උද්ධුමාතකකම්මට්ඨානං
එහි, උද්ධුමාතක ශරීරයෙහි උද්ධුමාතක නිමිති උපදවා උද්ධුමාතකයයිම කියනු ලබන ධ්‍යානය වඩනු කැමැති යෝගාවචරයා විසින් යට පඨවි කසිණයෙහි කීනයින්ම, කියනලද ප්‍රකාර ඇති ආචාර්යවරයකු වෙත එළඹ කමටහන් උගතයුතුය, කමටහන් කියන එම ආචාර්යවරයා විසින් අසුභ නිමිති සඳහා යන පිළිවෙළ, හාත්පස නිමිති සැලකීම, එකොළොස් ආකාරයෙන් නිමිති ගැනීම, යන එන මඟ ගැන මෙනෙහි කිරීම, ආදී වශයෙන් අර්පණා විධානය අවසන් කොට ඇති සියල්ල ඒ යෝගාවචරයාහට කියාදිය යුතුය. යෝගාවචරයා විසින්ද ඒ සියල්ල මනාසේ උගෙන, යටකී ප්‍රකාර ඇති සේනාසනයකට පැමිණ උද්ධුමාතක නිමිත්තක් සොයමින් එහි වාසය කළයුතුය.
මෙසේ වාසය කරන්නහු විසින්ද, අසුවල් ගම්දොර හෝ වනය අබියස හෝ, මාර්ගය අසල හෝ, පවුපාමුල හෝ, රුක්මූල හෝ, සොහොන්පලෙහි හෝ, උද්ධුමාතක මළසිරුරක් දමා ඇතැ’යි කියන්නන්ගේ එම වචන අසා වුවද, නොතොටින් (එතෙරවීම පිණිස ගඟට) පනින්නකු ලෙසින් එක්වරම නොයා යුතුය. කවර හෙයින්දයත්, මෙම අසුභය වූකලී වනසිවුපාවුන් විසින්ද අමනුෂ්‍යයන් විසින්ද අරක්ගන්නා ලද්දක් විය හැකිය, එහිදී ඔහුගේ ජීවිතයට පවා විපත් සිදුවිය හැකිය. මෙහි යන මාර්ගයද ගම්දොරින් හෝ, නහනතොටින් හෝ, කුඹුරු කෙළවරින් හෝ විය හැකිය. එහිදී අහිතකර රූපයන් මුණගැසිය හැකිය, එම මළ සිරුරම වුවද අහිතකර විය හැකිය. පුරුෂයකුට ස්ත්‍රී ශරීරයද ස්ත්‍රියකට පුරුෂශරීරයද විසභාග (අහිතකර) වේ. මේ දැන් මළ හෙයින් එම සිරුර සුබ වශයෙන් වැටහිය හැකිය, මෙසේ ඔහුගේ බ්‍රහ්මචර්යයටද එය හානිකර විය හැකිය. ඉදින් ‘මාවැන්නකුට මෙය බැරූරුම් නොවෙති’යි තමා ගැන සිතාගත හැකි වෙතොත්, එසේ සිතාගත හැක්කහු විසින් යායුතුය.
එසේ යනවිටද සංඝස්ථවිරයන්හට හෝ අන්කිසි ප්‍රමුඛ භික්‍ෂු කෙනකුට හෝ දන්වා යායුතුය, කවර හෙයින්දයත්? ඉදින් ඒ සොහොන් පලෙහිදී අමනුෂ්‍යයන්ගේ හෝ සිංහව්‍යාඝ්‍රාදීන්ගේ රූප ශබ්ද ආදී අනිටු අරමුණුවලින් මඩනාලදුව ඒ යෝගාවචරයාගේ අඟපසඟ වෙවුලන්නට වුවහොත්, බුදින ලද ආහාර පවා දරා සිටිනු නොහැකි වුවහොත්, අන්කිසි ආබාධයක් හෝ වුවහොත්, එවිට එම සංඝස්ථවිරයන් වහන්සේ ඔහුගේ පාසිවුරු විහාරයෙහි සුරැකිකොට තබනු ඇත, තරුණ භික්‍ෂූන් හෝ සාමණේර භික්‍ෂූන් හෝ එහි යවා එම යෝගාවචර භික්‍ෂුව පිළිදගවනු (උවටැන් කරවනු) ඇත. එමතු නොව, සොහොන නම් සැක නොකරන තැනෙකැ’යි හඟිමින් සොරකම් කළ හෝ නොකළ සොරු එහි රැස්වෙති, ඔවුහු මිනිසුන් විසින් ලුහුබඳනා ලද්දාහු භික්‍ෂුව වෙත බඩු දමා පලා යෙති, මිනිස්සු බඩුත් සමග සොරු දුටුමු’යි භික්‍ෂුව අල්වාගෙන ගහට කරති, එවිට වෙහෙරවැසි තෙරුන්, ‘මොහුට ගහට නොකරවු, මොහු මට කියා වෙනත් කාර්යයක් සඳහා ගියේය’යි දන්වා ඔහු මුදවාගනු ඇත. මේ වනාහි දන්වා යාමෙහි ආනිසංසයි. එහෙයින් යටකී ප්‍රකාර ඇති භික්‍ෂු කෙනකුට දන්වා, අසුභ නිමිති දැකීමේ අභිලාෂ ඇති යෝගාවචරවයා විසින්, ක්‍ෂත්‍රියයකු අභිෂෙකස්ථානයට, යාගකරන්නකු යඥශාලාවට, නිර්ධනයකු නිධානස්ථානයකට යන ලෙසින් සතුටු සොම්නස් උපදවාගෙන අටුවායෙහි කියනලද නියායෙන් යායුතුය. කියනලද මැයි:
