පහාතබ්බධම්මපහානකථා
(ඉහත සඳහන් ගාථාවෙහි) “යෙ යෙන පහාතබ්බා ධම්මා තෙසං පහානඤ්ච” යනු, මෙකී ඥානයන් අතුරෙන් යම් ඥානයෙකින් යම් ක්ලේශ ස්වභාවයක් පහ කළ යුතු වේ නම්, එහි ප්‍රහාණයද දතයුතුය. මේ ඥාන සතර සුදුසු පරිදි සංයෝජන, ක්ලේශ, මිථ්‍යාදෘෂ්ටි ආදිය ලෞකික ස්වභාවය, මාත්සර්ය, විපර්යාස, ග්‍රන්‍ථ, අගති, ආශ්‍රව, ඕඝ, යෝග, නීවරණ, පරාමාස, උපාදාන, අනුසය, මල, අකුසල-කම්මපථ, චිත්තුප්පාද යයි (නොයෙක් නම්වලින්) වහරනු ලබන ස්වභාවයන්ගේ ප්‍රහාණය සිදු කරයි.
එහි, ‘සංයෝජනානි’ යනු, (මේ භවයෙහි වූ) ස්කන්‍ධයන් (මතු භවයෙහි වන) ස්කන්‍ධයන් සමග, නොහොත් කර්මය ඵලය හා සමග, නැතහොත්, සත්‍වයන් සසර දුකින් බැඳලන හෙයින් රූපරාගාදී දශ ස්වභාවයෝ සංයෝජන යන නමින් වහරනු ලබත්. යම්තාක් මේ රූපරාගාදිය පවත්නේද, ඒතාක් මේ ස්කන්‍ධ - ඵල - දුඃඛයන්ගේ නැවැත්මක් නැත. එහිද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච අවිජ්ජා යන මේ පස උසස් භවයන්හි උපදවන ස්කන්‍ධාදිය සංයෝජනය කරන හෙයින් “උද්ධම්භාගිය සංයෝජන” නම් වේ; සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ යන මේ පස රූප-අරූප භවයන්ගෙන් පහළ භවයන්හි ඉපැදවීම සිදු කරන ස්කන්‍ධාදිය සංයෝජනය කරන හෙයින් ඕරම්භාගිය සංයෝජන නම් වේ.
මෙහි, කිලේස යනු, තමාම කිලිටි හෙයින්ද, සම්ප්‍රයුක්ත ධර්මයන් කිලිටි කරන හෙයින්ද, ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, විචිකිත්සා, ටීන, උද්ධච්ච, අහිරික, අනොන්තප්ප යන මේ දස (අකුශල) ධර්මයි.
‘මිච්ඡත්ත’ (මිථ්‍යාභාව) යනු, මිථ්‍යාව පවත්වන හෙයින් මිච්ඡාදිට්ඨි, මිච්ඡා සඞ්කප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා සති, මිච්ඡාසමාධි යන මේ අටයි, නොහොත්, මිච්ඡා විමුත්ති, මිච්ඡා ඤාණ යන දෙක හා සමග දසයක් වේ.
‘ලෝකධම්ම’ යනු, ලෝකය පවත්නා තාක් නොනවත්න ස්වභාව ඇති හෙයින් ලාභ, අලාභ, අයස, යස, සුඛ, දුඃඛ, නින්දා, පසංසා යන මේ අටයි. මෙහි වනාහි කාරණා-උපචාරයෙන් (කාරණය හෙවත් හේතුව සඳහන් කිරීමෙන් කාර්යය හෙවත් ඵලය හැඟවීම මගින්) ලාභ ආදිය වස්තුකොට ඇති අනුනය තෘෂ්ණාවද, අලාභ ආදිය වස්තු කොට ඇති පටිඝයද, මෙසේ ලෝක ධර්ම ග්‍රහණයෙන් ගන්නා ලදැ’යි දතයුතුය.
‘මච්ඡරිය’ යනු, ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභමච්ඡරිය, ධම්ම මච්ඡරිය, වණ්ණ මච්ඡරියයි යන ආවාස ආදිය අනුන්හට පොදු බව නො-ඉවසන ස්වභාවයෙන් පවත්නා මසුරු බවයි.
‘විපල්ලාස’ යනු, අනිත්‍ය, දුඃඛ, අනාත්ම අසුභ වූම වස්තුන් කෙරෙහි නිත්‍යය, සුඛය, ආත්මය, ශුභයයි මෙසේ පවත්නා සංඥා විපර්යාසය, චිත්ත විපර්යාසය, දෘෂ්ටි විපර්යාසය යන මේ තුනයි.
‘ගන්‍ථ’ යනු, නාමකාය යන දෙක එක්කොට ගැට ගසන හෙයින් අභිධ්‍යා ආදී සතරයි; ඒ එසේමැයි, අභිධ්‍යා කාය ග්‍රන්‍ථය, ව්‍යාපාද කාය ග්‍රන්‍ථය, සීලබ්බතපරාමාස කායග්‍රන්‍ථය, ඉදං සච්චාභිනිවේස කාය ග්‍රන්‍ථය යන මේ සතර කියන ලදි.
‘අගති’ යනු, ඡන්‍ද, දෝස, මෝහ, භය යන මේ හේතූන් නිසා නොකළ යුත්තක් කිරීම හා කළයුත්තක් නොකිරීම යන මෙයට අධිවචනයි. ආර්යයන් විසින් එයට නොයායුතු හෙයින් ‘අගති’ යයි කියනු ලැබේ.
