යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් (විෂයයන්හි පැමිණැවීමෙක්) අනුරෝධයෙක් (ඇලීමෙක්) නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් ඉච්ඡායෙක් මූර්ඡායෙක් බැසගෙන සිටීමෙක් ගිජු වීමෙක් හාත්පසින් ගිජු වීමෙක් ඇලීමෙක් පඞ්කයෙක් එජායෙක් මායාවක් (සසරැ උපදවන) ජනිකාවක් සඤ්ජනනියක්(චුති - පිළිසිඳ විසින්) හිවීමෙක් ජාලිනියක් සරිතාවක් විසත්තිකායෙක් සූත්‍ර(හූ)යෙක් පැතිරීමෙක් ආයූහිනියක් ද්විතීයාවක් ප්‍රණිධියෙක් භවරජ්ජු (රැහැන)යෙක් වනයෙක් වනථයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂායෙක් පටිබන්‍ධුයෙක් ආශායෙක් ආශංසනයෙක් ආශංසිත බවෙක් රූපාශායෙක් ශබ්ධාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් ජල්පායෙක් ප්‍රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනාකාරයෙක් ජල්පිත බවෙක් ලෝලුප බවෙක් ලෝලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක් නගුට සලන බවෙක් ස්වාදු කම්‍යතායෙක් අධර්‍මරාගයෙක් විෂමලෝභයෙක් නිකාන්තියෙක් කැමතිවන අයුරෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් රිසි වීමෙක් සම්ප්‍රාර්‍ත්‍ථනායෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූප (භව) තෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් රූපයෙහි තෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්පෘෂ්ටව්‍යතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් (කුසලයන්ගේ) ආවරණයෙක් නීවරණයෙක් ඡාදනයෙක් බන්‍ධනයෙක් උපක්ලේශයෙක් අනුශයයෙක් (පරියුට්ඨාන) කුශලවාරය ගැනීමෙක් ලතායෙක් විවිධ ඉච්ඡායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාසයෙක් මාරබලිස (බිලි)යෙක් මාරවිෂයයෙක් තෘෂ්ණා නදියක් තෘෂ්ණා ජාලයෙක් තෘෂ්ණා ගර්දුලයෙක් තෘෂ්ණා සමුද්‍රයෙක් අභිධ්‍යායෙක් ලෝභ - අකුසල මූලයෙක් වේ ද, මේ ලෝභ ය යි කියනු ලැබේ.
1065. එහි ද්වේෂය කවරේ යත්:
‘මට අවැඩ කෙළේ’යි ආඝාත උපදී. ‘මට අවැඩ කෙරෙයි’ ආඝාත උපදී. ‘මට අවැඩ කරන්නේ’යි ආඝාත උපදී. ‘මාගේ ප්‍රිය මනාපය හට අනර්‍ත්‍ථ කෙළේය ... දැන් අනර්‍ත්‍ථ කෙරෙයි ... මතු අනර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. ‘මාගේ අප්‍රිය අමනාපය හට අර්‍ත්‍ථ කෙළේ ය … අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. යළි අස්ථානයෙහි ද ආඝාත උපදී. යම් මෙබඳු චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් දෝෂයෙක් ප්‍රදෝෂයෙක් සම්ප්‍රදෝෂයෙක් චිත්තයාගේ විපන්න බවවෙක් මනස්ප්‍රදෝෂයෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් දෝෂයෙක් දූෂණාකාරයෙක් දූෂිත බවෙක් ප්‍රකෘතිය හැරීමෙක් ප්‍රකෘතිය හරන අයුරෙක් ප්‍රකෘතිය හළ බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ අනත්තමන (නො සතුටු) භාවයෙක් වේ ද, මේ ද්වේෂ යයි කියනු ලැබේ.
1066. එහි මෝහය කවරේ යත්:
දුඃඛසත්‍යයෙහි නො දැනීම, දුඃඛසමුදයෙහි නො දැනීම, දුඃඛනිරෝධයෙහි නො දැනීම, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි නො දැනීම, පූර්‍වාන්තයෙහි නො දැනීම, අපරාන්තයෙහි නො දැනීම, පූර්‍වාන්තාපරාන්තයෙහි නො දැනීම. ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි නො දැනීම, යන යම් මෙබඳු වූ අඥානයෙක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) මොනවට නො ගැනීමෙක් හාත්පසින් නො ගැනීමෙක් සමව නො දැකීමෙක් (ධර්‍මස්වභාවය) නො දැකීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් දුර්මේධ්‍යයෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යාවක් අවිද්‍යෝඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාලඞ්ගියෙක් මෝහ - අකුශලමූලයෙක් වේ ද, මේ මෝහ යයි කියනු ලැබේ.
මේ තුන් අකුසල හේතු යි.
1067. එහි තුන් අව්‍යාකෘතහේතු කවරහ යත්:
කුශලධර්‍මයන්ගේ විපාක හෙයින් හෝ ක්‍රියා - අව්‍යාකෘත ධර්‍මයන්හි හෝ අලෝභ ය, අදෝස ය, අමෝහය යි. මොහු තුන් අව්‍යාකෘත හේතු යි.
1068. එහි නව කාමාවචර හේතු කවර යත්:
තුන් කුසල හේතු ය. තුන් අකුසල හේතුය. තුන් අව්‍යාකෘත හේතු යි. මොහු නව කාමාවචර හේතු යි.
1069. එහි ෂඩ් රූපාවචර හේතු කවරහ යත්:
තුන් කුසල හේතු ය. තුන් අව්‍යාකෘත හේතු යි. මොහු ෂඩ් රූපාවචර හේතු යි.
1070. එහි ෂඩ් අරූපාවචර හේතු කවරහ යත්:
තුන් කුසල හේතු ය. තුන් අව්‍යාකෘත හේතු යි. මොහු ෂඩ් අරූපාවචර හේතු යි.