වායොකසිණකථා
වායො කසිණය වඩනු කැමැත්තහු විසින් වායුවෙහි නිමිති ගතයුතුය. එයද (සැලෙන වස්තූන්) දැකීම් වශයෙන් හෝ (පහස) දැනීම් වශයෙන් හෝ වේ. කියනලදමැයි අටුවාහි:- “වායොකසිණය උගන්නේ වායුවෙහි නිමිති ගනියි, සැලෙන, සසලවන උක් අගක් හෝ හුණ අගක් හෝ, රුක් අගක් හෝ කෙස් අගක් හෝ නිමිති වශයෙන් දකියි, කයෙහි ගැටෙන සුළඟ හෝ නිමිති වශයෙන් ගනියි.”
එහෙයින් මුදුන් සමව සිටි ගනව වැඩුණු පත් ඇති උක්පඳුරක් හෝ, හුණපඳුරක් හෝ, ගසක් හෝ, සතරඟුල් පමණ ගන කෙස් ඇති පුරුෂයකුගේ හිස හෝ සුළඟින් සැලෙනු දැක, මේ වාතයයි, මෙතැන වාතය ගැටෙයි යනුවෙන් සිහිය පිහිටුවා, නැතහොත්, කවුළු අතරින් හෝ බිත්ති සිදුරෙකින් හෝ වාතය පිවිස තමාගේම කයෙහි කිසියම් පෙදෙසක වදියි නම්, එහි හෝ සිහිය පිහිටුවා වාතය මාරුතය, අනිලය යන ආදී වාතනාමයන් අතුරෙන් ප්‍රකට නම වශයෙන් “වායො වායො” යනුවෙන් භාවනා වැඩියයුතුය. මෙහි උග්ගහනිමිත්ත උදුනෙන් බාගත් කෙණෙහි කිරිබතෙක හුමාලවැටි සෙයින් චංචලව වැටහේ, පටිභාගනිමිත්ත වනාහි (නිවුණු කිරිබතින් නැගෙන මඳ හුමාලය මෙන්) සන්සුන්ව නිසලව වැටහේ. සෙස්ස යටකී නයින්ම දතයුතුය. වායො කසිණයයි.
නීලකසිණකථා
ඉන් අනතුරුව “නීලකසිණය උගන්නේ නිල් පැහැති මලෙක හෝ, වස්ත්‍රයෙක්හි හෝ වර්ණධාතුවෙක්හි හෝ ඇති නීලවර්ණයෙහි නිමිති ගනී” යන වචනයෙන් පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට එබඳු මල්පඳුරක් හෝ පුජා ස්ථානයෙක්හි ඇති මල් ඇතිරියක් හෝ නීලවර්ණ වස්ත්‍ර, මණි ආදිය අතුරෙන් කිසියම් වස්තුවක් හෝ දුටුමතින්ම නිමිති උපදී, එසේ පෙර කළවිරූ පුරුදු නොමැත්තහු විසින් නිල් උපුල් නිල් කටරොළු ආදි මල් ගෙන කෙසුරු හෝ නටු නොපෙනෙන සේ සුමුඟු පියනක් හෝ කරඬු පියන් පතක් හෝ මල් පෙතිවලින්ම පුරවා සමකොට ඇතිරිය යුතුය. නිල්වන් රෙදි කඩෙකින් වණ්ඩුවක් හෝ බැඳ පිරවිය යුතුය. නොහොත් මුවවිට බෙර ඇසක් සෙයින් සමව සිටින සේ බැඳිය යුතුය, නැතහොත් ලොහොමල (පල්ලමාණික්කම්) නිලය, කොළනිලය, අඳුන් නිලය යන මේවා අතුරෙන් කිසියම් ධාතුරාගයෙකින් (ස්වාභාවික වර්ණයෙකින්) පඨවිකසිණයෙහිදී කී-නයින් ගෙනයාහැකිවන සේ හෝ බිත්තියෙක හෝ කසිණ මණ්ඩලය සදා වෙනස් වර්ණයෙන් පිරිසිදිය යුතුය. ඉක්බිති පඨවිකසිණයෙහි කී ලෙසින් “නීලං, නීලං” යනුවෙන් මෙනෙහි කළයුතුය. මෙහිද උග්ගහනිමිත්තේදී කසිණ දොස් පැනේ, කෙසුරු, නටු, පෙති යන මෙහි අතරතුර ආදිය පැනේ. පටිභාගනිමිත්ත කසිණ මණ්ඩලයෙන් මිදුණු විට පවා අහස්හි නැගි මිණිතල්වටක් සෙයින් වැටහේ. සෙස්ස යටකී නයින්ම දතයුතුය. නීල කසිණයයි.
පීතකසිණකථා
පීත කසිණයෙහිද මේ ක්‍රමයමයි, කියනලදමැයි:- “පීතකසිණය උගන්නේ මල්හි හෝ වස්ත්‍රයෙක්හි හෝ ධාතුරාගයෙහි (ස්වභාවික වර්ණාලේපයෙහි) හෝ ඇති පීතවර්ණයෙහි නිමිති ගනී. එහෙයින් මෙහිදී ද පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට එවන් පැහැ ඇති මල් පිපුණු ගසක් හෝ, මල් ඇතිරියක් හෝ පිතවර්ණ වස්ත්‍රය, ධාතුරාගය යන මේදෑ’තුරින් එකක් හෝ දුටුමතින්ම නිමිති උපදී, චිත්තගුත්ත තෙරුන්හට මෙනි. ඒ ආයුෂ්මතුන් වහන්සේට වනාහි, සිතුල්පව්වෙහි පතඟිමලින් කළ ආසන පූජාවක් දැක, දුටුවා හා සමගම ආසන පමණ වූ නිමිති පහළ විය. පෙර පුරුදු නැත්තහු විසින් කිණිහිරිමල් ආදියෙන් හෝ රන්වන් වස්ත්‍රයෙකින් හෝ හිරියල් ආදී ධාතුරාගයෙකින් හෝ නීලකසිණයෙහි කී-නයින්ම කසිණය සාදාගෙන “පීතකං පීතකං” යනුවෙන් මනස්කාරය පැවැත්විය යුතුය. සෙස්ස එලෙසම වේ. පීතකසිණයයි.
