මුත්තචාගො යනු අපේක්‍ෂා රහිත ත්‍යාගී බවයි. පයතපාණී යනු, පිරිසුදු අත් ඇතිව දියයුතු වස්තූන් මනාකොට සියතින් දෙනු පිණිස සැමවිටම දිගුකළ අත් ඇතිව’යි කී නියායි. වොස්සග්ගරතො යනු, වොස්සග්ග නම් දීමයි, පරිත්‍යාගයයි යන අර්ත්‍ථයි, එම වොස්සග්ගයෙහි නිරන්තරයෙන් යෙදීම් වශයෙන් නියැලුණහ’යි වොස්සග්ගරත නමි. යාචයොගො යනු, අන්‍යයෝ යම් යම් දෙයක් ඉල්වත්ද, ඒ ඒ දෙය දෙන හෙයින් යදිනු ලැබීමට සුදුසුය යන අර්ත්‍ථයි, ‘යාජයෝග’ යන පාඨයද වේ, යජනයයි කියනු ලබන දානයෙන් යුක්ත වූයේයි යනු එහි අර්ත්‍ථයි. දානසංවිභාගරතො යනු, දානයෙහිද බෙදාගෙන පරිභෝග කිරීමෙහිද නියැලුණේ “මම වනාහි දන් දෙමි, මවිසින් පරිභෝග කළයුතු දෙයින්ද කොටසක් දෙමි, මේ දෙකෙහිම නියැලුණෙමි”යි මෙසේ මෙනෙහි කෙරෙයි යන අර්ත්‍ථයි.
මේ ආකාරයෙන් විගතමලමච්ඡෙරාදී වශයෙන් තමාගේ ත්‍යාගී ගුණය මෙනෙහි කරන ඔහුගේ සිත එසමයෙහි රාගයෙන් මඩනා ලද්දේ නොවේ, ද්වේෂයෙන්-පෙ-මෝහයෙන් මඩනා ලද්දේ නොවේ, ඔහුගේ සිත එසමයෙහි චාග ගුණය අරබයා සෘජුව පිහිටියේ වේ.’ පෙර කී නයින්ම නීවරණ පහව ගියවිට එක් වරම ධ්‍යානාංගයෝ උපදිත්. ත්‍යාග ගුණයන්ගේ ගැඹුරු බවින් හෝ නොයෙක් ආකාර ඇති ත්‍යාග ගුණයන් සිහි කිරීමෙහි නියුතුවූ හෙයින් හෝ අර්පණාවට නොපැමිණි උපචාරයටම පැමිණි ධ්‍යානය වේ. මෙසේ මේ භාවනාව ත්‍යාගගුණ සිහිකිරීම් වශයෙන් ‘චාගානුස්සති’යයි ව්‍යවහාරයට යෙයි.
මේ චාගානුස්සති භාවනාවෙහි යෙදුණු භික්‍ෂු තෙමේ බොහෝසෙයින් ත්‍යාගයට නැඹුරුවූ හෙයින් අලෝභ අධ්‍යාසය ඇත්තේ, මෛත්‍රියට අනුරූප වූ කාර්ය සහිතවූයේ, විශාරදවුයේ, ප්‍රීති ප්‍රමාද බහුලවූයේ වෙයි. උසස් මාර්ග ඵලාදියක් නොලදහොත් සුගතිය කරා යන්නේය.
තස්මා හවෙ අප්පමාදං කයිරාථ සුමෙධසො
එවං මහානුභාවාය චාගානුස්සතියා සදා.
එහෙයින් නුවණැත්තේ සැම කල්හිම මෙවන් මහ අනුසස් ඇති චාගානුස්සති භාවනාව කෙරෙහි ඒකාන්තයෙන් අප්‍රමාද බව ඇති කරගන්නේය.
මේ චාගානුස්සතියෙහි විස්තර කථායි.
