ලොහිතකසිණකථා
ලොහිත කසිණයෙහිද මේ නයම වේ, කියනලදමැයි : ලොහිතකසිණය උගන්නේ මල්හි හෝ වස්ත්‍රයෙක හෝ (සුවඟුරු, දෑහිඟුල් ආදී) ධාතුරාගයෙහි හෝ ඇති රත් පැහැයෙහි නිමිති ගනී. එහෙයින් මෙහිද පෙර පුරුදු ඇති පිනැත්තහුට එවන් මලින් ගැවසීගත් බඳුවද ආදී මල් ගසක් හෝ මල් ඇතිරියක් හෝ රත් පැහැ ඇති වස්ත්‍ර, මණිආදිය අතුරෙන් කිසිවක් හෝ දුටුමතින්ම නිමිති උපදී. අවශේෂ ජනයා විසින් ජයසුමන බඳුවද, රත්කරඬු ආදී මලින් හෝ රත් පැහැති වස්ත්‍රයෙකින් හෝ ධාතුරාගයෙකින් හෝ නීලකසිණයෙහි කී-නයින්ම කසිණය සාදාගෙන, “ලොහිතකං ලොහිතකං” යනුවෙන් මනස්කාර පැවැත්විය යුතුය. සෙස්ස එලෙසම වේ. ලෝහිත කසිණයයි.
ඔදාතකසිණකථා
ඔදාත කසිණයෙහිද, ඔදාත කසිණය උගන්නේ මල්හි හෝ වස්ත්‍රයෙක්හි හෝ වර්ණධාතුවෙක්හි ඇති සුදු පැහැයෙහි නිමිති ගනී යයි කීහෙයින් පෙරපුරුදු ඇති පිනැත්තහුට එවන් මල් පිපී ගිය ගසක් හෝ ඉද්ද සමන් ආදී මල් ඇතිරියක් හෝ කුමුදු, සුදු නෙළුම් ආදී මල් ගොඩක් හෝ සුදු පැහැ පිළියක් හෝ (මකුලු ආදී) ධාතුරාගයක් හෝ යන මේ කිසියම් වස්තුවක් දකිනුවා හා සමගම නිමිති උපදී. ඊයම් මඬුලු, රිදී මඬුලු, සඳමඬුලු යන මේවායෙහිද උපදීමයි. අවශේෂ ජනයා විසින් යටකී ප්‍රකාර ඇති මලින් හෝ සුදු පැහැති පිළියෙන් හෝ ධාතුරාගයෙකින් හෝ නීලකසිණයෙහි කී ලෙසින්ම කසිණය සාදාගෙන, “ඔදාතං ඔදාතං” යනුවෙන් මනස්කාරය පැවැත්විය යුතුය. සෙස්ස එලෙසම වේ. ඔදාත කසිණයයි.
ආලොකකසිණකථා
ආලොක කසිණයෙහිදී වනාහි, “ආලොක කසිණය උගන්නේ බිතු සිදුරෙක්හි හෝ යතුරු කපොල්ලෙක හෝ කවුළු විවරයෙක හෝ දිස්වන ආලෝකයෙහි නිමිතිගනී’ යයි කීහෙයින් පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට බිතු සිදුරු ආදිය අතුරින් යම්කිසිවක් මඟින් සූර්යාලෝකය හෝ චන්‍ද්‍රාලෝකය පිවිස බිත්තියෙක හෝ බිම හෝ යම් මණ්ඩලයක් සැදේද, ගනසරුවට වැඩුණු පත් ඇති රුකෙක අතු අතරින් හෝ ගනසරුවට වැඩුණු අතු ඇති වදුලක් අතරින් හෝ නික්ම බිම මණ්ඩලයක් සැදේද, එය දකිනුවා හා සමගම නිමිති උපදී. අවශේෂ ජනයා විසින් එකී ප්‍රකාර ඇති ආලෝක මණ්ඩලයක්ම “ඔභාසො ඔභාසො” යනුවෙන් හෝ “ආලොකො ආලොකො” යනුවෙන් හෝ වැඩිය යුතුය. එසේ නොහැකි වෙතොත්, කළයක් තුළ පහනක් දල්වා මුවවිට වසා එහි සිදුරක් කොට බිත්තියක් ඉදිරියෙන් තැබිය යුතුය. එම සිදුරෙන් පහන් එළිය නික්ම බිත්තියෙහි මණ්ඩලයක් සැදේ, එය ‘ආලොකො ආලොකො’ යනුවෙන් වැඩිය යුතුය. මෙය සෙසු මණ්ඩලවලට වඩා වැඩි වේලාවක් පවත්නේය. මෙහි උග්ගහනිමිත්ත බිත්තියෙහි හෝ බිම හෝ සෑදෙන මණ්ඩලය හා සමානම වේ, පටිභාග නිමිත්ත ඝන වූ විශේෂයෙන් ප්‍රසන්න වූ ආලෝක පුංජයක් සදිසිම වේ. සෙස්ස යටකී ප්‍රකාරම වේ. ආලෝක කසිණයයි.
