සොතාපන්නපුග්ගලකථා
මේ ඥානයට අනතුරුව එහිම විපාක වූ ඵල-සිත් දෙකක් හෝ තුනක් උපදියි. ලෝකෝත්තර කුශලයන් අනතුරු (අතරක් නැතිව වහා පල දෙන) විපාක ඇති හෙයින්ම, “සමාධිමානන්තරිකඤ්ඤමාහු” (අනතුරු විපාක සහිත සමාධිය”යි කීහු), ‘දන්ධං ආනන්තරිකං පාපුණාති ආසවානං ඛයාය’ (ආශ්රව ක්ෂයය පිණිස ලැසිව පලදීම අතරක් නැති පලදීමක් බවට පත්වේ) යන ආදිය කියන ලදි. ඇතැමෙක් වනාහි, පලසිත් එකක්, දෙකක්, තුනක් හෝ සතරක් උපදිති’යි කියත්; එය නොගතයුතුය.
අනුලෝමා සේවනය කෙළවර ගෝත්රභූ ඤාණය උපදියි; එහෙයින් යටත් පිරිසෙයින් අනුලෝම සිත් දෙකක් විය යුතුය; එකක් වුවහොත් ආසේවනප්රත්යය නොලබයි; එක් ජවන වීථියක් උපරිම වශයෙන් සිත් සතෙකි; එහෙයින් යම් ජවන වීථියෙක අනුලෝම සිත් දෙකක් වුවහොත්, එහි තුන්වැන්න ගෝත්රභූ සිතයි, සිවුවැන්න මාර්ග සිතයි, පලසිත් තුනෙකි; යම් ජවන වීථියක අනුලෝම සිත් තුනක් වුවහොත්, එහි සිවුවැන්න ගෝත්රභූ වේ, පස්වැන්න මාර්ග සිතයි, පල සිත් දෙකක් වේ; එහෙයින් පල සිත් දෙකක් හෝ තුනක් උපදිති’යි කියනලදි.
ඇතැමෙක් වනාහි, “යම් ජවන වීථියෙක අනුලෝම සිත් සතරක් වුවහොත් එහි පස්වන ‘ගෝත්රභූ’ ද, සවැන්න ‘මාර්ගද, ඉතිරි එක ‘පල’ ද වෙති’යි කියති. එය ‘සිවුවැන්න හෝ පස්වැන්න අර්පණාය, භවාංගය ආසන්න වූ හෙයින්, එයින් ඔබ්බට නොවේ’ යයි ප්රතික්ෂේප කරන ලද හෙයින් සාර වශයෙන් නොගතයුතුය.
මෙතෙකින් වනාහි මේ යෝගාවචර තෙමේ සෝතාපන්න නම් දෙවන ආර්ය පුද්ගලයා බවට පත්වේ. හේ තෙමේ බොහෝ සෙයින් පමා වූයේ වුවද, (උපරිම වශයෙන්) සත් වරක් දේව-මනුෂ්ය ලෝකවල ඉපිද, සැරිසරා සසරදුක් කෙළවර කරනු සමත් වේ. ඵලාවසානයෙහිදී මොහුගේ සිත භවංගයට අවතීර්ණ වේ; ඉක්බිති, භවංගය සිඳී මාර්ගප්රත්යවේක්ෂණය පිණිස මනෝද්වාරාවර්ජන චිත්තය උපදී, එය නිරුද්ධ වූ කල පිළිවෙළින් මාර්ගප්රත්යවේක්ෂණ ජවන් සිත් සතෙක් උපදී; යලිදු භවංගයට බැස එනයින්ම ඵලාදිය ප්රත්යවේක්ෂණය පිණිස ආවර්ජනාදිය උපදී. එම ආවර්ජනාදිය ඉපැදීමෙන් මේ තෙමේ මාර්ගය ප්රත්යවේක්ෂා කරයි; ඵලය ප්රත්යවේක්ෂා කරයි, ප්රහීණ වූ ක්ලේශයන් ප්රත්යවේක්ෂා කරයි,
[missing trans] ඉක්බිති ‘මාගේ මෙනම් කෙලෙස් ඉතිරිව ඇතැ’යි, මතුවට ඇති මාර්ග තුනෙන් හැරලිය යුතු කෙලෙස් ප්රත්යවේක්ෂා කරයි, අවසන්හි, ‘මවිසින් මේ ධර්මය අරමුණු වශයෙන් අවබෝධ කරන ලදැ’යි අමෘත නිර්වාණය ප්රත්යවේක්ෂා කරයි. මෙසේ සෝවාන් බවට පත් ආර්යශ්රාවකයාහට මේ පංචප්රත්යවේක්ෂණය වේ. සෝවාන් වූවහුට යම් සේද, සකෘදාගාමී අනාගාමීන් හටද, එසේම (ප්රත්යවේක්ෂණ පසක් බැගින්) වේ. රහතුන්හට වනාහි ඉතිරිව ඇති කෙලෙසුන් ප්රත්යවේක්ෂා කිරීමෙක් නැති; මෙසේ සියල්ල එක් වී ප්රත්යවේක්ෂණයන් එකුන් විස්සක් වේ.
