පඨමමග්ගඤාණකථා
මෙයින් (පටිපදා ඤාණදස්සනවිසුද්ධියෙන්) අනතුරුව ගෝත්‍රභූ ඤාණය වේ. එය ආර්ය මාර්ගය ආවර්ජනය කරන ස්ථානයෙහි සිටි හෙයින් පටිපදා ඤාණදස්සන විසුද්ධිය හෝ ඤාණ දස්සන විසුද්ධිය භජනය නොකෙරේ (එම විසුද්ධීන් දෙකට) අතරින් සිටියේ අව්‍යවහාරික (නිර්වචන කළ නොහැකි)ම වේ. විදර්ශනා ප්‍රවාහයට වැටුණ හෙයින් විදර්ශනා සංඛ්‍යාවට යෙයි. සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අර්හත් මාර්ගයයි යන මේ මාර්ග සතර පිළිබඳ වූ ඥානය ‘ඤාණදස්සන විසුද්ධි’ නම්වේ.
මෙකී මාර්ගයන් අතුරෙන් පළමුකොට ප්‍රථම මාර්ගඥානය සපයනු කැමැත්තහු විසින් කළ යුතු අන් කිසිවක් නැති; ඔහු විසින් කළයුතු දෙයක් වී නම් එය අනුලෝමාවසානයෙහි වූ විදර්ශනාව උපදවමින් කරන ලද්දේම වේ. මෙසේ උපන් අනුලෝම ඤාණ ඇති ඔහුගේ (ඒ යෝගාවචරයාගේ), එම ත්‍රිවිධවූම අනුලෝම ඤාණයෙන්, සත්‍යයන් වසා ගෙන සිටි අතිමහත් මෝහාන්‍ධකාරය, ස්ව-ශක්ති ප්‍රමාණයෙන් අතුරුදහන් කළ කල්හි සකලවිධ සංස්කාර ධර්ම විෂයයෙහි සිත නොවදියි, නොසිටියි, නො- ඇලෙයි, නොරැඳෙයි, නොලැගෙයි, නොබැඳෙයි; නෙළුම් කොලයෙහි දිය මෙන් හැකිලෙයි, හැකිලෙයි, ලිහිසයි; සියලු නිමිත්තාරම්මණයද, සියලු පවත්තාරම්මණයද පළිබෝධ වශයෙන් වැටහෙයි. ඉක්බිති ඔහුට සියලු නිමිත්ත ආරම්මණය හා පවත්ත ආරම්මණය පළිබෝධ සෙයින් වැටහුණු කල්හි, අනුලෝම ඤාණය ආසේවන ප්‍රත්‍යය වශයෙන් පිහිටි පසු, නිමිති රහිත, පැවතුම් රහිත, සංස්කාර විරහිත නිරෝධ සංඛ්‍යාත නිර්වාණය අරමුණු කෙරෙමින්, පෘථග්ජන ගෝත්‍රය, පෘථග්ජන සංඛ්‍යාව (ව්‍යවහාරය), පෘථග්ජන භූමිය ඉක්මවමින්, ආර්යගෝත්‍රයට ආර්ය සංඛ්‍යාවට, ආර්යභූමියට අවතීර්ණ වෙමින්. නිර්වාණාලම්බනය වෙතට ප්‍රථම ආවර්තනය (නැඹුරු වීම) වූ ප්‍රථමාවර්ජනය වූ, ප්‍රථම සමන්නාහාර (යොමු වීම) වූ, මාර්ගයට අනන්තර, සමනන්තර. ආසේවන, උපනිස්සය, නත්‍ථි, විගත යන ෂඩ් - ආකාරයෙන් ප්‍රත්‍යයභාවය සිද්ධ කරන, මුදුන් පත්වූ විදර්ශනාවෙහි අග්‍රඵලය වූ, පෙරළා නොයන ගෝත්‍රභූ ඤාණය උපදියි.
එම ගෝත්‍රභූ ඤාණය සඳහා කියන ලදි:-
(අසංඛත ධාතුවෙන් හෙවත් නිර්වාණයෙන්) බාහිර වූ (සංස්කාරයන් කෙරෙන්) නැඟී සිටීමේ හා ඉවත්ව සිටීමේ ප්‍රඥාව ගෝත්‍රභූ ඤාණය වනුයේ කෙසේද? උත්පාදය මැඩලති’යි ගෝත්‍රභූ නමි, පැවැත්ම -පෙ- උපායාසය මැඩලති’යි ගෝත්‍රභූ නමි, බාහිර සංස්කාර නිමිත්ත මැඩලති’යි ගෝත්‍රභූ නමි. අනුත්පාදයට පිවිසෙති’යි ගෝත්‍රභූ නමි, නොපැවැත්ම -පෙ- උපායාස නොවන බවට, නිරෝධයට, නිර්වාණයට පිවිසෙති’යි ගෝත්‍රභූ නමි. උත්පාදය මැඩලා අනුත්පාදයට පිවිසෙති’යි ගෝත්‍රභූ නමි.” යනුවෙන් සියල්ල විස්තර කළ යුතුය.
එහිලා එක් ආවර්ජනයෙකින් එක් වීථියෙක්හි පවත්නා වූද අනුලෝම, ගෝත්‍රභූ යන ඥානද්වයය විවිධ අරමුණෙහි පවත්නා ආකාරය දැක්වෙන උපමාවෙකි මේ:- යම්සේ වනාහි, මහ ඇ‌ළෙකින් පැන එතෙර වනු කැමැති පුරුෂයෙක් තෙමේ, වේගයෙන් දුවවිත් ඇළෙහි මෙතෙර ඇති ගසෙක අත්තෙක බඳින ලදුව එල්බෙන රැහැනක් හෝ රිටක් අල්වාගෙන ඇළට උඩින් පැන එතෙරට නැඹුරු වූ, ප්‍රවණ වූ, බරවූ සිරුරු ඇතිව පරතෙර මතට පැමිණියේ, රැහැන හෝ රිට හැර වෙවුලමින් එතෙරට බැස සෙමින් සිටියිද, එසේම මේ යෝගාවචරයාද භව, යෝනි, ගති, ස්ථිති. සත්‍වාවාස යන මේවායෙන් එතෙර ඇති නිර්වාණයෙහි පිහිටනු කැමැතිව, උදයබ්බයානුපස්සනා ආදිය කරණකොට වේගයෙන් අවුත්, ආත්මභාව නමැති රුකෙහි, අත්තෙක එල්බෙන රූපස්කන්‍ධ නමැති රැහැන හෝ වේදනාදිය නමැති එක්තරා රිටක් හෝ “අනිත්‍යය”යි හෝ, දුඃඛය”යි හෝ, “අනාත්මය”යි හෝ අනුලෝම ආවර්ජන වශයෙන් අල්වාගෙන, එය නොහරිමින්ම, පළමුවන අනුලෝම චිත්තය කරණ කොට එතෙරට පැන, දෙවැන්න කරණ කොට එතෙරට නැඹුරුවූ, ප්‍රවණ වූ, බරවූ සිරුරු ඇතිව මෙන් නිර්වාණය වෙතට නැඹුරුවූ, ප්‍රවණ වූ, බර වූ සිත් ඇතිව, තුන්වැන්න කරණ කොට, එගොඩ මත්තට පැමිණ මෙන්, ඉක්බිතිව පැමිණිය යුතු නිර්වාණය වෙත ළංව, එම (තුන්වන අනුලෝම) චිත්තය නිරුද්ධ වීමත් සමග එම සඞ්ඛාරාරම්මණය හැර පියා ගෝත්‍රභූ චිත්තය කරණ කොට පරතෙර වැනි විසඞ්ඛාර සංඛ්‍යාත නිර්වාණ භූමියෙහි පිහිටයි; එක්ම අරමුණෙක ආසේවනය නොලද බැවින්, වෙවුලමින් සිටින ඒ පුරුෂයා මෙන්, තවමත් මැනවින් නොපිහිටියේ වේ; අනතුරුව මාර්ගඥානයෙන් මැනවින් පිහිටයි.
එහි, අනුලෝම චිත්තය සත්‍යයන් වසන්කොට සිටි ක්ලෙශාන්‍ධකාරය විදහාලන්නට සමත් වන මුත්, නිවන අරමුණු කරන්නට පොහොසත් නොවේ; ගෝත්‍රභූ චිත්තය නිවන අරමුණු කරන්නටම මුත් සත්‍යයන් මුවහ කොට සිටින ක්ලේශාන්‍ධකාරය දුරලන්නට නොහැක්කේ වේ. එහිලා මේ උපමායි:- එක්තරා ඇස් ඇති පුරුෂයෙක් තෙමේ නක්‍ෂත්‍ර යෝගයක් දන්නෙමි’යි රාත්‍රි කාලයෙහි නික්ම සඳ දකිනු පිණිස උඩ බැලී, එය වළාකුළින් වැසී තිබුණ හෙයින් ඔහුට නොපෙනිණි, අනතුරුව සුළඟක් නැගී මහත් මහත් වළාකුළු විදහාලීය, තවත් සුළඟක් නැගී මධ්‍යම ප්‍රමාණයේ වළාකුළුද තෙවන සුළඟක් නැඟී සියුම් වළාකුළුද පැලවීය. ඉක්බිති ඒ පුරුෂයා පහවූ වළාකුල් සහිත අහසෙහි සඳ දැක නක්‍ෂත්‍රයෝගය දත්තේය.