අනුලෝම ඤාණය
ඒ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය ඇසුරු කරන, වඩන, ප්රගුණ කරන ඒ යෝගාවචරයාහට අධිමෝක්ෂ ශ්රද්ධාව බලවත්ව උපදියි. මැනවින් ගන්නා ලද වීර්යයද, මැනවින් එළඹ සිටි සිහියද, මැනවින් සන්සුන් වූ සිතද වේ; අතිශයින් තියුණු වූ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය උපදියි. ඉක්බිති ඒ යෝගාවචරයාහට ‘මාර්ගය’ උපදිති’යි සඞ්ඛාරුපෙක්ඛා ඤාණය අනිත්ය වශයෙන් හෝ දුඃඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ සංස්කාරයන් සමනය කොට භවාඞ්ගයට බසියි. භවාඞ්ගයට අනතුරුව, සඞ්ඛාරුපෙක්ඛායෙහිදී කළ නයින්ම සංස්කාරයන් අනිත්යයහයි හෝ දුඃඛයහයි හෝ, අනාත්මයහයි’ හෝ අරමුණු කෙරෙමින් මනෝද්වාරාවර්ජනය උපදියි. ඉක්බිති භවංගය නැවත උපන් ඒ කිරිය චිත්තයට අනතුරුව, අතරක් නැතිව චිත්ත සන්තතිය පවත්වමින්, එසේම සංස්කාරයන් අරමුණු කොට ‘පරිකර්ම’ යයි කියනු ලබන පළමුවන ජවන චිත්තය උපදියි; ඉනික්බිතිව එසේම සංස්කාරයන් අරමුණු කොට ‘උපචාර’ යයි කියනු ලබන දෙවන ජවන චිත්තය උපදියි; අනතුරුව එසේම සංස්කාරයන් අරමුණු කොට ‘අනුලෝම’ යයි කියනු ලබන තෙවන ජවන චිත්තය උපදියි. ජවනයන් අතුරෙන් එක් එක් ජවනයට වෙන වෙනම මේ නම් තුන වෙතත්, ...
අවිශේෂයෙන් මේ ත්රිවිධ වූම ජවන් සිත් ‘ආසේවන’ යයිද, ‘පරිකර්ම’ යයිද, උපචාර’ යයිද, අනුලෝම’ යයිද කිවයුතු වේ. කවරකට අනුලෝම වනුයේද යත්:- පූර්වභාග (පෙර) හා පශ්චිම භාග (පසු) යන්හි වූ ධර්මයනටය; එම ජවන චිත්තය ප්රථමයෙන් වූ උදයව්යය ආදී විදර්ශනාඥාන අටට අනුරූප කෘත්ය ඇති හෙයින් අනුලෝම වේ; මත්තෙහිද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයනට එසේම අනුලෝම වේ. එම ජවන චිත්තය වනාහි අනිත්ය ලක්ෂණාදී වශයෙන් සංස්කාරයන් ඇරබ පැවැති හෙයින්, i. උදයබ්බය ඤාණය ඒකාන්තයෙන් උදය-ව්යය සහිත වූම ධර්මයන්ගේ ඉපැදීම හා වැයවීම දුටුයේ ය’යිද ii. භඞ්ගානුපස්සනා ඤාණය ඒකාන්තයෙන් බිඳෙන සුලු වූම ධර්මයන්ගේ බිඳීම දුටුයේ ය’යිද. iii. භයතුපට්ඨාන ඤාණයට ඒකාන්තයෙන් භය සහිත වූම ධර්මය භය වශයෙන් වැටහිණැ’යිද, iv. ආදීනවානුපස්සනා ඤාණය ඒකාන්තයෙන් ආදීනව සහිත වූම ධර්මය ආදීනව වශයෙන් දුටුයේ ය’යිද, v. නිබ්බිදානුපස්සනා ඤාණය ඒකාන්තයෙන් කලකිරෙනු යුතු වූම ධර්මයෙහි කලකිරීම ඇති කළේ යයිද, vi. මුඤ්චිතුකම්යතා ඤාණය ඒකාන්තයෙන් මිදිය යුතු වූම ධර්මයෙහි මිදෙනු කැමැති බව ඇති කළේ ය’යිද, vii. පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් ඒකාන්තයෙන් නිරතුරු මෙනෙහි කළ යුතු වූම ධර්මය මෙනෙහි කරන ලදැ’යිද, viii. සඞ්ඛාරුපෙක්ඛා ඤාණයෙන් ඒකාන්තයෙන් උපේක්ෂා කළ යුතු වූම ධර්මයෙහි උපේක්ෂා කරන ලදැ’යිද යනුවෙන් අරුත් වශයෙන් කියන ලෙසින්ම මේ විදර්ශනා ඤාණ අටට තථකිච්චතා (අනුරූපවූ කාර්ය) ඇති හෙයින් අනුලෝම වේ. මතුවටද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් එම ප්රතිපත්තියට පැමිණිය යුතු වන හෙයින් එසේම අනුලෝම වේ.
