වුට්ඨානබලසමායොගකථා
ඉහත සඳහන් “පරිපුණ්ණ...’’ ආදි ගාථා යුගලයෙහි, “වුට්ඨානබල සමායොගො” යනු, ව්යුත්ථානයෙන් (නැඟීමෙන් හා (සමථ-විදර්ශනා) බලයෙන් යුක්ත වීමයි; ලෞකික විපස්සනාව වූකලී, (සංස්කාර) නිමිත්ත අරමුණු කොට ඇති හෙයින්ද, (ප්රවෘත්ති කාරණ (පැවැත්මට හේතු) වූ සමුදයය නොසිඳින ලද හෙයින්ද, නිමිත්තෙන් හෝ (විපාක) ප්රවෘත්තියෙන් නොනැඟේ. ගෝත්රභූ ඤාණය සමුදයය නොසිඳීමේ හේතුවෙන් (විපාක) ප්රවෘත්තියෙන් නොනැඟේ, එහෙත් නිර්වාණය අරමුණු කොට ඇති හෙයින් නිමිත්තෙන් නැඟෙති’යි “ඒකතො වුට්ඨානය” (එකෙකින් නැඟීම) වේ. එහෙයින් කීහු:- බාහිර වූ (සංස්කාරයන්ගෙන්) නැඟීමයයි කියනු ලබන විවර්තනය (පෙරලීම) පිළිබඳ ප්රඥාව ගෝත්රභූ ඤාණයයි” එසේම “උත්පාදයෙන් පෙරළී අනුත්පාදයට (නිවණට) වදිති”යිද, පැවැත්මෙන් පෙරලී (නොපැවැත්මට වදිති’යිද) ගෝත්රභූ නම් වෙති’යි යනුවෙන් (පෙරකී නයින්) සියල්ල දතයුතුය. මේ මාර්ගඥාන සතර වනාහි අනිමිත්ත (නිවණ) අරමුණු කොට ඇති හෙයින් නිමිත්තෙන්ද සමුදය සමුච්ඡේද කරන හෙයින් පැවැත්මෙන්ද නැඟෙති’යි ‘දුභතො වුට්ඨාන’ (නිමිත්ත, පවත්ත යන දෙකින්ම නැඟීම) නම් වේ.
එහෙයින් කියන ලදි:-
“දුභතෝවුට්ඨාන වශයෙන් විවට්ටන (පෙරලීම්) විෂයයෙහි ප්රඥාව මාර්ගඥානය වනුයේ කෙසේද?
සෝවාන් මාර්ගක්ෂණයෙහි (චතුරාර්යසත්යය) දකිති’යි යන අර්ත්ථයෙන් සම්යග්දෘෂ්ටිය මිථ්යාදෘෂ්ටියෙන් නැඟෙයි; එම මිථ්යාදෘෂ්ටියට අනුගත ක්ලේශයන්ගෙන්ද, ස්කන්ධයන්ගෙන්ද නැඟෙයි; බාහිර නිමිති සියල්ලෙන්ද නැඟෙයි; එහෙයින් ‘දූභතෝවුට්ඨාන විවට්ටනයෙහි (නිමිත්ත, පවත්ත යන දෙකින්ම නැඟීම යයි කියනු ලබන විවර්තනයෙහි (හෙවත් පෙරළීමෙහි) ප්රඥාව මාර්ග විෂයයෙහි ඥානයයි කියනු ලැබේ.” යනුවෙනි. (අභිනිරෝපනට්ඨෙන) (නිවණ කරා) යොමු කරති’යි යන අර්ත්ථයෙන් සම්මා සංකප්පය මිච්ඡා සංකප්පයෙන්ද -පෙ-, (පරිග්ගහට්ඨෙන) මනා කොට ගනිති’යි යන අර්ත්ථයෙන් සම්මාවාචා - මිච්ඡා වාචාවෙන්ද -පෙ- (සමුට්ඨානට්ඨෙන) මනාකොට නැඟටුවති’යි යන අර්ත්ථයෙන් සම්මා කම්මන්තය -පෙ-, (වොදානට්ඨෙන) පිරිසුදු කරති’යි යන අර්ත්ථයෙන් සම්මා ආජීවය -පෙ-, (පග්ගහට්ඨෙන) වීර්ය කෙරෙති’යි යන අර්ත්ථයෙන් සම්මා වායාමය -පෙ-, (උපට්ඨානට්ඨෙන) එළඹ සිටිති’යි යන අර්ත්ථයෙන් සම්මාසතිය -පෙ-, (අවික්ඛේපනට්ඨෙන) ඒ මේ අත නොවිසිරෙති’යි යන අර්ත්ථයෙන් සම්මා සමාධිය මිථ්යා සමාධියෙන්ද නැඟී සිටියි; එයට අනුගතව පවත්නා ක්ලේශයන් කෙරෙන්ද, ස්කන්ධයන් කෙරෙන්ද, නැඟී සිටියි, බාහිර වූ සියලු නිමිත්තයන් කෙරෙන්ද නැඟී සිටියි; එහෙයින් දුභතො වුට්ඨාන වශයෙන් විවර්තන (පෙරළීමේ) ප්රඥාව මාර්ගය පිළිබඳ ඥානයයි කියනු ලැබේ.
