ඵලසමාපත්තිකථා
‘අරියඵලරසානුභව’ යනු, හුදෙක් කෙලෙසුන් නැසීම මතු නොවේ, ආර්ය ඵල රසානුභවයද පඤ්ඤා භාවනාවෙහි අනුසස් වේ. සෝතාපත්ති ඵලාදී වූ ශ්රාමණ්ය ඵලය ආර්ය ඵලයයි කියනු ලැබේ. එහි රසානුභවය මාර්ග වීථියෙහිදීද, ඵල සමාපත්ති වශයෙන් පැවැත්මෙහිදීදැ’යි දෙ-ආකාරයෙකින් වේ; එහි මාර්ග වීථියෙහි පැවැත්ම දක්වන ලද්දේම වේ.
තවද, යමෙක්, “ඵලය නම් හුදෙක් සංයෝජනයන්ගේ ප්රහාණ මාත්රයයි, අන්කිසිවක් නැතැ’යි කියත්ද, ඒ (ආන්ධ්ර) ආචාර්යවරයන් දැනුවත් කරනු පිණිස මේ සූත්රයද දැක්විය යුතුය:- “ආර්යමාර්ගයෙහි යෙදීමෙන් ලද කෙලෙස් බර මුදාහැරීමේ ප්රඥාව, ඵලය පිළිබඳ ඥානය වනුයේ කෙසේද? සෝවාන් මාර්ගක්ෂණයෙහිදී නිවන් දකිති’යි යන අර්ත්ථයෙන් සම්යග්දෘෂ්ටිය මිථ්යාදෘෂ්ටියෙන් නැඟී සිටියි, එම මිථ්යාදෘෂ්ටියට අනුගතව පවත්නා ක්ලේශයන් හා ස්කන්ධයන් කෙරෙන්ද නැඟී සිටියි, බාහිර වූ සියලු නිමිති කෙරෙන්ද නැඟී සිටියි, සෝවාන් මාර්ගයෙහි යෙදීමෙන් කෙලෙස් බර මුදාහළ හෙයින් සම්යග්දෘෂ්ටිය උපදියි, මේ මාර්ගයෙහි ඵලයයි” යනුවෙන් විස්තර කළයුතුය.
තවද. “ආර්ය මාර්ග සතරද, ශ්රාමණ්ය ඵල සතරදැ’යි යන මේ ධර්මයෝ පමණ කළ නොහැකි අරමුණු ඇත්තාහුය, මහද්ගත ධර්මය (නේවසඤ්ඤානාසඤ්ඤා සමාධිය) පමණ කළ නොහැකි (නිර්වාණ) ධර්මයට අනන්තර ප්රත්යය වශයෙන් ප්රත්යය වේ’’ යන මේ ආදියද මෙහිලා සාධක වේ.
ඵල සමාපත්තියෙහි පැවැත්ම දක්වනු වස් එය පිළිබඳව කරනු ලබන ප්රශ්න කිරීම මෙසේයි:- ‘ඵලසමාපත්ති’ යනු කිම? කවුරු එයට සමවදිත්ද? කවුරු නොසමවදිත්ද? කවර හෙයින් සමවදිත්ද? කෙසේ සමවැදීම වේද? සිටීම කෙසේ වේද? නැඟිටීම කෙසේ වේද? ඵලයට අනන්තර ප්රත්යය වනුයේ කිමෙක්ද? ඵලය අනන්තර ප්රත්යය වනුයේ කුමකටද?
එහි (කා ඵල සමාපත්ති) ඵල සමාපත්ති’ යනු කිමෙක්ද යත්:- ආර්ය ඵල නිරෝධය පිළිබඳ යම් ‘අර්පණාවක්’ (පිහිටීමක්) වේද, එයයි;
(කෙ තං සමාපජ්ජන්ති) කවුරු එයට සමවදිත්ද? කවුරු නොසමවදිත්ද යත්:- සියලු පෘථග්ජනයෝ නොසමවදිති; කවර හෙයින්ද යත්:- අවබෝධ නොකළ හෙයිනි; සියලුම ආර්යයෝ සමවදිති; කවර හෙයින්ද යත්:- අවබෝධ කළ හෙයිනි; ඉහළ ඵලයන්හි සිටියෝ පහළ ඵලයනට නොසමවදිති, කෙලෙස් බර බහා තැබීම එක් එක් පුද්ගලයා විසින් එක් එක් ප්රමාණයට කරන ලද හෙයිනි; පහළ ඵලයන්හි සිටියාහු ඉහළ ඵලයනට නොසමවදිති; අවබෝධ නොකළ හෙයිනි; තමතමාගේ ඵලයටම සමවදිති. මේ මෙහි සනිටුහනයි (නිශ්චයයි)
ඇතැමෙක් වනාහි ශ්රෝතාපන්නයන් හා සකෘදාගාමීන් නොසමවදිතැයිද, උපරිම පල දෙකට පත්වූවන්ම සමවදිතැ’යිද යෙති; (අනාගාමී, අර්හත් යන) මේ දෙදෙනාම පමණක් සමාධි විෂයයෙහි පරිපූරකාරීන් (සම්පූර්ණ කරන්නන්) වෙති’යි යනු එයට (හේතු වශයෙන්) ඔවුන් දක්වන කරුණයි. එහෙත් පෘථග්ජනයා පවා තමා ලැබූ ලෞකික සමාධියට සමවදින හෙයින් එම (ඔවුන් දක්වන) කාරණය අකාරණයක්ම වෙයි. මෙහිලා කාරණා කාරණ සිතීමෙන් ඇති පලය කිම? පෙළෙහිම මෙසේ කියන ලදුයේ නොවේද? “කවර නම් ගෝත්රභූ ධර්ම දශයක් විදර්ශනා වශයෙන් උපදීද? ශ්රෝතාපත්ති - මාර්ග ප්රතිලාභය පිණිස උත්පාදනය (ඉපැදීම) ප්රවෘත්තිය (පැවැත්ම) -පෙ- උපායාසය -පෙ- බාහිර සංස්කාර නිමිත්ත මැඩලති’යි ගෝත්රභූ නමි, ශ්රෝතාපත්ති ඵල සමාපත්තිය පිණිස, සකෘදාගාමි -පෙ- අර්හත් ඵලසමාපත්තිය පිණිස -පෙ- සුඤ්ඤත විහාර සමාපත්තිය පිණිස, අනිමිත්ත විහාර සමාපත්තිය පිණිස, උත්පාදය -පෙ-, බාහිර සංස්කාර නිමිත්ත මැඩලති’යි ගෝත්රභූ නමි.” එහෙයින් සියලුම ආර්යයන් තමතමන්ගේ ඵලයට සමවදිති’යි මෙහිලා නිගමනයට යායුතු වේ.
