පකිණ්ණකකථා
මේ දසඅසුභයන් අතුරෙන් කවර හෝ අසුභයක් ඇසුරෙන් ලබනලද ධ්යාන ඇත්තේ වේද, හේ තෙමේ මනාකොට වියලවනලද රාග ඇති හෙයින් වීතරාගියකු මෙන් ලොල්බවින් තොර පැවතුම් ඇත්තෙක් වේ. එසේ වතුදු යම් යම් අසුභ ප්රභේදයක් කියන ලද්දේ ද, එය ශරීරය පිළිබඳ වෙනස් වෙනස් ස්වභාවයට පැමිණීම් වශයෙන්ද, රාගචරිතයාගේ වෙනස් වෙනස් ප්රභේද වශයෙන්ද එසේ කියනලදැයි දතයුතුය. මළසිරුර වනාහි පිළිකුල් බවට පැමිණෙනුයේ උද්ධුමාතක ස්වභාවයට යාම හෝ වන්නේය, විනීලකාදීන් අතුරෙන් කිසියම් ස්වභාවයකට යාම හෝ වන්නේය. මෙසේ යම් යම් ස්වභාවයක් ලද හැකි වන්නේද, ඒ ඒ ස්වභාවයෙහිදී ‘උද්ධුමාතක පටික්කූලං විනීලකපටික්කූලං’ යන ආදී වශයෙන් නිමිති ගතයුතු වන්නේයයි ශරීරස්වභාවයට පත්වීම් වශයෙන් දශවිධ අසුභ ප්රභේදයන් කියනලදැ’යි දතයුතුය.
මෙහිලා විශේෂයෙන් උද්ධුමාතකය ශරීරයෙහි හැඩහුරුව විනාශවීම ප්රකාශ කරන හෙයින් සණ්ඨානරාගියා (හැඩහුරුව පිළිබඳ රාග ඇත්තා) හට යෝග්ය වේ, විනීලකය ශරීරවර්ණයෙහි විනාශය ප්රකාශ කරන හෙයින් වර්ණරාගියාහට යෝග්ය වේ, විපුබ්බකය කායවර්ණය හා සමඟ බැදුණු දුගඳබව ප්රකාශ කරන හෙයින් මාලාගන්ධාදී වශයෙන් උපදවනලද ශරීරගන්ධය කෙරෙහි රාග ඇත්තාහට යෝග්ය වේ, විච්ඡිද්දකය ඇතුළත සිදුරු ඇති බව ප්රකාශ කරන හෙයින් අඟපසඟ ආදිය පිළිබඳ තිරබවෙහි රාග ඇත්තාහට යෝග්ය වේ, වික්ඛායිතකය මාංශක ලක්ෂණ සම්පත්තියෙහි විනාශය ප්රකාශකරන හෙයින් පියොවුරු ආදී සිරුරු කොටස්වල මාංශබහුලතාවෙහි රාග ඇත්තාහට යෝග්ය වේ, වික්ඛිත්තකය අංගප්රත්යංග විනාශය ප්රකාශ කරන හෙයින් අංග ප්රත්යංග ලීලාවෙහි රාග ඇත්තාහට යෝග්ය වේ, හතවික්ඛිත්තකය ශරීරයෙහි කැටිබව විනාශවීම ප්රකාශ කරන හෙයින් ශරීරසංඝාත සම්පත්තිය කෙරෙහි රාග ඇත්තාහට යෝග්ය වේ, ලොහිතකය ලෙයින් වැකීමෙහි පිළිකුල්බව ප්රකාශ කරන හෙයින් ආභරණයෙන් ජනිත වූ ශෝභාව කෙරෙහි රාග ඇත්තාහට යෝග්ය වේ, පුළවකය ශරීරය නොයෙක් පණුකූලවලට සාධාරණබව ප්රකාශ කරන බැවින් කාය පිළිබඳ මමත්වයෙහි රාග ඇත්තාහට යෝග්ය වේ, අට්ඨිකය සිරුරු ඇටවල පිළිකුල්බව ප්රකාශ කරන හෙයින් දන්තකල්යාණසම්පත්තිය කෙරෙහි රාග ඇත්තාහට යෝග්ය වේ. මෙසේ රාගචරිතයාගේ ප්රභේද වශයෙන්ද දශවිධ අසුභප්රභේදය කියන ලදැ’යි දතයුතුය.
