උද්ධුමාතකාදිපදත්ථවණ්ණනා
කසිණයනට අනතුරුව දක්වන ලද “උද්ධුමාතකය, විනීලකය, විපුබ්බකය, විච්ඡිද්දකය, වික්ඛායිතකය, වික්ඛිත්තකය, හතවික්ඛිත්තකය, ලොහිතකය, පුළවකය, අට්ඨිකය” යන දශවිධ අවිඤ්ඤාණක අසුභයන් අතුරෙන්, ජීවිතක්ෂයයෙහි පටන්, වාතයෙන් පිම්බෙන හස්ත්රාවක් (මයිනාසමක්) මෙන්, ක්රමයෙන් නැඟී ආ පිම්බුණ ස්වභාවය හේතුකොටගෙන ඉදිමීගිය හෙයින් උද්ධුමාත නමි, උද්ධුමාතයම (ස්වාර්ත්ථ ‘ක’- ප්රත්යය යෙදීමෙන්) උද්ධුමාතක නම්ද වේ, පිළිකුල්බව හේතුකොටගෙන ගර්හිත වූයේ හෝ (කුස්සිතාර්ත්ථ ක-ප්රත්යය යෙදීමෙන් හෝ) උද්ධුමාතය උද්ධුමාතක නම් වේ, එබඳු ස්වභාවයට පත් මළ සිරුරට මේ අධිවචනයි.
විවර්ණ වූ මළ සිරුර විනීල නමි, විනීල යනුම (ස්වාර්ත්ථයෙහි) විනීලක නම්වේ, පිළිකුල් බවින් ගර්හිතවූයේ හෝ (කුත්සිතාර්ත්ථයෙහි) විනීලකනම් වේ. මාංශය උස්ව පිහිටි තන්හි රත් පැහැයෙන්ද, පූයා එක්රැස් වූ තන්හි සුදු පැහැයෙන්ද, බොහෝසෙයින්ම නිල් පැහැයෙන්ද යුත් නීලවර්ණ ස්ථානයෙහි නීලවර්ණ වස්ත්රයක් පෙරවගත් විලාශයෙන් දිස්වන මළසිරුරට මේ අධිවචනයි.
කැඩී බිදී ගිය තන්හි වැගිරෙන පූයා සහිත මළසිරුර විපුබ්බ නමි, විපුබ්බ යනුම විපුබ්බක නම්ද වේ. පිළිකුල් බවින් කුත්සිත වූ හෙයින් හෝ විපුබ්බක නම් වේ. එබඳු මළසිරුරට මේ අධිවචනයි.
දෙකඩව බිදීයාමෙන් වෙන්වූයේ විච්ජිද්ද’යි කියනු ලැබේ, විච්ජිද්ද යනුම විච්ජිද්දක වේ. පිළිකුල් බවින් කුත්සිත වූ හෙයින් හෝ විචිජිද්දක නම්වේ, මැදින් දෙකඩවී ගිය මළ සිරුරට මේ අධිවචනයි.
බලු කැණහිල් ආදීන් විසින් එතැනින් මෙතැනින් නොයෙක් ලෙසින් කාදමන ලද්දේ වික්ඛායිත නමි, වික්ඛායිත යනුම වික්ඛායිතක නම් වේ, පිළිකුල්බවින් කුත්සිත වූ හෙයින් හෝ වික්ඛායිතක නම්වේ, ඒ ආකාර ඇති මළසිරුරට මේ අධිවචනයි.
නොයෙක් ලෙසින් විසිරී ගියේ වික්ඛිත්ත නමි, වික්ඛිත්තයම වික්ඛිත්තක නම් වේ, පිළිකුල් බවින් කුත්සිත වූ හෙයින් හෝ වික්ඛිත්තක නම්වේ, අත එක් තැනෙකය, පය අන් තැනෙකය, හිස තවත් තැනෙකය, මෙසේ ඒ ඒ තැන විසිරී කපන කොටන ලදුව ඇති මළසිරුරට මේ අධිවචනයි.
අත් ආදී එලෙසින්ම විසිරී ගියේ හතවික්ඛිත්තක නමි, කාකපාද සලකුණෙහි ආකාරයට (පහර දෙකකින්) අඟපසඟ ශස්ත්රයෙන් කපා කොටා යටකී ලෙසින්ම විසුරුවනලද මළසිරුරට මේ අධිවචනයි.
‘ලෙහෙ ගලති’යි, විසිරෙති’යි, ඒ ඒ තැන වැගිරෙති’යි හෝ ලොහිතක නමි, වැගිරෙන ලෙයින් වැකුණ මළසිරුරට මේ අධිවචනයි.
පණුවනට ‘පුළව’ යයි කියනු ලැබේ, පණුවන් විසිරෙති’යි පුළවක නමි, පණුවන් ගැවසුණ මළසිරුරට මේ අධිවචනයි.
‘අට්ඨි’ යනුම ‘අට්ඨික’ නමි, පිළිකබවින් කුත්සිතවූයේ හෝ අට්ඨික නම්වේ, ඇටසැකිල්ලටද, එක් එක් ඇටයකටද මේ අධිවචනයි. මෙකී උද්ධුමාතකාදිය නිසා උපන් නිමිතිද, එම නිමිති හේතුකොට ලබාගන්නාලද ධ්යානයන්ද ඒ ඒ නමින්ම වහරති.
