1. 6.
සබ්බමත්‍ථිකථා
[සර්‍වාස්තිවාදිහු අතීතාදි භේද භින්න හැම දහම්හු ස්කන්‍ධස්වභාවය නො හරිත් ද, ඒ හේතුවින් ‘හැම ඇත් මැ’ යයි ලබ්ධි ගත්හ. උන්ගේ ලබ්ධි විශෝධනය පිණිස සබ්බමත්‍ථිකථා එයි.]
1. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සර්‍වශරීරයෙහි හැම ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
2. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සර්‍වකාලයෙහි හැම ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
3. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සර්‍වාකාරයෙන් හැම ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
4. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සර්‍වධර්‍මයෙහි හැම ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
5. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (යෝග නම් නානාස්වභාව ධර්‍මයන් සතු වෙයි. එක ස්වභාවධර්‍මයන් සතු නො වෙයි. එයින් මේ ප්‍රශ්නයෙහි ලා ‘රූපය වේදනා හාත් වේදනාව හෝ රූපය හාත් නානාස්වභාව නැත්තේ නු යි’ එකලක්‍ෂණ මැ නු යි කොටගෙන, අසංයුක්ත නු යි කොටගෙන) හැම ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
6. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (සවන සකන්‍ධාදියෙක් හෝ යැ, ශශවිෂාණාදියෙක් හෝ) යම් කිසි දැයෙක් නැති යී සිද්ධ ද, එ ද තොපට ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
7. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘හැම ඇති’ යි තොපගේ යම් සර්‍වාස්තිදෘෂ්ටියෙක් ඇත් ද, ඒ සර්‍වාස්තිදෘෂ්ටිය යාථාවක නො වනුයෙන් ‘මිසදිටුහ’ යි මෙසේ ගත් යම් අපගේ දෘෂ්ටියෙක් ඇත් ද, ඒ අපගේ දෘෂ්ටිය යාථාවක වනුයෙන් ‘සම්දිටුහ’ යි මෙසේ තොප සමයෙහි ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
වාදයුක්ති.
8. ස. පු: අතීතයෙක් ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය නිරුද්ධ වූයේ පහවගියේ විපරිණාම වූයේ අස්තයට ගියේ අභ්‍යස්තයට ගියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වූයේ පහවගියේ විපරිණත වූයේ අස්තයට ගියේ අභ්‍යස්තයට ගියේ වී නම්,
අනු. පා: භවත, ‘අතීතය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
9. ස. පු: අනාගතයෙක් ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතය නූපන්නේ, නො වූයේ, නො හටගත්තේ, නො නිපන්නේ, අභිනිර්‍වෘත නො වූයේ, නො පහළ වූයේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාගතය නූපන්නේ නො වූයේ නො හටගත්තේ නො නිපන්නේ අභිනිර්‍වෘත නො වූයේ නො පහළ වූයේ වී නම්,
අනු. පා: භවත, ‘අනාගතය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: ප්‍රත්‍යුත්පන්නයෙක් ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය අනිරුද්ධ වූයේ අවිගත වූයේ අවිපරිණත වූයේ අස්තයට නො ගියේ අභ්‍යස්තයට නො ගියේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.