යම්හෙයකින් මේ දසඅසුභයෙහිදී, යම්සේ ගලාබස්නා ජලය සහිත ශඝ්රප්රවාහ සහිත ගඟෙක හබලෙහි බලයෙන්ම නැවක් සිටුවිය හැකිවේද, හබලක් නැතිව සිටුවිය නොහැකි වේද, එසේම අරමුණ දුබලවන හෙයින් විතක්ක බලයෙන්ම සිත එකඟව සිටුවිය හැකිවේ, විතක්කයෙන් තොරව සිටුවිය නොහැකිවේ, එහෙයින් මෙහි ප්රථම ධ්යානයම වන්නේය, ද්විතීයධ්යානාදිය නොවන්නේය.
පිළිකුල්වූද මේ අරමුණෙහි, “ඒකාන්තයෙන් මේ ප්රතිපදාව හේතුකොටගෙන ජරාමරණ දෙකින් මිදෙන්නෙමි’යි මෙසේ මෙහි ආනිසංස දක්නා බැවින්ද, නීවරණ සන්තාපය පහවීමෙන්ද පීති සොමනස්සය උපදී, “දැන් බොහෝ වැටුප් ලබන්නෙමි”යි කසල රැසෙක්හි අනුසස් දක්වා කසල ශෝධකයාට මෙනි, උත්සන්න වූ රෝදුක් ඇත්තහුට වමනවිරේචනාදිය පැවැත්වීමෙහිදී මෙනි.
මේ අසුභ කර්මස්ථානය දශවිධ වන නමුදු අසුභ ලක්ෂණ වශයෙන් එකක්ම වේ, දශවිධවූ නමුදු මේ අසුභය අපවිත්රබවම, දුගඳබවම, නොමනහර බවම, පිළිකුල්බවම ලක්ෂණකොට ඇත්තේය. එහෙයින් මෙකී ලක්ෂණ හේතුකොටගෙන හුදෙක් මළසිරුරෙහිම නොව ජීවමාන සිරුරෙහි පවා මේ ආකාරය වැටහේ, දත්ඇට දක්නා සෑගිරි වැසි මහාතිස්ස තෙරුන්හට මෙනි. ඇත්කඳ මත හුන් රජු දෙස බලනවිට සංඝරක්ඛිත තෙරුන්ගේ උපස්ථායක සාමණේරයන්හට මෙනි. මළසිරුර මෙන්ම ජීවමාන සිරුරද අසුබම වේ, මෙහි වනාහි අසුභ ලක්ෂණය ආගන්තුක අලංකරණයෙන් වැසී පවත්නා හෙයින් ප්රකටව නොපෙනේ. මේ ශරීරය වූකලී ප්රකෘති වශයෙන්ම තුන්සියයකට අධික වූ ඇටවලින් නැගී (කෙලින්) සිටිනේය, එක්සිය අසූවක් සන්ධිවලින් කැටිව පවත්නේය, නවසියයක් නහරවලින් බැඳී පවත්නේය, නවසියයක් මස්පිඬුවලින් ගැවසී පවත්නේය, නොවියලි මිනිස් සමින් වෙළී පවත්නේය, සිවියෙන් වැසී පවත්නේය, කුදු මහත් සිදුරෙන් සිදුරු සහිත වන්නේය, මේද තෙල්පිරි බඳුනක් මෙන් උඩින් යටින් නිතොරව වැගිරෙමින් සිටිනේය, පණුකැලට නිවෙස් වන්නේය, රෝගයනට ආකර වන්නේය, සියලු දුකට බඳුන් වන්නේය, කල්ගිය ගඬුවක් ගැසුණු කල මෙන් නව දොරෙකින් නිරතුරුව වැහෙමින් පවත්නේය, මේ ශරීරයෙහි දෙ-ඇසින් කබ වැගිරෙන්නේය, දෙකන් සිදුරින් කන්මළ (කළාඳුරු) වැගිරෙන්නේය, දෙනහස්පුටයෙන් සොටු වැගිරෙන්නේය, මුඛයෙන් අහරද, පිත-සෙම්ද, ලෙහෙද වැගිරෙන්නේය, අධොද්වාරයෙන් මලමුත්ර වැගිරෙන්නේය, නවානුදහසක් රෝමකූපයෙන් අපිරිසිදු දහදිය වැගිරෙන්නේය, නිලමැසි ආදීහු අවටින් පිරිවරා සිටිනාහුය. මෙම ශරීරය දත්මැදීම්, මුවදෙවීම්, හිසතෙල් ගැල්වීම්, නෑම්, හිඳීම්, පෙරවීම් ආදියෙන් පිළිදැගුම් නොකොට උපන්වනම රළුව විසුරුණ කෙස් සහිතව ගමින්ගම හැසිරෙතොත් රජකු වුවද, කසලශෝධක චණ්ඩාලාදීන් අතුරෙන් එකතු වුවද පිළිකුලින් සමාන සිරුරු ඇති බැවින් විශේෂයෙක් නොවේ. මෙසේ අපිරිසුදු බවින්, දුගඳ සහිත බවින්, කලකිරුවන බැවින්, පිළිකුල් දනවන බවින් රජකුගේ වේවා, සැඩොලකුගේ වේවා, සිරුරෙහි වෙනසෙක් නම් නැත. දත්මැදීම් මුවදෙවීම් ආදියෙන් මේ සිරුරෙහි දත්මැලියම් ආදිය ඉවත්කොට, නොයෙක් වස්ත්ර ජාතියෙන් මුවහ කොට, නන්වන් සුවඳ විලවුන් අලෙව්කොට, මල් අබරණ ආදියෙන් සැරසී ‘මම’ය ‘මාගේ’යයි ගතයුතු බවට පත්කර ගනිති. එහෙයින් මේ ආගන්තුක වූ අලංකාරයෙන් මුවහවූ හෙයින් මේ සිරුරෙහි ස්වභාව වශයෙන් ඇති අසුබ ලකුණු නොදක්නා පුරුෂයෝ ස්ත්රීන් කෙරෙහිද, ස්ත්රීහු පුරුෂයන් කෙරෙහිද ඇලුම් කෙරෙති. පරමාර්ත්ථ වශයෙන් වනාහි මෙහි ස්වල්ප වූ හෝ ඇලුම් කටයුතු කිසිවක් නැත. ඒ එසේමැයි:- කෙස්, ලොම්, නිය, දත්, කෙළ, සොටු, මල, මූ ආදිය අතුරෙන් එක් කොටසක් නමුදු, සිරුරෙන් ඉවතට හැලුණු සැණින් අත තැබීමට පවා කිසිවෙක් කැමැති නොවෙති, හැකිලෙති, මිරිකෙති, පිළිකුල් කෙරෙති, මේ සිරුරෙහි යම් යම් කොටසක් ඉතිරි වේද, ඒ ඒ කොටස් පවා පිළිකුල්වන නමුදු අවිද්යාන්ධකාරයෙන් වැසී ගියාහු ආත්ම ස්නේහරාගයෙන් ඇලුණාහු, ඉෂ්ටය, කාන්තය, නිත්යය, සුඛය, ආත්මයයි ගනිති. මෙසේ ගන්නා ඔවුහු කෑල ගසක් දැක, ගසින් නොවැටුණු මලක් ‘මේ මස් පිඬෙකි, මේ මස් පිඬෙකි’යි වෙහෙසට පත්වන ජරසිවලකු හා සමාන බවට පත්වන්නාහුය, එහෙයින්,