432. කවර ධර්‍මයෝ අව්‍යාකෘතහ යත්:
යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින්, රැස් කළ හෙයින් රූපාලම්බන වූ උපේක්‍ෂා සහගත විපාක වූ චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
433. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මෙ එසමයෙහි ස්පර්‍ශ වේ.
434. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක්, චිත්ත සංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
435. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වු චක්‍ෂුර්විඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
436. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
437. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.
438. කවරෙක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:
එසමයෙහි චෛතසික වූ නො මැ සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක්, චිත්ත සංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂා වේ.
439. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
440. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
441. කවරෙක් එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි චෛතසික වූ නො මැ සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වේ.