1466. සාස්‍රව (ආස්‍රව සහිත) ධර්‍මයෝ කවරහ යත්:
තුන්බිමැ කුශල යැ, අකුශ යැ, තුන් බිමැ විපාක යැ, තුන් බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූප දැයි මොහු සාස්‍රව ධර්‍මයෝ යි.
1467. අනාස්‍රව ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලය ද, නිර්‍වාණය දැයි මොහු අනාස්‍රව ධර්‍මයෝ යි.
1468. ආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, මෙහි උපන් මෝහය තබා, විචිකිච්ඡාසහගත වූ උද්ධච්චසහගත වූ මෝහයන් තබා, අවශේෂ අකුශලය දැයි මොහු ආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1469. ආස්‍රවවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දොම්නස් සහගිය චිත්තෝත්පාද දෙක්හි උපන් මෝහ යැ, විචිකිච්ඡා සහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ආස්‍රවවිප්‍රයුක්තධර්‍මයෝ යි.
1470. ආස්‍රව වූ ද ආස්‍රව සහිත වූ ද ධර්‍මයෝ කවරහ යත්:
ඒ ආස්‍රවයෝ මැ ආස්‍රව වූවාහු ද ආස්‍රව සහිත වූවාහු ද වෙත්:
1471. සාස්‍රව වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ කවරහ යත්:
ආස්‍රවයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මේ ධර්‍මයෝ ආස්‍රව සහිත වූවාහු ද නො ද ආස්‍රව වූවාහු ද වෙති.
අනාස්‍රව ධර්‍මයෝ ආස්‍රවයෝත් ආස්‍රව සහිතයෝත් වෙති යි ද, සාස්‍රව වූවොත් නො ද ආස්‍රව වූවෝත් වෙති යි ද නො කියැයුත්තාහු වෙත්.
1472. ආස්‍රව වු ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ කවරහ යත්:
යම් චිත්තෝත්පාදයෙක්හි දෙතුන් ආස්‍රව කෙනෙක් එක්වට උපදිත් ද, මොහු ආස්‍රව වූ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යි.
1473. ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ කවරහ යත්:
ආස්‍රවයන් තබා අවශේෂ අකුශලයෝ යැ. මොහු ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ යි.
ආස්‍රවවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ ආස්‍රව ද වූ ආස්‍රවසම්ප්‍රයුක්තයෝ යයි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ නො ද ආස්‍රව වූවෝ යයි ද නො කියයුත්තාහ:
1474. ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රව ධර්‍මයෝ කවරහ යත්:
දොම්නස්සහගිය දෙ සිත්හි උපන් මෝහ යැ, විචිකිච්ඡාසහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, තුන්බිම්හි කුශල යැ, තුන්බිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රව ධර්‍මයෝ යි.
1475. ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රව ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවධර්‍මයෝ යි.
ආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රව (ආස්‍රව සහිත) යෝ යයි ද, ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවයෝ යයි ද නො කියැයුත්තාහ.
ආස්‍රවගොච්ඡක යි.