‘උද්ධුමාතක නම් අසුභ නිමිත්ත උගන්නේ හුදකලාව, දෙවැන්නකු නැතිව, එළඹ සිටි නුමුළා සිහියෙන් යුක්තව, ඇතුළතට නැඹුරු ඉඳුරන් ඇතිව, පිටතට යොමු නොවූ මනස් ඇතිව, යන එන ගමන්මඟ මෙනෙහි කරමින් යන්නේය, යම් පෙදෙසක උද්ධුමාතක ශරීරයක් දමන ලද්දේ ද, එම පෙදෙසෙහි ඇති ගලක් හෝ තුඹසක් හෝ රුකක් හෝ ගසක් හෝ වැලක් හෝ ලක්‍ෂ්‍යකොට නිමිති ගන්නේය, අරමුණු ගන්නේය. එසේ නිමිති ගෙන අරමුණු ගෙන, උද්ධුමාතක අසුභ නිමිත්ත සභාගලක්‍ෂණ වශයෙන් සලකන්නේය. වර්ණ වශයෙන්ද, ලිංග වශයෙන්ද, සටහන් වශයෙන්ද, දිශා වශයෙන්ද, අවකාශ වශයෙන්ද, පරිච්ඡේද වශයෙන්ද, සන්‍ධි වශයෙන්ද, සිදුරු වශයෙන්ද, නිම්න වශයෙන්ද, ස්ථල වශයෙන්ද, හාත්පස වශයෙන්ද එම යෝගාවචරතෙමේ එම නිමිත්ත මනාකොට ගැනීම කරන්නේය, මනාකොට පිරික්සීම කරන්නේය, මනාකොට නිශ්චය කිරීම කරන්නේය. ‘හේ තෙමේ එම නිමිත්ත මනාව ගැනීම කොට, මනාව පිරික්සීම කොට, මනාව තහවුරු කිරීම කොට, හුදකලාව, දෙවැන්නකු නොගෙන, එළඹසිටි සිහි ඇතිව, ඇතුළතට නැඹුරු ඉඳුරන් ඇතිව, පිටතට යොමු නොවූ මනසින් යුතුව, යන එන ගමන්මඟ මෙනෙහි කරමින් යන්නේය, හේ තෙමේ සක්මන් කරනුයේද එම අසුභ නිමිත්තම මෙනෙහි කරමින් සක්මන් කරන්නේය, හිදිනුයේද එයම මෙනෙහි කරමින් අසුන් පනවන්නේය.
හාත්පස නිමිති සැලකීම කුමක් සඳහාද? එහි අනුසස් කවරේද? හාත්පස නිමිති සටහන් කිරීම නුමුළාබව සඳහාය, නුමුළාබව එහි ආනිසංසයි. එකොළොස් ආකාරයෙකින් නිමිති ගැනීම කුමක් සඳහාද? එහි ආනිසංස කවරේද? එකොළොස් ආකාරයෙකින් නිමිති ගැනීම (අසුබ නිමිත්තෙහි) සිත රඳවා ගැනීම සඳහාය, සිත රඳවා තැබීමම එහි ආනිසංසයි. යන එන ගමන්මග මෙනෙහි කිරීම කුමක් සඳහාද? එහි අනුසස් කවරේද? යන එන ගමන්මඟ සිහිකිරීම කර්මස්ථාන වීථිය සංවිධාන කර ගැනීම සඳහාය. එයම එහි ආනිසංසයි.
හේ තෙමේ ආනිසංස දක්නාසුලු වූයේ කමටහන්හි රත්නසංඥා ඇතිව, ගෞරව උපදවා, සොම්නස් සහිතව, ‘ඒකාන්තයෙන් මේ පිළිවෙත හේතුකොටගෙන ජරාමරණයෙන් මිදෙන්නෙමි’යි සිතාගෙන එම අරමුණෙහිම සිත රඳවන්නේය. හේ තෙමේ කාමයන්ගෙන් වෙන්ව-පෙ-ප්‍රථම ධ්‍යානයට පැමිණ විහරණය කරන්නේය. මෙසේ ඒ යෝගාවචරයා විසින් රූපාවචර ප්‍රථමධ්‍යානයද, දිව්‍යමය ආර්ය විහරණයද, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තූන්ද ලබනා ගන්නා ලද්දේ වේ.
එහෙයින් යම් පුද්ගලයෙක් විසිතුරු දකිනු අටියෙන් (විනෝදවනු පිණිස) අමුසොහොන දක්නට යන්නේනම්, හේ තෙමේ ගෙඩිය ගසා සංඝයා රැස්කොට (ප්‍රසිද්ධ කොට) යේවා, කමටහන් අරමුණුකොට යන්නේ නම්, හුදකලාව දෙවැන්නකු නැතිව (බුද්ධානුස්සති ආදී) මුල් කමටහන් අත්නොහැර මෙනෙහි කරමින්ම, සොහොනෙහිදී බලු ආදීන්ගෙන් වියහැකි උවදුරු වලක්වනු පිණිස සැරයටියක් හෝ කෙවිටක් හෝ ගෙන, මනාව අවධානය එළවා ගැනීමෙන් නුමුළා-සිහි ඇතිව, මනින්‍ද්‍රියය සවැනි කොට ඇති ඉන්‍ද්‍රියයන් ඇතුළතට යොමුකොට තබාගැනීමෙන් පිටතට යොමු නොවූ සිත් ඇතිව යායුතුය.