පරිච්ඡින්නාකාසකසිණකථා
පරිච්ඡින්නාකාස කසිණයෙහිදී ද “ආකාසකසිණය උගන්නේ බිතු සිදුරෙක හෝ යතුරු කපොල්ලෙක හෝ කවුළු විවරයෙක හෝ පෙනෙන ආකාශයෙහි නිමිති ගනී” යයි කීහෙයින් පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට බිතු සිදුරු ආදී යම් කිසිවක් දුටු මතින්ම නිමිති උපදී. අවශේෂ ජනයා විසින් මනාකොට සෙවිලි කළ මඩුවෙක හෝ සම්, බටපැලලි ආදී කිසියම් වස්තුවෙක හෝ එක් වියත් සතරඟුල් පමණ සිදුරක් කොට නැතහොත් එම බිත්ති සිදුරු ආදියට ආකාසො ආකාසො යනුවෙන් වැඩිය යුතුය. මෙහි උග්ගහ නිමිත්ත බිතුකෙළවර හා සමග ඇති සිදුරු බඳුම වේ. වඩනු ලබනුයේද නොවැඩේ. පටිභාගනිමිත්ත වනාහි ආකාශමණ්ඩලය මෙන්ම වැටහේ. වඩනු ලබනුයේ වැඩේ. සෙස්ස පඨවි කසිණයෙහි කී-නයින්ම දතයුතුය. පරිච්ඡින්නාකාස කසිණයයි.
ඉති කසිණානි දසබලො-දස යානි අවොච සබ්බධම්මදසො
රූපාවචරම්හි චතුක්ක - පඤ්චකජ්ඣානහෙතූනි
එවං තානි ච තෙසඤ්ච - භාවනානයමිමං විදිත්‍වාන
තෙස්චෙව අයං භීය්‍යො - පකිණ්ණකකථාපි විඤ්ඤෙය්‍යා.
මෙසේ දශබලධාරී වූ සියලු ධර්මයන් දක්නා වූ සම්බුද්ධයන් වහන්සේ රූපාවචර භූමියෙහි චතුෂ්ක පංචකධ්‍යානයනට හේතු වූ යම් දසකසිණයක් කී සේක්ද,
ඒ දසකසිණයන්ද, එම කසිණයන් පිළිබඳ මේ භාවනා ක්‍රමයද දැන, යලිදු එම දසකසිණයන් කෙරෙහිම වූ මේ ප්‍රකීර්ණක කථාවද දතයුතුය.
පකිණ්ණකකථා
මේ කසිණයන් අතර පඨවි කසිණ වශයෙන්, එකෙක්වද බොහෝ ආකාර ඇත්තේ වේ යන ආදී ස්වභාවය, අහසෙහි හෝ දියෙහි හෝ පොළොව මවා ඊමත පිය තබා ගමන් කිරීමය, සිටීම් හිදීම් කිරීමය, පරිත්ත වශයෙන් හෝ අප්පමාණ වශයෙන් අභිභායතනයන් ලැබීමය යන මේ ආදිය සිද්ධ වේ.
ආපොකසිණ වශයෙන්, පොළොවෙහි මතුවීමය, කිමිදීමය, ජල වැසි ඉපැදවීමය, ගංගා මුහුදු ආදිය මැවීමය පෘථිවි, පර්වත ප්‍රාසාදාදිය කම්පා කරවීමට සමත් බවය යන ආදිය සිද්ධ වේ.
තෙජොකසිණ වශයෙන් දුම් නිකුත් කිරීමය, ගිනි මෙන් දිලීමය, අඟුරු වැසි ඉපැදවීමය, තමාගේ තේජසින් අනෙකාගේ තේජස මැඩලීමය, යම් දෙයක් දවාලනු කැමැති වෙතොත් එය දවාලීමට සමත් බවය, දිවැසින් රූපයන් බැලීම පිණිස ආලෝක දැනවීමය, පිරිනිවන් සමයෙහි තේජෝධාතුවෙන් සිරුර දැවී යාමය යන මේ ආදිය සිද්ධ වේ.