මේ උපරිම පරිච්ඡේද වශයෙනි. ප්රහීණ වූ හා ශේෂව ඇති කෙලෙස් ප්රත්යවේක්ෂණය ශෛක්ෂ්යයන් (රහත් නොවූවන්) හටද වියහැකි හෝ නොවිය හැකි වේ; එම ප්රත්යවේක්ෂණය නොමැති වූ හෙයින්ම, මහානාම තෙමේ භාග්යවතුන් වහන්සේගෙන්, ‘කවරනම් ස්වභාවයක් මා සිත තුළ ප්රහීණ නොවූයේ දෝ! ඇතැම් විටෙක ලෝභස්වභාවයන්ද මාසිත මුළුමනින් වැළඳ සිටින හෙයිනි’යි යනුවෙන් (සං. නි. සෝතාපත්ති සංයුත්ත සූත්රයෙහි එන පරිදි) සියල්ල විස්තර වශයෙන් දතයුතුය.
දුතියමග්ගඤාණකථා
සෝවාන් පෙලෙහි සිටි ඒ ආර්ය ශ්රාවක තෙමේ මේ ආකාරයෙන් ප්රත්යවේක්ෂා කොට හුනස්නෙහිමදී හෝ අන් කලෙක දී හෝ කාමරාග-ව්යාපාද යන දෙක තුනී වන දෙවන (සකෘදාගාමි) භූමියට පැමිණීම පිණිස යෝග කෙරෙයි, හේ තෙමේ ඉන්ද්රිය-බල-බොජ්ඣඞ්ගයන් ගලපමින්, රූප, වේදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණ යන එම සංස්කාරයන්ම අනිත්යය, දුඃඛය, අනාත්මය’යි නුවණින් පිරිමදියි, ඒ මේ අත පෙරළයි, විදර්ශනා වීථියට බසියි. මෙසේ පිළිපන් ඔහුට යට කී නයින්ම සංඛාරුපෙක්ඛා ඤාණය අවසන්හි, එක් ආවර්ජනයෙන්ම අනුලෝම හා ගෝත්රභූ ඤාණයන් උපන් කල ගෝත්රභූ ඤාණයට අනතුරුව සකෘදාගාමී මාර්ගය උපදී. එම මාර්ගය හා සම්ප්රයුක්ත වූ ඤාණය සකෘදාගාමී මාර්ගඥානයයි.
දෙවන ඥානයයි
තතියමග්ගඤාණකථා
මේ (දෙවන) ඥානයටද අනතුරුව, කියන ලද නයින්ම, පලසිත් දතයුතුය. මෙතෙකින් වනාහි මේ යෝගී තෙමේ, එක් වරක් පමණක් මෙලොවට අවුත් සසර දුක් කෙළවර කරනු සමත් සකෘදාගාමී නම් මේ සිවුවන ආර්යපුද්ගලයා බවට පත්වේ. ඉක්බිති ප්රත්යවේක්ෂණය කී නයින්ම වේ.
මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙමින් ඒ සකෘදාගාමී ආර්යශ්රාවක තෙමේ, එම අස්නෙහි හුන්වනම හෝ පසුකලෙක හෝ කාමරාග-ව්යාපාදයන්ගේ නිරවශේෂ ප්රහාණය වූ තෙවන (අනාගාමී) භූමියට පත්වනු පිණිස යෝග කරයි; තෙමේ ඉන්ද්රිය-බල-බොජ්ඣඞ්ගයන් ගලපමින් එම සංස්කාරයන්ම “අනිත්යය, දුඃඛය, අනාත්මය’යි ඥානයෙන් පිරිමදියි, ඒ මේ අත පෙරළයි, විදර්ශනා වීථියට බසියි. මේ ආකාරයෙන් පිළිපන් ඔහුට යට කී නයින්ම සඞ්ඛාරුපෙක්ඛා ඤාණය අවසන්හි, එක් ආවර්ජනයෙන්ම අනුලෝම හා ගෝත්රභූ ඥානයන් උපන් කල ගෝත්රභූ ඥානයට අනතුරුව අනාගාමී මාර්ගය උපදී. එම මාර්ගය හා සම්ප්රයුක්ත වූ ඥානය අනාගාමී මාර්ගඥානයයි.
තුන්වන ඥානයයි.
චතුත්ථමග්ගඤාණකථා
මේ ඥානයටද අනතුරුව, කී නයින්ම පලසිත් දතයුතුය. මෙතෙකින් වනාහි ඒ යෝගී තෙමේ අනාගාමී නම් සවන ආර්ය පුද්ගලයකු බවට පත් වේ; හේ තෙමේ ඕපපාතිකව එහිම (ශුද්ධාවාසයන්හි) ඉපිද එහිම පිරිනිවෙන සුලුද පෙරළා නො-එන සුලුද වූයේ, එම ලෝකයෙන් ප්රතිසන්ධි වශයෙන් මෙලොවට ආපසු නො-එන්නෙක් වේ, ඉක්බිති කී නයින්ම ප්රත්යවේක්ෂණය වේ.