1218. උපාදානධර්‍මයෝ කවරයහ යත්:
උපාදානයෝ සතර දෙනෙකි: කාමූපාදාන යැ, දිට්ඨූපාදාන යැ, සීලබ්බතූපාදාන යැ, අත්තවාදූපාදාන යි.
1219. එහි කාමූපාදාන කවරේ යත්:
පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ඡායෙක් කාමාධ්‍යාවසානයෙක් ඇද්ද, මේ කාමූපාදාන යයි කියනු ලැබේ.
1220. එහි දිට්ඨූපාදාන කවරේ යත්:
දුන් දැය ඵලවිපාක නැත, යාගයෙහි ඵලවිපාක නැත, හෝමයෙහි ඵලවිපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, ලොවැ යම් කෙනෙක් මෙලොව ද පරලොව ද තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න ශ්‍රමණබ්‍රාහ්මණයෝ නැතැ’ යි මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ දිට්ඨූපාදාන යයි කියනු ලැබේ. සීලබ්බතූපාදානය ද අත්තවාදූපාදානය ද තබා හැම මිථ්‍යාදෘෂ්ටි දිට්ඨූපාදාන නමි.
1221. එහි සීලබ්බතූපාදාන කවරේ යත්:
මේ සස්නෙන් බැහැර මහණ බමුණන්ගේ ශීලයෙන් ශුද්ධි යැ, ව්‍රතයෙන් ශුද්ධි යැ, ශීලව්‍රතයෙන් ශුද්ධි යැ’යි මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දෘඪග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් බැසගෙන සිටීමෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ සීලබ්බතූපාදාන නමි.
1222. එහි අත්තවාදූපාදාන කවරේ යත්:
මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නො දක්නේ ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂධර්‍මයට අදක්‍ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්ම හෙයින් දකී, ආත්මය රූපවත් යයි හෝ දකී, ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකී, රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී, වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්ම හෙයින් දකී, ආත්මය විඥානවත් යයි හෝ දකී, ආත්මයෙහි විඥානය ඇතැයි හෝ දකී, විඥානයෙහි ආත්මය ඇතැයි හෝ දකී, මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් බැසගෙන සිටීමෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ ආත්මවාදෝපාදාන යයි කියනු ලැබේ.
මේ ධර්‍මයෝ උපාදානයෝ යි.
1223.උපාදාන නො වූ ධර්‍මයෝ කවරහ යත්:
ඒ උපාදානධර්‍මයන් තබා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ සෙසු කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ. වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ උපාදාන නො වෙත්.
1224. කවර ධර්‍මයෝ උපාදානිය වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානිය වෙත්.
1225. කවර ධර්‍මයෝ අනුපාදානිය වෙති යත්:
අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මොහු අනුපාදානිය ධර්‍මයෝ වෙත්.
1226. කවර ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ උපාදානධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වෙත් ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත වෙත්.
1227. කවර ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ උපාදාන ධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වෙත් ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත වෙත්.
1228. කවර ධර්‍මයෝ උපාදාන ද උපාදානිය ද වෙති යත්:
ඒ උපාදානයෝ මැ උපාදාන ද උපාදානිය ද වෙත්.