වායෝ කසිණ වශයෙන් වාතගමන මෙන් ශීඝ්‍ර ගමන් ඇති බවය, සුළං වැසි ඉපැදවීමය යන මේ ආදිය සිද්ධ වේ.
නීල කසිණ වශයෙන් නිල්වන් රූ මැවීමය, අඳුරු ඇතිකරවීමය, සුවර්ණ දුර්වර්ණ වශයෙන් අභිභායතන ධ්‍යානයන් ලැබීමය, ශුභ විමොක්‍ෂාධිගමය යන මේ ආදිය සිද්ධ වේ.
පීත කසිණ වශයෙන් රන්වන් රූ මැවීමය, රන්බවට පත් වේව’යි යන අධිෂ්ඨානය, (යට නීලකසිණයෙහි) කී නයින්ම අභිභායතනලාභය, ශුභවිමොක්‍ෂාධිගමය යන මේ ආදිය සිද්ධ වේ.
ලොහිතකසිණ වශයෙන් රත්පැහැ රූ මැවීමය, යටකී නයින්ම අභිභායතනයන් ලැබීමය සුභවිමොක්‍ඛාධිගමය යන මේ ආදිය සිද්ධ වේ.
ඔදාත කසිණ වශයෙන්, සුදුවන් රූ මැවීමය, ථිනමිද්ධය දුරු කරනු පිණිස අඳුරු වැනසීමය, දිවැසින් රූප දැකීම පිණිස ආලෝකකරණය යන මේ ආදිය සිද්ධ වේ.
ආලෝක කසිණ වශයෙන් දිලිසෙන රූ මැවීමය, ථීනමිද්ධය දුරලීමය, අඳුරු නැසීමය, දිවැසින් රූප දැකීම පිණිස ආලෝකකරණය, යන මේ ආදිය සිද්ධ වේ.
ආකාස කසිණ වශයෙන් මුවහ වූ වස්තූන් ගෙනහැර පෑමය, පෘථිවි, පර්වත ආදිය ඇතුළත පවා අහස් මවා ඉරියවු පැවැත්වීමය, බිත්ති ආදිය හරහා නොපැකිල යාහැකිවීමය යන මේ ආදිය සිද්ධ වේ.
සියලුම කසිණයෝ උඩය, යටය, සරසය, දෙකක් නොවන බවය පමණ නැති බවය යන මේ ප්‍රභේදයන් ලබති. කියන ලදමැයි: “එක් පුද්ගලයෙක් පඨවිකසිණය උඩය, යටය, සරසය, දෙකක් නැත, පමණ නැත යනුවෙන් හඳුනාගනී’ යන ආදියයි.
එහි උඩ (උද්ධං) යනු, ඉහළ ආකාශතලයට අභිමුඛවයි, යට (අධො) යනු, පහළ පොළෝ තලයට අභිමුඛවයි, සරස (තිරියං) යනු, ක්‍ෂෙත්‍ර මණ්ඩලයක් ලෙසින් හාත්පස පිරිසිඳීමෙනි. එක් පුද්ගලයෙක් කසිණය උඩු අතටද, එක් පුද්ගලයෙක් යටි අතටද, තවත් පුද්ගලයෙක් හාත්පස වශයෙන්ද වඩයි. ඒ ඒ කාරණයෙන් හෝ මෙසේ පතුරුවයි, දිවැසින් රූ දකිනු කැමැත්තකු ආලෝකය පතුරුවන්නා සේය. එහෙයින් “උද්ධං අධො තිරියං” යයි කියනලදි. ‘අද්වයං’ යන මෙය එක් එක් කසිණයක් අනෙක් අනෙක් කසිණයක් බවට නොඑළඹෙන බව දක්වනු පිණිස කියන ලදි. යම්සේ ජලයට පිවිසියහුට සියලු දෙසින් ජලයම මිස අනෙකක් නොවන්නේද, එසේම පඨවි කසිණය (අන් කසිණයක් නොව) පඨවි කසිණයම වේ, එය වෙනෙකක් බවට හැරීමක් නැත. සියලු තන්හිම මෙම නයයි. “අප්පමාණං” යන මෙය කසිණය පැතිරීම පමණ නැතිබව හැඟවීම පිණිස කියනලදි. එය වනාහි සිතින් පැතිරෙනුයේ සියලු තන්හි පැතිරේ, මේ මෙහි මුලයි, මේ මැදයි, යන ලෙසින් පමණ නොගනියි.