‘ආසව’ යනු, අරමුණු වශයෙන් ගෝත්‍රභූ චිත්තය දක්වාද, භවාග්‍රය දක්වාද, වැගිරෙන හෙයින් හා සංවර නොකරන ලද ද්වරයන්ගෙන්, කළයෙක සිදුරුවලින් ජලය මෙන් වැගිරෙන හෙයින් නිරන්තරයෙන් වහනය වෙති’යි යන අර්ත්‍ථයෙන්ද, නොහොත්, සසර දුක් වහනය වන හෙයින්ද, කාමරාග, භවරාග, මිච්ඡාදිට්ඨි, අවිජ්ජා යන මොවුනට අධිවචනයි.
‘ඕඝ’ යනු, සසර සයුර වෙතට ඇදලන අරුතින් හා තරණය කිරීම දුෂ්කරය යන අරුතින් ‘ඕඝ’ යයි, ‘යෝග’ යනු, ආලම්බන වියෝගයටද දුඃඛ වියෝගයටද ඉඩ නොදෙන හෙයින් යෝග යයිද එම ආශ්‍රවයනටම අධිවචනයි.
‘නීවරණ’ යනු, (කුශල නොහොත් ධ්‍යාන) චිත්තය අවුරන, වසන් කරන, මුවහ කරන අරුතින් කාමච්ඡන්‍ද ආදී පසයි.
‘පරාමාස’ යනු, ඒ ඒ ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය ඉක්මවා, විපරීත ලෙසින්, නැති ස්වභාවයක් දැඩිව අල්වා ගැනීමේ ආකාරයෙන් පවත්නා හෙයින් මිථ්‍යාදෘෂ්ටියට මේ අධිවචනයි.
‘උපාදාන’ යනු, යට පටිච්චසමුප්පාද (පඤ්ඤාභූමි) නිද්දේසයෙහි සියලු ආකාරයෙන් විස්තර කරන ලද කාමූපාදානාදී (උපාදාන) සතරයි.
‘අනුසය’ යනු, බලවත් බවට පත්වූයේ යන අර්ත්‍ථයෙන් කාමරාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග, අවිජ්ජා යන අනුසය සතයි. ඔහු වනාහි බලවත් බවට ගිය හෙයින් නැවත නැවතත් කාමරාග ආදිය ඉපැදීමට හේතුවන බැවින් ‘අනුව හොවිත’යි යන අරුතින් ‘අනුසය’ නම් වෙති.
‘මල’ යනු, තෙල් අඳුන් කලල් සෙයින් තමාද අපිරිසුදුව මෙරමාද අපිරිසුදු කරවන බැවින් ලෝභ, ද්වේෂ, මෝහ යන තුනයි.
‘අකුසල කම්මපථ’ යනු, අකුශල කර්ම වන බැවින්ද, දුර්ගතියට මාර්ග වන බැවින්ද, පාණාතිපාතය, අදින්නාදානය, කාමේසුමිච්ඡාචාරය, මුසාවාදය, පිසුණා වාචාය, ඵරුසා වාචාය, සම්ඵප්පලාපය, අභිජ්ඣාය, ව්‍යාපාදය, මිච්ඡාදිට්ඨිය යන මේ දශයයි.
‘අකුසල චිත්තුප්පාද’ යනු, ලෝභ මූලික අටය, දෝස මූලික දෙකය, මෝහ මූලික දෙකය යන මේ දොළොසයි.
මෙසේ මේ මාර්ගඥාන සතර, මෙකී සංයෝජනාදී වූ අකුශල ධර්මයන් යෙදෙන පරිදි ප්‍රහීණ කරයි; කෙසේද යත්:- පළමුකොට සංයෝජනයන් අතුරෙන් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුනද, අපායට පැමිණවිය හැකි කාමරාග, පටිඝ යන දෙකදැ’යි යන මේ සංයෝජන පස ප්‍රථම මාර්ගඥානයෙන් නැසිය යුතුවේ. ඕළාරික වූ සෙසු (අපායගමනීය නොවන) කාමරාගය හා පටිඝය ද්විතීය මාර්ගඥානයෙන් නැසිය යුතුවේ. සියුම් වූ කාමරාගය හා පටිඝය තෘතීය මාර්ගඥානයෙන් නැසිය යුතුවේ. රූපරාග ආදී ඉතිරි සංයෝජන පස චතුර්ත්‍ථ මාර්ගඥානයෙන්ම නැසිය යුතුවේ. මතුවටද යම් යම් තැනෙක්හි ‘ඒව’ යනුවෙන් අවධාරණය නොකරන්නමෝද, ඒ ඒ තන්හි යම් යම් (ක්ලේශාදියක්) උසස් වූ (දෙවන, තුන්වන, සිවුවන) මාර්ගඥානයන් මගින් නැසිය යුතුයයි කියන්නමෝද, ඒ ඒ (ක්ලේශ ස්වභාවය) පූර්ව මාර්ගඥානයන් මගින් නසන ලද අපාය ගාමනීයාදිභාවය ඇතිවම ‘උපරිඤාණවජ්ඣ’ (උසස් මාර්ග ඥානයන් මගින් නැසිය යුතු) වෙතැ’යි දතයුතුය.
ක්ලේශයන් අතුරෙන් දිට්ඨි, විචිකිච්ඡා යන දෙක ප්‍රථම ඥානයෙන් නැසිය යුතුවේ, ද්වේෂය තෘතීය මාර්ගඥානයෙන් නැසිය යුතුවේ, ලෝභ, මෝහ, මාන, ථීන, උද්ධච්ච, අහිරික, අනොන්තප්ප යන සත චතුර්ත්‍ථ මාර්ග ඥානයෙන් නැසිය යුතු වේ.