සකෘදාගාමී මාර්ගක්ෂණයෙහිදීද දර්ශනාර්ත්ථයෙන් සම්මාදිට්ඨිය -පෙ-, අවික්ෂේපාර්ත්ථයෙන් සම්මා සමාධිය ඕළාරික වූ කාමරාග සංයෝජනයෙන්ද, පටිඝ සංයෝජනයෙන්ද, ඕළාරික වූ කාමරාග අනුසයයෙන්ද, පටිඝානුසයයෙන්ද නැඟෙයි -පෙ-,
අනාගාමිමාර්ගක්ෂණයෙහිදීද, දර්ශනාර්ත්ථයෙන් සම්යග්දෘෂ්ටිය -පෙ-, අවික්ෂේපාර්ත්ථයෙන් සම්මා සමාධිය, අනුසහගත (ශේෂ) වූ කාමරාග සංයෝජනයෙන්ද, පටිඝ සංයෝජනයෙන්ද, අනුසහගත වූ කාමරාග අනුසයයෙන්ද, පටිඝ අනුසයයෙන්ද නැඟෙයි -පෙ-,
අර්හත් මාර්ගක්ෂණයෙහිදීද, දර්ශනාර්ත්ථයෙන් සම්මා දිට්ඨිය -පෙ, අවික්ෂේපාර්ත්ථයෙන් සම්මා සමාධිය රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන මෙයින්ද, නැඟෙයි; එම අනුසයයන් අනුව පවත්නා ක්ලේශයන්ගෙන්ද, ස්කන්ධයන් කෙරෙන්ද නැඟෙයි; බාහිර වූ සියලු නිමිත්තයන් කෙරෙන්ද නැඟෙයි; එහෙයින් දූභතෝ වුට්ඨාන වශයෙන් නිවර්තනයේ (පෙරළීමේ) ප්රඥාව මාර්ග විෂයයෙහි ඥාන’ යයි කියනු ලැබේ.
ලෞකික වූ අෂ්ට සමාපත්තීන් වඩන කල සමථ බලය අධික වේ; අනිච්චානුපස්සනා ආදිය වඩන කල විදර්ශනා බලය අධික වේ. ආර්ය මාර්ග ක්ෂණයෙහි වනාහි එම සමථ-විපස්සනා දෙක එකිනෙක නො-ඉක්මවති’යි යන අර්ත්ථයෙන් යුගනද්ධ (වියගසෙහි බැඳි ගොනුන් සෙයින් සමසේ බැඳී) පවතී. එහෙයින් මේ ඥාන සතරෙහිදීම උභය බල සමායෝගය (සමථ-විපස්සනා යන දෙක සමබලව යෙදීම) වේ. එහෙයින් කියනලදි:-
“උද්ධච්චය සහිත ක්ලේශයන් කෙරෙන්ද, ස්කන්ධයන් කෙරෙන්ද නැගෙන්නහුගේ සිතෙහි, ඒකාග්රතාව, අවික්ෂේපය (නොවිසිරුණු බව), සමාධිය නිරෝධය (නිවණ) වෙතට යොමුව පවතී; අවිද්යා සහගත ක්ලේශයන් කෙරෙන්ද ස්කන්ධයන් කෙරෙන්ද නැගෙන්නහුගේ විදර්ශනාව අනුදර්ශන (අනුව බලන) අර්ත්ථයෙන් නිරෝධය වෙතට යොමුව පවතී; මෙසේ වුට්ඨාන (නැඟී සිටීමේ) අර්ත්ථයෙන් සමථ-විපස්සනා යන දෙක සමාන කෘත්ය සහිත වේ, යුගනද්ධ (වියගසෙහි බැඳි ගොනුන් සේ) වේ, එකිනෙක නො-ඉක්මවයි; එහෙයින් ව්යුත්ථානාර්ත්ථයෙන් සමථ විපස්සනා යන දෙක යුගනද්ධයන් සෙයින් වඩති’යි කියනු ලැබේ.