විනීලකාදිකම්මට්ඨානානි
මෙයින් අන්ය වූ විනීලකාදී අසුභයන් කෙරෙහිද, ‘උද්ධුමාතක අසුබ නිමිත්ත උගන්නේ හුදකලාව, දෙවැන්නකු නැතිව, එළඹසිටි සිහි ඇතිව යන්නේය’ යන ආදී වශයෙන් යම් ආදී කොට ඇති යම් ලක්ෂණයක් කියන ලද්දේ ද, ඒ සියල්ල, ‘විනීලක අසුබනිමිත්ත උගන්නේ, විපුබ්බක අසුබ නිමිත්ත උගන්නේ’ යන ආදී නයින් ඒ ඒ පරිද්දෙන් එහි ‘උද්ධුමාතක’ යන පදය පමණක් වෙනස්කොට එහි කියනලද නයින්ම විනිශ්චය හා අභිප්රාය සහිතව දතයුතුය.
මේ වනාහි එහි වෙනසයි. විනීලක අසුභයෙහිදී ‘විනීලකපටික්කූලං විනීලකපටික්කූලං’ (නිල්වූ මළ සිරුර පිළිකුල්) යයි මනස්කාරය පැවැත්විය යුතුය, මෙහි උග්ගහනිමිත්ත මිශ්රවර්ණයෙන් දිස්වේ. පටිභාගනිමිත්ත වනාහි බහුල සේ පෙනෙන වර්ණයෙන් දිස්වේ.
විපුබ්බකඅසුභයෙහි, ‘විපුබ්බකපටික්කූලං විපුබ්බකපටික්කූලං’ (පූයා වැගිරෙන මළසිරුර පිළිකුල්ය) යනුවෙන් මනස්කාරය පැවැත්විය යුතුය, මෙහි උග්ගහනිමිත්ත වැගිරෙන ආකාරයෙන් වැටහේ, පටිභාගනිමිත්ත නිසලව තැන්පත්ව තිබෙන ආකාරයෙන් වැටහේ.
විච්ඡිද්දක අසුභය, යුදබිමෙක හෝ, සොරුන් සිටින අඩවියෙක හෝ, රජදරුවන් විසින් සොරුන්ගේ අත්පා සිඳුවන සොහොන් බිමෙක හෝ සිංහව්යාඝ්රාදීන් විසින් මිනිසකු කඩ කඩ කොට ඉරා දමන ලද වනබිමෙක හෝ දක්නට ලැබේ, එහෙයින් එවැනි තැනකට ගොස් නොයෙක් තැන විසිරී ඇතත්, එක්වර ඇස් හමුවට එතොත් යෙහෙකි, එසේ නොවෙතොත්, තමා අතින් නොඇල්විය යුතුය, අතින් අල්වා ගතහොත්, හුරුපුරුදු බවට පැමිණේ, (පිළිකුල් හැඟීම පහවී යාහැකිය) එහෙයින් අරම්වැසියකු ලවා හෝ හෙරණකු ලවා හෝ අන් කිසිවකු ලවා හෝ (කැබලි) එක්තැන් කරවාගත යුතුය, එවන් කිසිවකු නොලැබෙතොත්, සැරයටියෙන් හෝ දඬුවෙකින් හෝ එක් අඟුල් පමණ අතර සිටින සේ (තමාම) එක්තැන් කරගත යුතුය. එසේ කොට ‘විච්ඡිද්දකපටික්කූලං විච්ඡිද්දක පටික්කූලං’ (විසිරීගිය මළසිරුර පිළිකුල්ය) යනුවෙන් මනස්කාරය පැවැත්විය යුතුය, එහි උග්ගහනිමිත්ත මැදින් කපන ලද්දක් සෙයින් දිස්වේ, පටිභාග නිමිත්ත වනාහි පිරිපුන් ලෙසින් දිස්වේ.
වික්ඛායිතක අසුභයෙහිදී “වික්ඛායිතකපටික්කූලං වික්ඛායිතකපටික්කූලං” (කාදමනලද මළසිරුර පිළිකුල්ය) යනුවෙන් මනස්කාර පැවැත්විය යුතුය. මෙහි උග්ගහනිමිත්ත ඒ ඒ තැනින් කාදමනලද ආකාරයෙන්ම වැටහේ, පටිභාගනිමිත්ත වනාහි පිරිපුන් ලෙසින් වැටහේ.
වික්ඛිත්තකඅසුභයද විච්ඡිද්දක විෂයෙහි කීනයින්ම අඟලක් අඟලක් අතර තබා එක්තැන් කරවාගෙන හෝ තමාම එක්තැන් කොටගෙන හෝ ‘වික්ඛිත්තක පටික්කූලං වික්ඛිත්තකපටික්කූලං’ යනුවෙන් මනස්කාරය පැවැත්විය යුතුය, මෙහි උග්ගහනිමිත්ත පැහැදිලිව දිස්වන අතරක් ඇතිව වැටහේ, පටිභාගනිමිත්ත වනාහි පිරිපුන් ලෙසින් වැටහේ.
හතවික්ඛිත්තක අසුභයද විච්ද්දකයෙහි කියනලද තැන්වලම දක්නට ලැබේ, එහෙයින් එවැනි තැනකට ගොස් කී-නයින්ම අඟලක් අඟලක් පමණ අතර ඇතිවනසේ එක්රැස් කරවාගෙන හෝ තමාම රැස්කොට ගෙන හෝ, “හතවික්ඛිත්තකපටික්කූලං හතවික්ඛිත්ත පටික්කුලං” (කපා කොටා විසිරීගිය මළසිරුර පිළිකුල්ය) යනුවෙන් මනස්කාරය පැවැත්විය යුතුය. මෙහි උග්ගහනිමිත්ත වනාහි පෙනෙන තුවාල ලෙසින් වැටහේ. පටිභාග නිමිත්ත පිරිපුන්වම වැටහේ.
