1452. සප්‍රත්‍යයධර්‍මයෝ කවරහ යත්:
සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය ද, යන මේ ධර්‍මයෝ සප්‍රත්‍යයයෝ යි.
1453. අප්‍රත්‍යයධර්‍මයෝ කවරහයත්:
නිර්‍වාණය යි. මේ ධර්‍මයෝ අප්‍රත්‍යයෝ යි.
1454. සඞ්ඛතධර්‍මයෝ කවරහ යත්:
සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය ද, යන මේ ධර්‍මයෝ සඞ්ඛතයෝ යි.
1455. අසඞ්ඛතධර්‍මයෝ කවරහ යත්:
නිර්‍වාණය යි. මේ ධර්‍මයෝ අසඞ්ඛතයෝ යි.
1456. සනිදර්‍ශනධර්‍මයෝ කවරහ යත්:
රූපායතන යි. මොහු සනිදර්‍ශනධර්‍මයෝ යි.
1457. අනිදර්‍ශනධර්‍මයෝ කවරහ යත්:
චක්‍ෂුරායතන යැ ... ස්ප්‍රෂ්ටව්‍යාතනය යැ, චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් ඇද්ද, නිර්‍වාණය දැයි මොහු අනිදර්‍ශන ධර්‍මයෝ යි.
1458. සප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:
චක්‍ෂුරායතන යැ ... ස්ප්‍රෂ්ටව්‍යාතනය යැ යන මොහු සප්‍රතිඝධර්‍මයෝ යි.
1459. අප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:
සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් ඇද්ද, නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ අප්‍රතිඝයෝ යි.
1460. රූපීධර්‍මයෝ කවරහ යත්:
සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය දැයි මොහු රූපී ධර්‍මයෝ යි.
1461. අරූපීධර්‍මයෝ කවරහ යත්:
සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, නිර්‍වාණය දැයි මොහු අරූපී ධර්‍මයෝ යි.
1462. ලෞකික ධර්‍මයෝ කවරය යත්:
ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය ද යන මොහු ලෞකික ධර්‍මයෝ යි.
1463. ලෝකෝත්තර ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු ලෝකෝත්තර ධර්‍මයෝ යි.
හැම ධර්‍මයෝ කිසි විඥානයෙකින් දතයුත්තාහු යැ, කිසි විඥානයෙකින් නොදතයුත්තාහු වෙත්.
චුල්ලන්තර දුකයි.
1464. ආස්‍රවධර්‍මයෝ කවරය යත්:
ආස්‍රවයෝ සතරදෙනෙක් වෙති: කාමාස්‍රව යැ, භවාස්‍රව යැ, දෘෂ්ට්‍යාස්‍රව යැ, අවිද්‍යාස්‍රව යි. කාමාස්‍රවය අෂ්ටලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී, භවාස්‍රවය සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී, දෘෂ්ට්‍යාස්‍රවය සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයන්හි උපදී, අවිද්‍යාස්‍රවය සර්‍වාකුශලයෙහි උපදී. මේ ධර්‍මයෝ ආස්‍රවයෝ යි.
1465. ආස්‍රව නො වූ ධර්‍මයෝ කවරහ යත්:
ආස්‍රවයන් තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද නිර්‍වාණය දැයි මොහු ආස්‍රව නො වූ ධර්‍මයෝ යි.
1466. සාස්‍රව (ආස්‍රව සහිත) ධර්‍මයෝ කවරහ යත්:
තුන්බිමැ කුශල යැ, අකුශ යැ, තුන් බිමැ විපාක යැ, තුන් බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූප දැයි මොහු සාස්‍රව ධර්‍මයෝ යි.
1467. අනාස්‍රව ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලය ද, නිර්‍වාණය දැයි මොහු අනාස්‍රව ධර්‍මයෝ යි.
1468. ආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, මෙහි උපන් මෝහය තබා, විචිකිච්ඡාසහගත වූ උද්ධච්චසහගත වූ මෝහයන් තබා, අවශේෂ අකුශලය දැයි මොහු ආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.