දේවතානුස්සති භාවනාව
දේවතානුස්සති භාවනාව වඩනු කැමැත්තහු විසින් ආර්යමාර්ග වශයෙන් පුරුදු කරන ලද ශ්‍රද්ධාදී ගුණයන්ගෙන් සමන්විතයකු විය යුතුය. ඉක්බිති හුදකලාව විවේකීව මෙසේ සිහිකළ යුතුය. ‘චාතුර්මහාරාජික දෙවියෝ වෙති, තාවතිංස දෙවියෝද යාම දෙවියෝද තුසිත දෙවියෝද, නිර්මාණරති දෙවියෝද, පරනිර්මිතවසවර්ති දෙවියෝද වෙති, බ්‍රහ්මකායික දෙවියෝද වෙති. ඔවුනට වඩා උසස් (පරිත්තාභ ආදී), දෙවියෝද වෙති, යම් බඳු වූ ශ්‍රද්ධාවෙකින් සමන්විත වූ ඔවුහු මේ මිනිස් ලොවින් චුතව එහි උපන්නාහු නමි, මටද එබඳුවූම ශ්‍රද්ධාවක් ඇත, යම්බඳුවූ ශීලයකින් යම්බඳුවූ ශ්‍රැතයෙකින් යම්බඳුවූ ත්‍යාගගුණයෙකින්, යම්බඳු වූ ප්‍රඥාවෙකින් සමන්විත වූ ඒ දෙවියෝ මේ මිනිස් ලොවින් චුතව එහි උපන්නාහු නම්, මටද එබඳුවූම-පෙ-ප්‍රඥාවක් ඇත.” මෙසේ දෙවියන් සාක්‍ෂිකොට තමාගේ ශ්‍රද්ධාදී ගුණයන් සිහිපත් කළ යුතුය.
(මහානාම) සූත්‍රයෙහි වනාහි, ‘මහානාමය, යම් කලෙක්හි ආර්යශ්‍රාවක තෙමේ තමාගේ හා එම දෙවියන්ගේ ශ්‍රද්ධාවද, ශීලයද, ශ්‍රැතගුණයද පරිත්‍යාගයද, ප්‍රඥාවද සිහිපත් කරන්නේද, එසමයෙහි ඔහුගේ සිත රාගයෙන් මඩනා ලද්දේ නොවේ,” යයි? කියනලදි. කුමක් කියනලද්දේ වීනමුදු, ශාක්‍ෂිස්ථානයෙහි තැබියයුතු දෙවියන්ගේ ශ්‍රද්ධාදී ගුණයන් තමා සතු එම ගුණයන් දීපනය කිරීම පිණිස කියන ලදැයි දතයුතුය. අටුවාවෙහි වනාහි, “දෙවියන් ශාක්‍ෂිස්ථානයෙහි තබා තමාගේ ගුණ මෙනෙහි කරයි” යනුවෙන් ස්ථිරවම කියන ලද්දේය.
එහෙයින් පළමුකොට දෙවියන්ගේ ගුණ සිහිකොට පසුව තමා කෙරෙහි විද්‍යාමාන වූ ශ්‍රද්ධාදී ගුණයන් මෙනෙහි කරන ඔහුගේ සිත එසමයෙහි රාගයෙන් මඩනා ලද්දේ නොවේ, ද්වේෂයෙන්-පෙ මෝහයෙන් මඩනා ලද්දේ නොවේ, එසමයෙහි ඔහුගේ සිත දෙවියන් අරබයා සෘජුබවට පැමිණියේම වේ. පෙරකී නයින්ම නීවරණයන් යටපත්ව ගිය කල්හි එක් වරම ධ්‍යානාංගයෝ උපදනාහුය. ශ්‍රද්ධාදී ගුණයන්ගේ ගැඹුරුබවින් නැතහොත් නොයෙක් ආකාර ගුණයන් සිහි කිරීමෙහි යෙදුණු බැවින් අර්පණාවට නොපැමිණි උපවාරයටම පැමිණි ධ්‍යානය වේ. දේවතාවන්ගේ ගුණයන් හා සමානවූ තමාගේ ශ්‍රද්ධාදී ගුණයන් සිහි කිරීම් වශයෙන් මේ භාවනාව දෙවතානුස්සති යනුවෙන්ම ව්‍යවහාරයට යෙයි.