උද්ධුමාතකකම්මට්ඨානං
එහි, උද්ධුමාතක ශරීරයෙහි උද්ධුමාතක නිමිති උපදවා උද්ධුමාතකයයිම කියනු ලබන ධ්යානය වඩනු කැමැති යෝගාවචරයා විසින් යට පඨවි කසිණයෙහි කීනයින්ම, කියනලද ප්රකාර ඇති ආචාර්යවරයකු වෙත එළඹ කමටහන් උගතයුතුය, කමටහන් කියන එම ආචාර්යවරයා විසින් අසුභ නිමිති සඳහා යන පිළිවෙළ, හාත්පස නිමිති සැලකීම, එකොළොස් ආකාරයෙන් නිමිති ගැනීම, යන එන මඟ ගැන මෙනෙහි කිරීම, ආදී වශයෙන් අර්පණා විධානය අවසන් කොට ඇති සියල්ල ඒ යෝගාවචරයාහට කියාදිය යුතුය. යෝගාවචරයා විසින්ද ඒ සියල්ල මනාසේ උගෙන, යටකී ප්රකාර ඇති සේනාසනයකට පැමිණ උද්ධුමාතක නිමිත්තක් සොයමින් එහි වාසය කළයුතුය.
මෙසේ වාසය කරන්නහු විසින්ද, අසුවල් ගම්දොර හෝ වනය අබියස හෝ, මාර්ගය අසල හෝ, පවුපාමුල හෝ, රුක්මූල හෝ, සොහොන්පලෙහි හෝ, උද්ධුමාතක මළසිරුරක් දමා ඇතැ’යි කියන්නන්ගේ එම වචන අසා වුවද, නොතොටින් (එතෙරවීම පිණිස ගඟට) පනින්නකු ලෙසින් එක්වරම නොයා යුතුය. කවර හෙයින්දයත්, මෙම අසුභය වූකලී වනසිවුපාවුන් විසින්ද අමනුෂ්යයන් විසින්ද අරක්ගන්නා ලද්දක් විය හැකිය, එහිදී ඔහුගේ ජීවිතයට පවා විපත් සිදුවිය හැකිය. මෙහි යන මාර්ගයද ගම්දොරින් හෝ, නහනතොටින් හෝ, කුඹුරු කෙළවරින් හෝ විය හැකිය. එහිදී අහිතකර රූපයන් මුණගැසිය හැකිය, එම මළ සිරුරම වුවද අහිතකර විය හැකිය. පුරුෂයකුට ස්ත්රී ශරීරයද ස්ත්රියකට පුරුෂශරීරයද විසභාග (අහිතකර) වේ. මේ දැන් මළ හෙයින් එම සිරුර සුබ වශයෙන් වැටහිය හැකිය, මෙසේ ඔහුගේ බ්රහ්මචර්යයටද එය හානිකර විය හැකිය. ඉදින් ‘මාවැන්නකුට මෙය බැරූරුම් නොවෙති’යි තමා ගැන සිතාගත හැකි වෙතොත්, එසේ සිතාගත හැක්කහු විසින් යායුතුය.
එසේ යනවිටද සංඝස්ථවිරයන්හට හෝ අන්කිසි ප්රමුඛ භික්ෂු කෙනකුට හෝ දන්වා යායුතුය, කවර හෙයින්දයත්? ඉදින් ඒ සොහොන් පලෙහිදී අමනුෂ්යයන්ගේ හෝ සිංහව්යාඝ්රාදීන්ගේ රූප ශබ්ද ආදී අනිටු අරමුණුවලින් මඩනාලදුව ඒ යෝගාවචරයාගේ අඟපසඟ වෙවුලන්නට වුවහොත්, බුදින ලද ආහාර පවා දරා සිටිනු නොහැකි වුවහොත්, අන්කිසි ආබාධයක් හෝ වුවහොත්, එවිට එම සංඝස්ථවිරයන් වහන්සේ ඔහුගේ පාසිවුරු විහාරයෙහි සුරැකිකොට තබනු ඇත, තරුණ භික්ෂූන් හෝ සාමණේර භික්ෂූන් හෝ එහි යවා එම යෝගාවචර භික්ෂුව පිළිදගවනු (උවටැන් කරවනු) ඇත. එමතු නොව, සොහොන නම් සැක නොකරන තැනෙකැ’යි හඟිමින් සොරකම් කළ හෝ නොකළ සොරු එහි රැස්වෙති, ඔවුහු මිනිසුන් විසින් ලුහුබඳනා ලද්දාහු භික්ෂුව වෙත බඩු දමා පලා යෙති, මිනිස්සු බඩුත් සමග සොරු දුටුමු’යි භික්ෂුව අල්වාගෙන ගහට කරති, එවිට වෙහෙරවැසි තෙරුන්, ‘මොහුට ගහට නොකරවු, මොහු මට කියා වෙනත් කාර්යයක් සඳහා ගියේය’යි දන්වා ඔහු මුදවාගනු ඇත. මේ වනාහි දන්වා යාමෙහි ආනිසංසයි. එහෙයින් යටකී ප්රකාර ඇති භික්ෂු කෙනකුට දන්වා, අසුභ නිමිති දැකීමේ අභිලාෂ ඇති යෝගාවචරවයා විසින්, ක්ෂත්රියයකු අභිෂෙකස්ථානයට, යාගකරන්නකු යඥශාලාවට, නිර්ධනයකු නිධානස්ථානයකට යන ලෙසින් සතුටු සොම්නස් උපදවාගෙන අටුවායෙහි කියනලද නියායෙන් යායුතුය. කියනලද මැයි: