පරිඤ්ඤාදිකිච්චකථා
කිච්චානි පරිඤ්ඤාදීනි යානි වුත්තානි අභිසමයකාලෙ
තානි ච යථා සභාවෙන ජානිතබ්බානි සබ්බානී’ති.
සත්‍යාවබෝධන කාලයෙහිදී කළයුතු ‘පරිඤ්ඤා’ ආදී වූ යම් කෘත්‍යයක් කියන ලද්දේද, ඒ සියල්ල තත් වූ ස්වභාවයෙන් දතයුතුය.
සත්‍යාභිසමය කාලයෙහිදී සතර මාර්ගඥානයන්ගෙන් එක් එක් ඥානයට එකවිටම කළයුතු පරිඤ්ඤාය, පහානය, සච්ඡිකිරියාය, භාවනාය යන මේ කෘත්‍යයන් සතරක් සතරක් බැගින් කියන ලද්දේද, ඒ සතර යථා ස්වභාවයෙන් දතයුතුය. කියන ලද මැයි පුරාණාචාර්යයන් විසින්:-
“යම්සේ පහනක් පෙර-පසු නොව එක්විටම කෘත්‍යයන් සතරක් කරයිද, එනම්: වැටිය දවාද අඳුර නසාද, ආලෝකය පතුරුවාද, තෙල් දවාද, එසේම මාර්ගඥානය පෙරපසු නොව එක්විටම සත්‍යයන් සතර අවබෝධ කරයි, පරිඤ්ඤාභිසමය (පිරිසිඳ දැනීම්) වශයෙන් දුඃඛ සත්‍යය අවබෝධ කරයි, ප්‍රහාණාභිසමය වශයෙන් සමුදය සත්‍යය අවබෝධ කරයි. සච්ඡිකිරියා (සාක්‍ෂාත් කරණ) වශයෙන් නිරෝධ සත්‍යය අවබෝධ කරයි, භාවනාභිසමය වශයෙන් මාර්ග සත්‍යය අවබෝධ කරයි. කුමක් කී නිසාද? නිර්වාණය අරමුණු කොට සත්‍යයන් සතරටම පැමිණෙයි, සතරම දකියි, සතරම ප්‍රතිවේධ කරයි යන මෙයයි.
මෙසේ කියන ලදි:- “මහණෙනි, යමෙක් දුක දකීද, හේ තෙමේ දුකට හේතුවද දකී, දුක නැති කිරීමද දකී, දුක නැති කිරීමේ මාර්ගයද දකී” යන මේ සියල්ල දතයුතුය.
අනෙකක් ද කියනලදි. “මාර්ගයෙන් යුක්ත වූවහුට යම් ඥානයක් වේ නම්, එය දුක පිළිබඳ ඥානය ද වේ, දුක් හේතුව පිළිබඳ ඥානය ද වේ, දුක් කෙළවර කිරීමේ ඥානය ද, වේ. දුක් නැති කිරීමේ මාර්ග ප්‍රතිපදාව පිළිබඳ ඥානය ද වේ.
එහි, යම්සේ පහන වැටිය දවාද, එසේම මාර්ගඥානය දුක පිරිසිඳ දනියි; යම්සේ අඳුර දුරු කරයිද, එසේම සමුදයය පහ කරයි, යම්සේ ආලෝකය පතුරුවාද, එසේම සහජාත ආදී වශයෙන් ප්‍රත්‍යය වන හෙයින් සම්මා සඞ්කප්පවාදී ධර්ම සංඛ්‍යාත මාර්ගය වඩයි; යම්සේ තෙල් දවාලයිද, එසේම කෙලෙසුන් ක්‍ෂය කරන නිරෝධය සාක්‍ෂාත් කරයි. මෙසේ මෙහි උපමා-උපමේය සංසන්‍දනය දතයුතුය.