කවර හෙයින් සමවදිත්ද (කස්මා සමාපජ්ජන්ති?) යත්:- දෘෂ්ටධර්ම - සුඛ විහාර (ඉහාත්මයෙහිම කෙලෙස් පීඩා සන්සිඳුවා සුවසේ වසනු) පිණිසයි. යම්සේ වනාහි, රජෙක් රජ සැපද, දෙවියෝ දිව සැපද අනුභව කෙරෙත්ද, එසේම ආර්යයෝ “ආර්ය වූ ලොවුතුරා සුවය විඳින්නමෝය”යි කාල සීමා පිරිසිඳ (නියම කොට) රිසි රිසි කෙණෙහි පලසමවතට සමවදිත්.
මෙයට (පල සමවතට) සමවැදීම කෙසේ සිදුවේද? එහි පිහිටීම හා එයින් නැඟීම කෙසේ සිදුවේද යත්:- පළමුකොට, දෙ-ආකාරයෙකින් මෙයට සමවැදීම වේ; නිවණ හැර අන් අරමුණක් මෙනෙහි නොකිරීමෙන් හා නිවණම මෙනෙහි කිරීමෙනි. යම්සේ කීහුද:- “ඇවැත්නි, නිමිති රහිත චේතෝවිමුක්තියට සමවැදීම පිණිස ප්රත්යය වන කරුණු දෙකෙකි; සියලු (සංස්කාර) නිමිති මෙනෙහි නොකිරීම හා නිමිති රහිත (නිර්වාණ) ධාතුව මෙනෙහි කිරීමයි’’
මේ වනාහි, එහි සමවැදීමේ ක්රමයයි:- පල සමවතට සමවදිනු කැමැති ආර්යශ්රාවකයා විසින් හුදෙකලාව, විවේකීව, උදයව්යයාදී වශයෙන් සංස්කාරයන් බැලිය යුතුය. එවිට පිළිවෙළින් පවත්වන ලද විදර්ශනා ඇති ඔහුගේ සිත, සංස්කාරයන් අරමුණු කොට ඇති (වෝදාන) ගෝත්රභූ ඥානයට අනතුරුව ඵල සමාපත්ති වශයෙන්, නිරෝධය කෙරෙහි පිහිටයි. ඵල සමාපත්තිය වෙත නැඹුරු වූ හෙයින් මෙහිදී ශෛක්ෂයාහටද මාර්ගය නොව ඵලයම උපදියි.
යමෙක් වනාහි, ශ්රෝතාපන්න පුද්ගලයා “ඵල සමාපත්තියට සමවදිමි”යි විදර්ශනා පිහිටුවා සකෘදාගාමී වෙතැයි සකෘදාගාමී පුද්ගලයාද අනාගාමී වෙතැ’යි කියත්ද, ඔවුනට (ඒ අභයගිරිකයනට), “එසේ වෙතොත්, අනාගාමී පුද්ගලයා රහතකු වියයුතුය, රහත් පුද්ගලයා පසේ බුදු වියයුතුය, පසේබුදුවරයාද සම්මා සම්බුදු වියයුතුය”යි කිවයුතුය. එහෙයින් පාළිනයානුකූලවම (පෙළටම අනුව) ප්රතික්ෂිප්ත වූ මේ කිසිවක් නොගත යුතුය. මෙයම (මෙහි කියන ලද්දම) ගතයුතුය. ශෛක්ෂයාහට වුවද ඵලයම මිස මාර්ගය නො-උපදියි. ඉදින් ඔහු විසින් ප්රථමධ්යානික මාර්ගය අවබෝධ කරන ලද්දේ නම්, ඔහුට ප්රථමධ්යානික ඵලයම උපදියි; ඉදින්, ද්විතීයාදී අන්කිසි ධ්යානයක් අධිගත නම්, ඒ ඒ ධ්යානික ඵලයම වේ. ඵල සමාපත්තියට සමවැදීම මෙසේ වෙයි.