167. කවර ධර්‍මයෝ කුශලහ? යත්:
යම් කලෙක්හි රූපභවයෙහි උත්පත්තිය පිණිස කාමයන්ගෙන් වෙන් වැ මැ ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
168. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙක්හි රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - විතර්‍ක රහිත වූ විචාරමාත්‍ර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පඨවි කසිණ සඞ්ඛ්‍යාත ද්විතීයධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි ... ප්‍රග්‍රාහය වෙයි අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, චතුරඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි, ... එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍ය සමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...
169. කවරක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය සද්ධින්‍ද්‍රිය ය විරියින්‍ද්‍රිය ය සතින්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය පඤ්ඤින්‍ද්‍රිය ය ජීවිතින්‍ද්‍රිය ය සම්මාදිට්ඨි ය සම්මාවායාම ය ... ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - එසමයෙහි මේ සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
170. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙක්හි රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත තෘතීයධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, චිත්තය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, සම්මාදිට්ඨිය වෙයි, සම්මාවායාමය වෙයි, ... ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, තීවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි, ... එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...