යම්සේ වනාහි දැහැමි රජෙක් තෙමේ විනිශ්චයාසනයෙහි හිඳ, ව්යවහාරික (අධිකරණ) මහාමාත්යවරයන්ගේ විනිශ්චයය අසා අගති ගමකින් තොරව, මැදහත්ව, “එසේ වේව”යි අනුමත කරනුයේ ඔවුන්ගේ විනිශ්චයයට මතු නොව රාජධර්මයටද (පෙර සිරිතටද) අනුලෝම වේද, මේ කාරණයද එසේම ය’යි දතයුතුය. මෙහි අනුලෝම ඤාණය රජු වැනිය, විදර්ශනාඥාන අට ව්යවහාරික මහාමාත්යවරුන් අට දෙනකු වැනිය, සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෞරාණික රාජධර්මය වැනියහ. එහි අනිත්යාදී වශයෙන් සංස්කාරයන් අරබයා උපදනා ඥාන අටම ‘තථකිච්චතා’ වශයෙන් අනුලෝම වීම හා මතුවටද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයනට අනුලෝම වීම, රජු ‘එසේ වේව’යි පවසමින් අධිකරණ අමාත්යවරුන්ගේ විනිශ්චයයටද, පෙර රජසිරිතටද අනුලෝම වීම වැනිය. එහෙයින් ‘සච්චානුලෝමික ඤාණ’ යයිද කියනු ලැබේ.
අනුලෝම ඤාණය නිමි.
වුට්ඨානගාමිනීවිපස්සනාකථා
මේ අනුලෝම ඤාණය වූකලී සංස්කාරයන් අරමුණු කොට ඇති වුට්ඨානගාමිනී විපස්සනාවෙහි අවසාන අවස්ථාවයි. එහෙත් සියලු කරුණු සියලු අතින් ගෙන බලන විට, ගෝත්රභූ ඤාණය වුට්ඨානගාමිනී විපස්සනාවෙහි අවසාන අවස්ථාව වෙයි. දැන්, එම වුට්ඨානගාමිනී විපස්සනාව පිළිබඳව මුළා නොවීම පිණිස මේ සූත්ර සංසන්දනය දතයුතුය;
ඒ මෙසේයි:-
මේ වුට්ඨානගාමිනී විපස්සනාව සළායතන විභඞ්ග සූත්රයෙහි, ‘මහණෙනි. අතම්මයතාව (තෘෂ්ණා-දෘෂ්ටි-මාන විරහිත බව) ඇසුරු කොට, අතම්මයතාවට පැමිණ, යම් මේ උපේක්ෂාවක්, ඒකාග්රතාවක්, එක් අරමුණක් ඇසුරු කොට පවත්නා බවක් වේද, එය හරිවූ එය ඉක්මවවූ” යන මෙහි, අතම්මයතා’යි කියන ලදි.