තවද ක්‍රමයෙකි:- “යම්සේ සූර්යයා උදා වෙමින්ම පෙර පසු නොව කෘත්‍යයන් සතරක් කෙරේද, එනම්, රූපගත වූ සියල්ල ප්‍රකට කරවාද, අඳුර නසාද, ආලෝකය පතුරුවාද, ශීතය මැඩලාද, එසේම මාර්ග ඥානය -පෙ- සච්ඡිකිරියාභිසමය වශයෙන් නිර්වාණය අවබෝධ කරයි. මෙහිදීද යම්සේ සූර්යයා රූපගත වස්තූන් ප්‍රකට කෙරේද, එසේම මාර්ගඥානය දුක පිරිසිඳ දනියි; යම්සේ අඳුර දුරලාද, එසේම සමුදයය පහ කරයි; යම්සේ ආලෝකය පතුරුවාද, එසේම සහජාතාදී ප්‍රත්‍යය වශයෙන් මාර්ගය වඩවයි; යම්සේ ශීතය වැඩලාද. එසේම කෙලෙසුන් දුරු කරන නිරෝධය සාක්‍ෂාත් කරයි - යනුවෙන් උපමා සංසන්‍දනය දතයුතුය.
තවද ක්‍රමයෙකි:- යම් සේ නැවක් පෙර-පසු නොව එක් විට කාර්යයන් සතරක් කරයිද, එනම්: මෙතෙර හරිද, සැඩ පහර සිඳීද, භාණ්ඩ ප්‍රවාහනය කරාද, එතෙරට පමුණුවාද, එසේ මාර්ගඥානය -පෙ සච්ඡිකිරියාභිසමයයෙන් නිවන් අවබෝධ කරවයි; මෙහිදිද, යම්සේ නැව මෙතෙර හරිද, එසේම මාර්ගඥානය දුක මැනවින් පිරිසිඳ දනියි, යසේ සැඬ පහර සිඳීද, එසේම සමුදයය හරියි, යම් සේ භාණ්ඩ ප්‍රවාහනය කෙරේද, එසේම සහජාත ආදී ප්‍රත්‍යය භාවයෙන් මාර්ගය වඩවයි. යසේ පරස්පෙරට පමුණුවාද, එසේම සසරින් එතර නිර්වාණය සාක්‍ෂාත් කරවයි, යනුවෙන් උපමා සංසන්දනය දතයුතුය.
මෙසේ සත්‍යාවබෝධ කාලයෙහිදී එකවිට කෘත්‍යයන් සතරක් වශයෙන් පැවති මේ ඥානයට චතුඃසත්‍යය තථ්‍යාර්ථයෙන් (ඇති සැටියෙන්) සොළොස් ආකාරයෙකින් ඒක පටිවේධ (එකවිට අවබෝධ කිරීම) වේ. යම්සේ කීහුද:-
තථ්‍යාර්ත්‍ථයෙන් චතුඃසත්‍යය ඒකපටිවේධ වනුයේ කෙසේද? තථ්‍යාර්ත්‍ථයෙන් චතුඃසත්‍යය සොළොස් ආකාරයෙකින් ඒකපටිවේධ වේ; දුඃඛය පිළිබඳ පෙළීමේ අර්ත්‍ථය, සඞ්ඛත (ස්කන්‍ධයන්ගේ සංස්කාරභාවය) අර්ත්‍ථය, සන්තාප (තැවීමේ) අර්ත්‍ථය, විපරිණාම (වෙනස් වීමේ) අර්ත්‍ථය යන මේ තථ්‍යාර්ත්‍ථයි; සමුදයය පිළිබඳ ආයූහන (රැස් කිරීම) අර්ත්‍ථය, නිදාන (හේතුව) අර්ත්‍ථය, සංයෝග (දුඃඛය හා සමග බැඳී සිටීම) අර්ත්‍ථය, පළිබෝධාර්ත්‍ථය යන මේ තථ්‍යාර්ත්‍ථයි; නිරෝධය පිළිබඳ නිස්සරණ (සසරින් නික්මීම) අර්ත්‍ථය, විවේක (ලෞකිකත්‍වයෙන් වෙන්වීම) අර්ත්‍ථය, අසඞ්ඛත (සංස්කාර නොවීම) අර්ත්‍ථය, අමෘත (නොනැසීම) අර්ත්‍ථය යන මේ තථ්‍යාර්ත්‍ථයි. මාර්ගය පිළිබඳ නිර්යාන (සසරින් නික්මවීම) අර්ත්‍ථය, හේතු (සසරින් එතෙරවීමට හේතුවීමේ) අර්ත්‍ථය, දර්ශන (ඇතිතතු දැකීම) අර්ත්‍ථය, ආධිපත්‍ය (මුඛ්‍ය වීම) අර්ත්‍ථය යන මේ තථ්‍යාර්ත්‍ථයි. මෙම සොළොස් ආකාරයෙන් චතුඃසත්‍යය ඒක සංගෘහිත (එකක් ලෙස සංග්‍රහ වීම) වේ. යමක් ඒක සංගෘහීත වේද, එය ඒකත්‍වයද වේ. එක් ඥානයෙකින් ප්‍රතිවේධ කෙරෙති’යි චතුඃසත්‍යය ‘ඒක පටිවේධ’ නම් වේ.
එහිලා චෝදනාවක් (ප්‍රශ්නයක්) පැන නැඟිය හැකිය:- දුඃඛ ආදිය පිළිබඳ රෝග, ගණ්ඩ ආදී අන් අරුත් ද ඇත. එසේ නම්, කවර හෙයින් සතරක්ම කියන ලද්දේද? මෙහි (පරිහාරය) කියමු: සමුදය ආදී සෙසු සත්‍යයන් දැකීම් වශයෙන් ප්‍රකට වන හෙයිනි. එහි ‘දුක්‍ඛෙ ඤාණං’ (දුක පිළිබඳ ඥානය) යනු කිමෙක්ද? “දුක අරබයා යම් ප්‍රඥාවක්, මනා දැනුමක් උපදීද” යන ආදී වශයෙන් හා එක් එක් සත්‍යයට අරමුණු වීම් වශයෙන් ද සත්‍යයන් පිළිබඳ ඥානය කියන ලදි. “මහණෙනි, යමෙක් දුක දකීද, හේ සමුදයය (දුකට හේතුව) ද දකියි” යන ආදී නයින් එක් එක් සත්‍යයක් අරමුණු කොට සෙසු සත්‍යයන් කෙරෙහිද කෘත්‍ය නිෂ්පත්ති (කාර්ය සාධන) වශයෙන් කියන ලදි.
එහි, එක් එක් සත්‍යය අරමුණු කරන කල්හි, පළමුකොට, සමුදය සත්‍යය දැකීමෙන් ස්වභාව වශයෙන් පීඩන ලක්‍ෂණ ඇති දුක ආයුහන ලක්‍ෂණ ඇති සමුදයය විසින් එක් කරන ලදැ’යි, සකස් කරන ලදැ’යි, රැස් කරන ලදැ’යි, එසේ හෙයින් එය (දුක) පිළිබඳ සංඛතාර්ත්‍ථය ප්‍රකට වේ. යම්හෙයකින් වනාහි මාර්ගය කෙලෙස් සන්තාපය දුරු කරනුයේ සිහිල් ගුණ ඇත්තේ වේද, එහෙයින් මාර්ග දර්ශනයෙන් එම දුක පිළිබඳ සන්තාප අර්ත්‍ථය ප්‍රකට වේ. ආයුෂ්මත් නන්‍ද තෙරුන්හට දිව්‍යප්සරාවන් දැකීමෙන් සුන්දරිය (ජනපද කල්‍යාණිය)ගේ අනභිරූපභාවය වැටහීම මෙනි. අවිපරිණාම ස්වභාවය ඇති නිරෝධය එම දුක පිළිබඳ විපරිණාමාර්ත්‍ථය ප්‍රකට වෙති’යි යනු කිවයුතු නොවේ.