ලොහිතකසිණකථා
ලොහිත කසිණයෙහිද මේ නයම වේ, කියනලදමැයි : ලොහිතකසිණය උගන්නේ මල්හි හෝ වස්ත්‍රයෙක හෝ (සුවඟුරු, දෑහිඟුල් ආදී) ධාතුරාගයෙහි හෝ ඇති රත් පැහැයෙහි නිමිති ගනී. එහෙයින් මෙහිද පෙර පුරුදු ඇති පිනැත්තහුට එවන් මලින් ගැවසීගත් බඳුවද ආදී මල් ගසක් හෝ මල් ඇතිරියක් හෝ රත් පැහැ ඇති වස්ත්‍ර, මණිආදිය අතුරෙන් කිසිවක් හෝ දුටුමතින්ම නිමිති උපදී. අවශේෂ ජනයා විසින් ජයසුමන බඳුවද, රත්කරඬු ආදී මලින් හෝ රත් පැහැති වස්ත්‍රයෙකින් හෝ ධාතුරාගයෙකින් හෝ නීලකසිණයෙහි කී-නයින්ම කසිණය සාදාගෙන, “ලොහිතකං ලොහිතකං” යනුවෙන් මනස්කාර පැවැත්විය යුතුය. සෙස්ස එලෙසම වේ. ලෝහිත කසිණයයි.
ඔදාතකසිණකථා
ඔදාත කසිණයෙහිද, ඔදාත කසිණය උගන්නේ මල්හි හෝ වස්ත්‍රයෙක්හි හෝ වර්ණධාතුවෙක්හි ඇති සුදු පැහැයෙහි නිමිති ගනී යයි කීහෙයින් පෙරපුරුදු ඇති පිනැත්තහුට එවන් මල් පිපී ගිය ගසක් හෝ ඉද්ද සමන් ආදී මල් ඇතිරියක් හෝ කුමුදු, සුදු නෙළුම් ආදී මල් ගොඩක් හෝ සුදු පැහැ පිළියක් හෝ (මකුලු ආදී) ධාතුරාගයක් හෝ යන මේ කිසියම් වස්තුවක් දකිනුවා හා සමගම නිමිති උපදී. ඊයම් මඬුලු, රිදී මඬුලු, සඳමඬුලු යන මේවායෙහිද උපදීමයි. අවශේෂ ජනයා විසින් යටකී ප්‍රකාර ඇති මලින් හෝ සුදු පැහැති පිළියෙන් හෝ ධාතුරාගයෙකින් හෝ නීලකසිණයෙහි කී ලෙසින්ම කසිණය සාදාගෙන, “ඔදාතං ඔදාතං” යනුවෙන් මනස්කාරය පැවැත්විය යුතුය. සෙස්ස එලෙසම වේ. ඔදාත කසිණයයි.
ආලොකකසිණකථා
ආලොක කසිණයෙහිදී වනාහි, “ආලොක කසිණය උගන්නේ බිතු සිදුරෙක්හි හෝ යතුරු කපොල්ලෙක හෝ කවුළු විවරයෙක හෝ දිස්වන ආලෝකයෙහි නිමිතිගනී’ යයි කීහෙයින් පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට බිතු සිදුරු ආදිය අතුරින් යම්කිසිවක් මඟින් සූර්යාලෝකය හෝ චන්‍ද්‍රාලෝකය පිවිස බිත්තියෙක හෝ බිම හෝ යම් මණ්ඩලයක් සැදේද, ගනසරුවට වැඩුණු පත් ඇති රුකෙක අතු අතරින් හෝ ගනසරුවට වැඩුණු අතු ඇති වදුලක් අතරින් හෝ නික්ම බිම මණ්ඩලයක් සැදේද, එය දකිනුවා හා සමගම නිමිති උපදී. අවශේෂ ජනයා විසින් එකී ප්‍රකාර ඇති ආලෝක මණ්ඩලයක්ම “ඔභාසො ඔභාසො” යනුවෙන් හෝ “ආලොකො ආලොකො” යනුවෙන් හෝ වැඩිය යුතුය. එසේ නොහැකි වෙතොත්, කළයක් තුළ පහනක් දල්වා මුවවිට වසා එහි සිදුරක් කොට බිත්තියක් ඉදිරියෙන් තැබිය යුතුය. එම සිදුරෙන් පහන් එළිය නික්ම බිත්තියෙහි මණ්ඩලයක් සැදේ, එය ‘ආලොකො ආලොකො’ යනුවෙන් වැඩිය යුතුය. මෙය සෙසු මණ්ඩලවලට වඩා වැඩි වේලාවක් පවත්නේය. මෙහි උග්ගහනිමිත්ත බිත්තියෙහි හෝ බිම හෝ සෑදෙන මණ්ඩලය හා සමානම වේ, පටිභාග නිමිත්ත ඝන වූ විශේෂයෙන් ප්‍රසන්න වූ ආලෝක පුංජයක් සදිසිම වේ. සෙස්ස යටකී ප්‍රකාරම වේ. ආලෝක කසිණයයි.