ලෝහිතක අසුභය යුදබිම් ආදී තන්හි පහර ලද්දවුන්ගේ සුන්ව ගිය අත්පා ආදියෙහි හෝ, ගෙඩි පිළිකා ආදිය ගැසී මුඛයෙන් වැගිරෙන විට හෝ දක්නට ලැබේ. එහෙයින් එවැන්නක් දැක, “ලොහිතකපටික්කූලං ලොහිතකපටික්කූලං” (ලේ සහිත මළසිරුර පිළිකුල්) යයි මනස්කාරය පැවැත්විය යුතුය. මෙහි උග්ගහනිමිත්ත සුළඟ වැදී සෙලවෙන රතු කොඩියක් ලෙසින් වැටහේ, පටිභාගනිමිත්ත වනාහි නිශ්චලව තිබෙන ලෙසින් වැටහේ.
පුළවක අසුභය දෙතුන් දිනක් ඉකුත්වූ මළසිරුරෙක්හි නව දොරින් පණුකැල වැගිරෙන්නට වූ කල්හි විද්යමාන වේ, තවද එය බලු කැණහිල්, මිනිස්, ගව, මහිෂ, ඇත්, අස්, පිඹුරු ආදීන්ගේ ඒ ඒ ශරීර ප්රමාණයෙන්ම හැල්බත් ගොඩක් ලෙසින් දිස්වේ. එකී මළ සිරුරු අතුරෙන් යම් කිසිවක් කෙරෙහි “පුළවකපටික්කූලං පුළවකපටික්කූලං” (පිළවුන් සහිත මළසිරුර පිළිකුල්ය) යයි මනස්කාරය පැවැත්විය යුතුය. චූළපිණ්ඩපාතිකතිස්ස තෙරුන්හට කාළදීඝවාපියෙහිදී ඇත්කුණක් කෙරෙහි නිමිති වැටහිණි. මෙහි උග්ගහනිමිත්ත චංචල ආකාරයෙන් වැටහේ, පටිභාගනිමිත්ත හැල්බත් පිඬක් මෙන් නිශ්චලව වැටහේ.
අට්ඨිකඅසුභය, ‘හේ තෙමේ අමු සොහොහොනෙහි දමනලද මස් ලේ සහිත නහරින් බැඳුණු මළසිරුරක් දක්නේය’ යන ආදී නයින් නොයෙක් ආකාරයෙන් කියනලදි. එහෙයින් යම් තැනෙක එවැන්නක් දමන ලද්දේ ද, පෙර කී-නයින්ම එහි ගොස් හාත්පස පාෂාණ ආදිය නිමිති සහිතව අරමුණු සහිතව ගෙන මේ මේ අට්ඨිකඅසුභයයි ස්වභාව වශයෙන් සලකා වර්ණාදී වශයෙන් එකොළොස් ආකාරයෙන් නිමිති ගතයුතුය.
එය වනාහි වර්ණ වශයෙන් සුදුයයි ගෙන බලන්නහුට කමටහන නොවැටහේ, ඔදාත කසිණය හා සමග පැටලීම සිදුවේ, එහෙයින් ‘අට්ඨිකං’ යනුවෙන් පිළිකුල් (පටික්කූල) වශයෙන්ම බැලිය යුතුය. මෙහි ලිංග යනු අත් ආදියට නමෙකි, එහෙයින් අත්, පා, හිස, බඩ, බාහු, උකුල, කලවා, කෙණ්ඩ ආදී වශයෙන් ලිංග අනුව නිශ්චය කටයුතුය; දිගය, කොටය, වටකුරුය, සතරැස්ය, කුඩාය, මහත්යයි සටහන් වශයෙන් නිශ්චය කටයුතුය. දිශා අවකාශ යන දෙක පෙරකී ආකාරම වේ. ඒ ඒ ඇටයෙහි කෙළවර පරිච්ඡේද වශයෙන් නිශ්චයකොට, යමක් මෙහි ප්රකටව වැටහේ නම්, එය ගෙන අර්පණාවට පැමිණිය යුතුය. ඒ ඒ ඇටයෙහි වළ තැන් ගොඩ තැන් වළ හෝ ගොඩ තැන් වශයෙන් නිශ්චය කටයුතුය. ප්රදේශ වශයෙන්ද, ‘මම් වළතන්හි වෙමි, අට්ඨිකය ගොඩ තැන්හිය,’ නැතහොත් ‘මම් ගොඩ තන්හි වෙමි, අට්ඨිකය වළ තන්හිය’යි ව්යවස්ථාපනය කටයුතුය. ඇට දෙකක් ගැටෙන ගැටෙන තැන් සන්ධි වශයෙන් ව්යවස්ථාපනය කටයුතුය. ඇටවලම අතරින් පතර විවර වූ තැන් විවර වශයෙන් ව්යවස්ථාපනය කටයුතුය. සියලු තන්හිම නුවණ හසුරුවා, මේ මේ තන්හි මේ මේ ඇටයයි සමස්ත වශයෙන් ගෙන ව්යවස්ථාපනය කටයුතුය. මෙසේත් නිමිති නොවැටහේ නම්, නලල් ඇටය කෙරෙහි සිත රඳවාගත යුතුය.