ ධර්මය නුවණින් විමසන වෙසෙසින් විමසන නුවණින් හසුරුවන විමසීමට පැමිණෙන ඒ මහණහු විසින් වීර්ය්යය ආරබ්ධ වෙයි, එහෙයින් ම නො හැකුළුණේ වෙයි. මේ ‘වීර්ය්යසම්බෝධ්යඞ්ග’ යි කියනු ලැබේ.
පටන්ගන්නා ලද වීර්ය්ය ඇත්තහුට පරිශුද්ධ වූ ප්රීතිය උපදී. මේ ‘ප්රීතිසම්බෝධ්යඞ්ග’ යි කියනු ලැබේ.
ප්රීතිසම්ප්රයුක්ත සිත් ඇත්තනුගේ නාමකය ද සන්හිඳෙයි, සිත ද සන්හිඳෙයි. මේ ‘ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ග’ යි කියනු ලැබේ.
සන්හුන්කය ඇති එහෙයින් මැ උපන් සුව ඇත්තනුගේ සිත (අරමුණෙහි) සමාහිත වෙයි. මේ ‘සමාධිසම්බොධ්යඞ්ග’ යි කියනු ලැබේ.
හෙතෙම එසෙයින් සමාහිත වූ සිත මොනොවට උපේක්ෂා කරන්නේ වෙයි. මේ ‘උපේක්ෂාසම්බෝධ්යඞ්ග’ යි කියනු ලැබේ.
535. බෝධ්යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්යඞ්ග යැ ධර්මවිචයසම්බෝධ්යඞ්ග යැ වීර්ය්යසම්බෝධ්යඞ්ග යැ ප්රීතිසම්බෝධ්යඞ්ග යැ ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ග යැ සමාධිසම්බොධ්යඞ්ග යැ උපේක්ෂාසම්බෝධ්යඞ්ග යි.
536. එහි ස්මෘතිසම්බොධ්යඞ්ගය කවරෙ යත්: අධ්යාත්ම (සංස්කාර) ධර්මයන්හි ස්මෘතියෙක් ඇත, බාහිරධර්මයන්හි ස්මෘතියෙක් ඇත, අධ්යාත්මධර්මයන්හි යම් ස්මෘතියෙක් ඇද්ද ඒ ස්මෘතිය ද, ස්මෘති සම්බෝධ්යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්ගය පිණිස නිර්වාණය පිණිස පවතී. බාහිරධර්මයන්හි යම් ස්මෘතියකුත් ඇද්ද ඒ ස්මෘතිය ද ස්මෘති සම්බෝධ්යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්ගය පිණිස නිර්වාණය පිණිස පවතී.
එහි ධර්මවිචයසම්බෝධ්යඞ්ගය කවරෙ යත්: අධ්යාත්මධර්මයන්හි විමසීමෙක් ඇත, බාහිරධර්මයන්හි විමසීමෙක් ඇත. අධ්යාත්මධර්මයන්හි යම් විමසීමෙකුත් ඇද්ද, හේ ද ධර්මවිචයසම්බෝධ්යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්ගය පිණිස නිර්වාණය පිණිස පවතී. බාහිරධර්මයන්හි යම් විමසීමෙකුත් ඇද්ද, හේ ද ධර්මවිචයසම්බෝධ්යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්ගය පිණිස නිර්වාණය පිණිස පවතී.
එහි වීර්ය්යසම්බෝධ්යඞ්ගය කවරෙ යත්: කායිකවීර්ය්යයෙක් ඇත, වෛතසිකවීර්ය්යයෙක් ඇත. යම් කායිකවීර්ය්යයෙකුත් ඇද්ද, හේ ද වීර්ය්යසම්බෝධ්යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවතී. යම් චෛතසිකවීර්ය්යයෙකුත් ඇද්ද, හේ ද වීර්ය්යසම්බෝධ්යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවතී.
එහි ප්රීතිසම්බෝධ්යඞ්ගය කවරෙ යත්: සවිතර්කසවිචාර ප්රීතියෙක් ඇත, අවිතර්ක අවිචාර ප්රීතියෙක් ඇත. යම් සවිතක්කසවිචාර ප්රීතියකුත් ඇද්ද හේ ද ප්රීතිසම්බෝධ්යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවතී. යම් අවිතර්කඅවිචාර ප්රීතියකුත් ඇද්ද, හේ ද ප්රීතිසම්බෝධ්යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවතී.
එහි ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ගය කවරෙ යත්: කායප්රශ්රබ්ධියෙක් (කයෙහි සන්හුන් බවෙක්) ඇත, චිත්තප්රශ්රබ්ධියෙක් (සිතෙහි සන්හුන් බවෙක්) ඇත. යම් කායප්රශ්රබ්ධියකුත් ඇද්ද, හේ ද ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවතී. යම් චිත්තප්රශ්රබ්ධියකුත් ඇද්ද, හේ ද ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවතී.
එහි සමාධිසම්බෝධ්යඞ්ගය කවරෙ යත්: සවිතර්කසවිචාරසමාධියෙක් ඇත අවිතර්කඅවිචාරසමාධියෙක් ඇත. යම් සවිතර්කසවිචාරසමාධියකුත් ඇද්ද, හේ ද සමාධිසම්බොධ්යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවතී. යම් අවිතර්කඅවිචාරසමාධියකුත් ඇද්ද, හේ ද සමාධිසම්බොධ්යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවතී.
එහි උපේක්ෂාසම්බෝධ්යඞ්ගය කවරෙ යත්: අධ්යාත්මධර්මයන්හි උපේක්ෂාවක් ඇත, බාහිරධර්මයන්හි උපේක්ෂාවක් ඇත. අධ්යාත්මධර්මයන්හි යම් උපේක්ෂාවක් ඇද්ද, එ ද උපේක්ෂාසම්බෝධ්යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවතී. බාහිරධර්මයන්හි යම් උපේක්ෂාවකුත් ඇද්ද, එ ද අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවතී.
537. බෝධ්යාඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්යඞ්ග යැ ධර්මවිචයසම්බෝධ්යඞ්ග යැ වීර්ය්යසම්බෝධ්යඞ්ග යැ, ප්රීතිසම්බෝධ්යඞ්ග යැ ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ග යැ සමාධිසම්බොධ්යඞ්ග යැ උපේක්ෂාසම්බෝධ්යඞ්ග යි.