4. 10.
සඤ්ඤොජනප්පහානකථා
[‘නිෂ්පර්ය්යාය වශයෙන් මැ සර්වසංයෝජන ප්රහාණය අර්හත්ත්වය වෙති’ යි අන්ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට සංයොජනප්පහාන කථා එයි.]
1. ස. පු: සර්වසංයෝජනයන්ගේ ප්රහාණය අර්හත්ත්වය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: රහත්මඟින් හැම සංයෝජනයෝ ප්රහීණ කරනු ලැබෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: රහත්මඟින් හැම සංයෝජනයෝ ප්රහීණ කරනු ලැබෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (රහත්මඟින් අප්රහීණ සංයොජනයක් නැතියෙන් කළ ප්රතිඥා යි.)
ස. අනු: රහත්මඟින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස දුරු කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (ප්රථමමාර්ගයෙන් ප්රහීණභාවය ගෙන කළ ප්රතික්ෂේප යි.)
3. ස. පු: රහත්මඟින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස දුරු කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (චතුර්ත්ථමාර්ගයෙන් අනවශේෂප්රහාණය සඳහා කළ ප්රතිඥා යි.)
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් ‘ත්රිවිධ සංයෝජනයන්ගේ ප්රහාණය ශ්රෝතාපත්තිඵල යැ’යි වදාරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ විසින් ‘ත්රිවිධ සංයෝජනයන්ගේ ප්රහාණය ශ්රෝතාපත්තිඵල යැ’යි වදාරන ලද්දේ වේ නම්,
අනු. පා: භවත, ‘රහත්මඟින් සියලු සංයෝජනයෝ ප්රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: රහත්මඟින් සියලු සංයෝජනයන්ගේ ප්රහීණ කරනු ලැබෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්මඟින් ඕළාරිකකාමරාග ඔළාරිකව්යාපාද දුරු කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: රහත්මඟින් ඕළාරිකකාමරාග ඔළාරිකව්යාපාද දුරු කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්යාපාදයන්ගේ තනුභාවය සකෘදාගාමිඵල යැ’ යි වදාරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්යාපාදයන්ගේ තනුභාවය සකෘදාගාමිඵල යැ’ යි වදාරන ලද්දේ වේ නම්,
අනු. පා: භවත, ‘රහත්මඟින් සර්වසංයෝජනයෝ ප්රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: රහත්මඟින් සර්වසංයෝජනයෝ ප්රහීණ කරනු ලැබෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්මඟින් අණුසහගතකාමරාගය අණුසහගතව්යාපාදය දුරු කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: රහත්මඟින් අණුසහගතකාමරාගය අණුසහගතව්යාපාදය දුරු කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්යාපාදයන්ගේ අනවශේෂප්රහාණය අනාගාමිඵලය යැ’ යි වදාරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්යාපාදයන්ගේ අනවශේෂප්රහාණය අනාගාමිඵලය යැ’ යි වදාරන ලද්දේ වේ නම්,
අනු. පා: භවත, ‘රහත්මඟින් සර්වසංයෝජනයෝ ප්රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: රහත්මඟින් සර්වසංයෝජනයෝ ප්රහීණ කරනු ලැබෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.