නිරොධසමාපත්තිකථා
“නිරෝධ සමාපත්තියට සමවැදීමේ කුශලතාව” (නිරෝධ සමාපත්ති සමාපජ්ජන සමත්‍ථතා) යනු, හුදෙක් ආර්යඵල රසානුභවනය මතු නොවේ; නිරෝධ සමාපත්තියට සමවැදීමේ සමත් බවද මේ ප්‍රඥා භාවනාවෙහි අනුසස් වශයෙන් දතයුතුය.
එහිලා, නිරෝධසමාපත්තිය විස්තර කරනු සඳහා මේ ප්‍රශ්න කිරීමයි:- ‘නිරෝධ සමාපත්ති’ යනු කිමෙක්ද? කවරෙක් එයට සමවදිත්ද? කවරෙක් නොසම වදිත්ද? කොතැනෙක සමවදිත්ද? කවර හෙයින් සමවදිත්ද? එයට සමවැදීම කෙසේවේද? එහි සිටීම කෙසේ වේද? එයින් නැඟීම කෙසේ වේද? නැඟුණහුගේ සිත කුමක් වෙත නැඹුරු වේද? මළහුගේ හා සමවන්නහුගේ විශේෂය (වෙනස) කිමෙක්ද? නිරෝධ සමාපත්තිය සංඛතද? අසංඛතද? ලෞකිකද? ලෝකෝත්තරද? නිෂ්පන්නද? අනිෂ්පන්නද?
එහි, ‘නිරෝධ සමාපත්ති’ යනු කවරේද යත්:- ප්‍රතිපක්‍ෂ ධර්මයන් පිළිවෙළින් නිරුද්ධ කිරීම් වශයෙන් චිත්ත-චෙතසික-ධර්මයන්ගේ නොපැවැත්ම (නිෂ්ක්‍රීය වීම)යි. කවරෙක් එයට සමවදිත්ද? කවරෙක් නොසමවදිත්ද යත්:- පෘථග්ජනයෝද, ශ්‍රෝතාපන්නයෝද සකෘදාගාමීහුද, ශුෂ්ක විදර්ශක වූ අනාගාමීහු හා අර්හත්හුද යන සියල්ලෝම නොසමවදිත්, අෂ්ටසමාපත්තිලාභී වූ අනාගාමීහු හා ක්‍ෂීණාශ්‍රවයෝ සමවදිත්. “සමථබල- විදර්ශනාබල යන දෙකින්ම සමන්විත වූ හෙයින් (කාය, වචී, චිත්ත යන) ත්‍රිවිධ සංස්කාරයන් සන්සිඳුවීමෙන් (මෙහි මතු දැක්වෙන අනිච්චානුපස්සනාදී) ඤාණ චරියා සොළොසකින්ද, (ප්‍රථම ධ්‍යානාදී) සමාධිචරියා නවයෙකින්ද වශීභාවයට පත් ‘ප්‍රඥාව’ නිරෝධ සමාපත්තිය පිළිබඳ ඥානයයි” කියන ලදි. මේ සම්පදාව අෂ්ටසමාපත්ති ලාභී අනාගාමී, ක්‍ෂීණාශ්‍රව යන මොවුනට මිස අන්‍යයනට නැත. එහෙයින් ඔවුන්ම මිස අන්‍යයෝ එයට නොසමවදිති.
මෙහි (සඳහන් කළ) බල දෙක කවරේද? -පෙ- (සංස්කාර තුන, ඤාණ චරියා සොළොස, සමාධි චරියා නවය) -පෙ- වසීභාවතා පඤ්ඤා යනු කිමෙක්ද යත්:- මෙහිලා අප විසින් කිවයුතු කිසිවක් නොමැත; මේ සියල්ල මෙහි ඉහත කී (ද්වීහි බලෙහි සමන්නාගතතත්තා යන ආදී) උද්දේසය විස්තර කිරීමෙහිදී කියන ලද්දේමය. යම්සේ කීහුද:-
බල දෙකින් (ද්වීහි බලෙහි) යනු, සමථ බලය, විපස්සනා බලයයි බල දෙකෙකි; එහි සමථබලය යනු කිමෙක්ද යත් නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිතෙහි ඒකාග්‍රතාව, නොවිසිරුණ ස්වභාවය සමථබලයයි, අව්‍යපාද වශයෙන් -පෙ-, ආලෝක සංඥා වශයෙන් -පෙ-, මිථ්‍යා විතර්ක දුරලීම් අනුව දක්නා ආශ්වාස වශයෙන් -පෙ- මිථ්‍යාවිතර්ක දුරලීම් දක්වා ප්‍රශ්වාස වශයෙන් සිතෙහි ඒකාග්‍රතාව, අවික්‍ෂේපය සමථ බලයයි. සමථය බලයක් වනුයේ කවර අරුතෙන්ද යත්:- ප්‍රථමධ්‍යාන හේතුවෙන් නීවරණ විෂයයෙහි නොසැලෙති’යි යන අරුතින් සමථය බලයක් වේ, ද්විතීය ධ්‍යාන හේතුවෙන් විතක්ක - විචාර විෂයයෙහි -පෙ- නේවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්ති හේතුවෙන් ආකිඤ්චඤ්ඤායතන සංඥා විෂයයෙහි නොසැලෙති’යි යන අරුතින් සමථය බලයක් වේ, උද්ධච්ච විෂයයෙහිද, උද්ධච්ච සහගත කෙලෙසුන් විෂයයෙහිද, ස්කන්‍ධ විෂයයෙහිද, කම්පා නොවෙති’යි, නොසැලෙති’යි, නොවෙවුලති’යි යන අරුතින් සමථය බලයක් වේ. මේ සමථ බලයයි.
විපස්සනා බලය යනු කිමෙක්ද යත්:- අනිච්චානුපස්සනාව විපස්සනා බලයයි, දුක්ඛානුපස්සනාව -පෙ- අනත්තානුපස්සනාව -පෙ-, නිබ්බිදානුපස්සනාව -පෙ- විරාගානුපස්සනාව -පෙ- නිරෝධානුපස්සනාව -පෙ-, පටිනිස්සග්ගානු පස්සනාව විපස්සනා බලයයි. රූපස්කන්‍ධ විෂයයෙහි අනිච්චානුපස්සනාව -පෙ- රූපස්කන්‍ධ විෂයයෙහි පටිනිස්සග්ගානු පස්සනාව විපස්සනා බලයයි. වේදනා විෂයයෙහි -පෙ- සඤ්ඤා විෂයයෙහි -පෙ- සංඛාර විෂයයෙහි -පෙ- විඤ්ඤාණ විෂයයෙහි -පෙ- චක්‍ඛු විෂයයෙහි -පෙ- ජරාමරණ විෂයයෙහි අනිච්චානුපස්සනාව -පෙ- ජරාමරණවිෂයයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විපස්සනා බලයයි. විපස්සනාව බලයක් වනුයේ කවර අරුතෙකින්ද යත්:- අනිච්චානුපස්සනා හේතුවෙන් නිච්ච සඤ්ඤා විෂයයෙහි නො-සැලෙති’යි යන අරුතින් විපස්සනාව බලයක් වේ, දුක්ඛානුපස්සනා හේතුවෙන් සුඛ සඤ්ඤා විෂයයෙහි නොසැලෙති’යි -පෙ-, අනත්තානුපස්සනා හේතුවෙන් අත්ත සඤ්ඤා විෂයයෙහි නොසැලෙති’යි -පෙ- නිබ්බිදානුපස්සනා හේතුවෙන් නන්‍දිරාග විෂයයෙහි නොසැලෙති’යි -පෙ- විරාගානුපස්සනා හේතුවෙන් රාග විෂයයෙහි නොසැලෙති’යි -පෙ- නිරෝධානුපස්සනා හේතුවෙන් සමුදය විෂයයෙහි නොසැලෙති’යි -පෙ-, පටිනිස්සග්ගානුපස්සනා හේතුවෙන් ආදාන විෂයයෙහි නො-සැලෙති’යි යන අරුතින් විපස්සනාව බලයක් වේ; අවිද්‍යා විෂයයෙහිද අවිද්‍යා සහගත ක්ලේශ විෂයයෙහිද, ස්කන්‍ධ විෂයයෙහිද සසල නොවෙති’යි නොසැලෙති’යි, නොවෙවුලති’යි යන අරුතින් විපස්සනාව බලයක් වේ. මේ විපස්සනා බලයයි.
ත්‍රිවිධ සංස්කාරයන් සන්සිඳුවීමෙන් (තිණ්ණං සංඛාරානං පටිප්පස්සද්ධියා) යන මෙහි, කවර නම් සංස්කාරත්‍රයයක් සන්සිඳුවීමද යත්:- ද්විතීය ධ්‍යානයට සමවන්නහුගේ විතක්ක-විචාරයනට අයත් වචී සංඛාරයෝ සන්සිඳුවන ලද්දාහු වෙති; චතුර්ත්‍ථධ්‍යානයට සමවන්නහුගේ ආශ්වාස-ප්‍රශ්වාසයනට අයත් කායසංඛාරයෝ සන්සිඳුවන ලද්දාහු වෙති; සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නහුගේ සඤ්ඤා, වේදනා යන චිත්ත සංඛාරයෝ සංසිඳුවන ලද්දාහු වෙති. මේ ත්‍රිවිධ සංස්කාරයන් සන්සිඳුවීමෙනි.
ඤාණචරියා සොළොසෙකින්ද (සොළසහි ඤාණ චරියාහි) යන මෙහි කවර නම් ඤාණචරියා සොළොසෙකින්ද යත්:- අනිච්චානුපස්සනා ඤාණචරියා, දුක්ඛ-පෙ-, අනන්ත -පෙ-, නිබ්බිදා -පෙ, විරාග -පෙ-, නිරෝධ -පෙ-, පටිනිස්සග්ග -පෙ-, විවට්ටානුපස්සනා ඤාණචරියා, සෝතාපත්ති මග්ග ඤාණචරියා, සෝතාපත්තිඵල සමාපත්ති -පෙ-, සකදාගාමී මග්ග -පෙ-, සකදාගාමි මග්ග -පෙ- අරහත් ඵල සමාපත්ති ඤාණචරියා යන මේ ඤාණචරියා සොළොසෙනි.
සමාධිචරියා නවයෙකින්ද (නවහි සමාධි චරියාහි) යන මෙහි, කවර නම් සමාධිචරියා නවයෙකින්ද යත්:- ප්‍රථම ධ්‍යාන සමාධි චරිය, ද්විතීය ධ්‍යාන -පෙ-, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති සමාධිචරියා හා ප්‍රථම ධ්‍යාන ප්‍රතිලාභය සඳහා විතක්ක විචාර - පීති - සුඛ - ඒකග්ගතා යන මොහුද -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති ප්‍රතිලාභය සඳහා විතක්ක - විචාර - පීති - සුඛ - ඒකග්ගතා යන මොහුදැ’යි යන මේ සමාධිචරියා නවයෙනි.