පරිච්ඡින්නාකාසකසිණකථා
පරිච්ඡින්නාකාස කසිණයෙහිදී ද “ආකාසකසිණය උගන්නේ බිතු සිදුරෙක හෝ යතුරු කපොල්ලෙක හෝ කවුළු විවරයෙක හෝ පෙනෙන ආකාශයෙහි නිමිති ගනී” යයි කීහෙයින් පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට බිතු සිදුරු ආදී යම් කිසිවක් දුටු මතින්ම නිමිති උපදී. අවශේෂ ජනයා විසින් මනාකොට සෙවිලි කළ මඩුවෙක හෝ සම්, බටපැලලි ආදී කිසියම් වස්තුවෙක හෝ එක් වියත් සතරඟුල් පමණ සිදුරක් කොට නැතහොත් එම බිත්ති සිදුරු ආදියට ආකාසො ආකාසො යනුවෙන් වැඩිය යුතුය. මෙහි උග්ගහ නිමිත්ත බිතුකෙළවර හා සමග ඇති සිදුරු බඳුම වේ. වඩනු ලබනුයේද නොවැඩේ. පටිභාගනිමිත්ත වනාහි ආකාශමණ්ඩලය මෙන්ම වැටහේ. වඩනු ලබනුයේ වැඩේ. සෙස්ස පඨවි කසිණයෙහි කී-නයින්ම දතයුතුය. පරිච්ඡින්නාකාස කසිණයයි.
ඉති කසිණානි දසබලො-දස යානි අවොච සබ්බධම්මදසො
රූපාවචරම්හි චතුක්ක - පඤ්චකජ්ඣානහෙතූනි
එවං තානි ච තෙසඤ්ච - භාවනානයමිමං විදිත්‍වාන
තෙස්චෙව අයං භීය්‍යො - පකිණ්ණකකථාපි විඤ්ඤෙය්‍යා.
මෙසේ දශබලධාරී වූ සියලු ධර්මයන් දක්නා වූ සම්බුද්ධයන් වහන්සේ රූපාවචර භූමියෙහි චතුෂ්ක පංචකධ්‍යානයනට හේතු වූ යම් දසකසිණයක් කී සේක්ද,
ඒ දසකසිණයන්ද, එම කසිණයන් පිළිබඳ මේ භාවනා ක්‍රමයද දැන, යලිදු එම දසකසිණයන් කෙරෙහිම වූ මේ ප්‍රකීර්ණක කථාවද දතයුතුය.
පකිණ්ණකකථා
මේ කසිණයන් අතර පඨවි කසිණ වශයෙන්, එකෙක්වද බොහෝ ආකාර ඇත්තේ වේ යන ආදී ස්වභාවය, අහසෙහි හෝ දියෙහි හෝ පොළොව මවා ඊමත පිය තබා ගමන් කිරීමය, සිටීම් හිදීම් කිරීමය, පරිත්ත වශයෙන් හෝ අප්පමාණ වශයෙන් අභිභායතනයන් ලැබීමය යන මේ ආදිය සිද්ධ වේ.
ආපොකසිණ වශයෙන්, පොළොවෙහි මතුවීමය, කිමිදීමය, ජල වැසි ඉපැදවීමය, ගංගා මුහුදු ආදිය මැවීමය පෘථිවි, පර්වත ප්‍රාසාදාදිය කම්පා කරවීමට සමත් බවය යන ආදිය සිද්ධ වේ.
තෙජොකසිණ වශයෙන් දුම් නිකුත් කිරීමය, ගිනි මෙන් දිලීමය, අඟුරු වැසි ඉපැදවීමය, තමාගේ තේජසින් අනෙකාගේ තේජස මැඩලීමය, යම් දෙයක් දවාලනු කැමැති වෙතොත් එය දවාලීමට සමත් බවය, දිවැසින් රූපයන් බැලීම පිණිස ආලෝක දැනවීමය, පිරිනිවන් සමයෙහි තේජෝධාතුවෙන් සිරුර දැවී යාමය යන මේ ආදිය සිද්ධ වේ.
වායෝ කසිණ වශයෙන් වාතගමන මෙන් ශීඝ්‍ර ගමන් ඇති බවය, සුළං වැසි ඉපැදවීමය යන මේ ආදිය සිද්ධ වේ.
නීල කසිණ වශයෙන් නිල්වන් රූ මැවීමය, අඳුරු ඇතිකරවීමය, සුවර්ණ දුර්වර්ණ වශයෙන් අභිභායතන ධ්‍යානයන් ලැබීමය, ශුභ විමොක්‍ෂාධිගමය යන මේ ආදිය සිද්ධ වේ.
පීත කසිණ වශයෙන් රන්වන් රූ මැවීමය, රන්බවට පත් වේව’යි යන අධිෂ්ඨානය, (යට නීලකසිණයෙහි) කී නයින්ම අභිභායතනලාභය, ශුභවිමොක්‍ෂාධිගමය යන මේ ආදිය සිද්ධ වේ.
ලොහිතකසිණ වශයෙන් රත්පැහැ රූ මැවීමය, යටකී නයින්ම අභිභායතනයන් ලැබීමය සුභවිමොක්‍ඛාධිගමය යන මේ ආදිය සිද්ධ වේ.