[සොම්නස් සහගත කුශලවිපාක මනෝවිඥානධාතු]
470. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින් රැස් කළ හෙයින් රූපාලම්බන ඇති වේවයි, ශබ්දාලම්බන ඇති වේවයි, ගන්‍ධාලම්බන ඇති වේවයි, රසාලම්බන ඇති වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන ඇති වේවයි, ධර්‍මාලම්බන ඇති වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට සෝමනස්සසහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
471. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
472. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
473. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් සඤ්ජානිත බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
474. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
475. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තය වේ.
476. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් සිත අරමුණට නැගීමෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.
477. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
එසමයෙහි යම් චාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාර වේ.
478. කවරක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රීති වේ.
479. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛ වේ.
480. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
481. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.