“යම් ඒ සත්ත්‍ව කෙනෙක් කර්මාවරණයෙන් යුක්තවූවාහුද, ක්ලේශාවරණයෙන් හෝ යුක්ත වූවාහුද, විපාකාවරණයෙන් හෝ යුක්ත වූවාහුද, සැදැහැ නැත්තාහුද, (ප්‍රතිපත්ති ධර්මයෙහි) රුචි නැත්තාහුද, යහපත් ප්‍රඥා නැත්තාහුද, කුශලධර්මයන් කෙරෙහි මනාව පිළිපැදීම යයි කියනලද නියාම ධර්මයට පැමිණිය නොහැක්කෝය”යි කියන ලද්දාහුද, ඔවුනතුරෙන් එකකුට හෝ එක් කසිණයෙක්හිදු භාවනාව සමෘද්ධ නොවේ. එහි කර්මාවරණයෙන් යුක්තවූවාහු නම් ආනන්තරිය කර්ම ඇත්තාහුය. ක්ලේශාවරණයෙන් යුක්තවූවාහු නම්, නියත මිථ්‍යාදෘෂ්ටිකයෝද, උභතොඛ්‍යඤ්ජනකයෝ හා නපුංසකයෝද යන මොහුය. විපාකාවරණයෙන් යුක්තවූවාහු නම් අහේතුක ද්විහේතුක ප්‍රතිසන්‍ධි ඇත්තාහුය, සැදැහැ නැත්තාහුය යනු, බුද්ධාදීන් කෙරෙහි සැදැහැ නැත්තෝය. අච්ඡන්‍දික යනු, සන්මාර්ග ප්‍රතිපත්තියෙහි රුචි නැත්තෝය, ප්‍රඥා නැත්තාහුය යනු, ලෞකික ලෝකෝත්තර සම්‍යග්දෘෂ්ටියෙන් හීන වූවෝය, නියාම ධර්මයට බැස ගැනීමට නොහැක්කෝය යනු, කුශලධර්මයන් කෙරෙහි නියාමයයි කියනලද, සම්‍යක්ස්වභාවයයි කියනලද, ආර්යමාර්ගයට අවතීර්ණ වීමට නොසුදුස්සෝය. හුදෙක් කසිණ විෂයෙහි නොව සෙසු කර්මස්ථාන විෂයයෙහිද මොවුනතුරෙන් එකකට හෝ භාවනාව සමෘද්ධ නොවේ. එහෙයින් විපාකවරණයෙන් මිදුණාවූද කුලපුත්‍රයා විසින් කර්මාවරණයද ක්ලේශාවරණයද දුරින් දුරු කොට සද්ධර්මශ්‍රවණ සත්පුරුෂ සේවනාදියෙන් ශ්‍රද්ධා, ඡන්‍ද, ප්‍රඥා යන මේවා වඩා කර්මස්ථානයෝගයෙහි උත්සාහ කටයුතුය.
සාධුජන ප්‍රමොදය පිණිස කරනලද විශුද්ධිමාර්ගයෙහි සමාධිභාවනාධිකාරයෙහි සෙසකසිණ නිද්දේස නම්වූ පස්වන පරිච්ඡේදය මෙතෙකින් සමාප්තයි.