වුට්ඨානගාමිනීවිපස්සනාකථා
මේ අනුලෝම ඤාණය වූකලී සංස්කාරයන් අරමුණු කොට ඇති වුට්ඨානගාමිනී විපස්සනාවෙහි අවසාන අවස්ථාවයි. එහෙත් සියලු කරුණු සියලු අතින් ගෙන බලන විට, ගෝත්‍රභූ ඤාණය වුට්ඨානගාමිනී විපස්සනාවෙහි අවසාන අවස්ථාව වෙයි. දැන්, එම වුට්ඨානගාමිනී විපස්සනාව පිළිබඳව මුළා නොවීම පිණිස මේ සූත්‍ර සංසන්‍දනය දතයුතුය;
ඒ මෙසේයි:-
මේ වුට්ඨානගාමිනී විපස්සනාව සළායතන විභඞ්ග සූත්‍රයෙහි, ‘මහණෙනි. අතම්මයතාව (තෘෂ්ණා-දෘෂ්ටි-මාන විරහිත බව) ඇසුරු කොට, අතම්මයතාවට පැමිණ, යම් මේ උපේක්‍ෂාවක්, ඒකාග්‍රතාවක්, එක් අරමුණක් ඇසුරු කොට පවත්නා බවක් වේද, එය හරිවූ එය ඉක්මවවූ” යන මෙහි, අතම්මයතා’යි කියන ලදි.
අලගද්ද සූත්‍රාන්තයෙහි, “නිර්වේදයට පත් වනුයේ, (සංස්කාරයන් කෙරෙහි) නිබ්බිදා වශයෙන් නො-ඇලෙයි, විරාග වශයෙන් මිදෙයි’’ යනුවෙන් මෙසේ ‘නිබ්බිදා’ යයි කියනලදි.
සුසීම සූත්‍රාන්තයෙහි “සුසීමය, මුලදී පැවැති ධම්මට්ඨිති ඤාණය පසුව නිර්වාණය පිළිබඳ (මාර්ග) ඥානය වේ’’ යනුවෙන් ‘ධම්මට්ඨිති ඤාණය’යි කියන ලදි.
පොට්ඨපාද සූත්‍රාන්තයෙහි, “පොට්ඨපාදය, සඤ්ඤාව (වුට්ඨාන ගාමිනී විපස්සනාව) පළමුව උපදියි; පසුව (මාර්ග) ඤාණය උපදියි’’ යනුවෙන් මෙසේ ‘සඤ්ඤග්ග’ (සඤ්ඤාවෙහි අග) යයි කියනලදි.
දසුත්තර සූත්‍රාන්තයෙහි, ‘පටිපදාඤාණදස්සන විසුද්ධි’ යනු පාරිශුද්ධියෙහි ප්‍රධානාංගයයි’’ යනුවෙන් ‘පාරිසුද්ධි පධානියඞ්ග’ යයි කියනලදි.
පටිසම්භිදා මග්ගයෙහි. “යම් මුඤ්චිතුකම්‍යතාවක් වේද, යම් පටිසඞ්ඛානුපස්සනාවක් වේද, තවද යම් සඞ්ඛාරුපෙක්ඛාවක් වේද, මේ ධර්මයෝ අර්ත්‍ථයෙන් සමාන වෙති, හුදෙක් ව්‍යංජන (අක්‍ෂර) වශයෙන්ම නානාවිධ වෙති’’ යනුවෙන් නම් තුනෙකින් වහරන ලදි.
පට්ඨානයෙහි, ‘ගෝත්‍රභූ චිත්තයට, වෝදානයට (පිරිසුදුබවට) අනුලෝම වේ’ යනුවෙන් (ගෝතුභූ, වෝදාන යන) නම් දෙකකින් වහරන ලදි.
රථවිනීත සූත්‍රාන්තයෙහි, “ඇවැත්නි, කිමෙක්ද? පටිපදාඤාණවිසුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසනු ලැබේද?” යනුවෙන් ‘පටිපදාඤාණදස්සන විසුද්ධි’ යයි කියන ලදි.
ඉති නෙකෙහි නාමෙහි කිත්තිතා යා මහෙසිනා,
වුට්ඨානගාමිනී සත්තා පරිසුද්ධා විපස්සනා
වුට්ඨාතුකාමො සංසාර දුක්‍ඛ පඞ්කා මහබ්භයා,
කරෙය්‍ය සතතං තත්‍ථ යොගං පණ්ඩිත ජාතිකො’ති.
මහර්ෂීන් වහන්සේ විසින් මෙසේ නොයෙක් අභිධානයන්ගෙන් පසසන ලද, පිරිසුදු වූ, ශාන්ත වූ යම් වුට්ඨානගාමිනීවිපස්සනාවක් වේද, එය කෙරෙහි, සසර දුක් නමැති මහ වගුරෙන් ගොඩ වනු කැමැති, පණ්ඩිත ස්වභාව ඇත්තේ නිරන්තරයෙන් යෝග කරන්නේය.
සාධුජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධි මාර්ගයෙහි, පඤ්ඤභාවනාධිකාරයෙහි ‘පටිපදාඤාණදස්සන විසුද්ධිනිද්දේස’ නම්වූ එක්විසිවන පරිච්ඡේදය නිමියේයි.
22. ඤාණදස්සන විසුද්ධි නිද්දේසය
පඨමමග්ගඤාණකථා
මෙයින් (පටිපදා ඤාණදස්සනවිසුද්ධියෙන්) අනතුරුව ගෝත්‍රභූ ඤාණය වේ. එය ආර්ය මාර්ගය ආවර්ජනය කරන ස්ථානයෙහි සිටි හෙයින් පටිපදා ඤාණදස්සන විසුද්ධිය හෝ ඤාණ දස්සන විසුද්ධිය භජනය නොකෙරේ (එම විසුද්ධීන් දෙකට) අතරින් සිටියේ අව්‍යවහාරික (නිර්වචන කළ නොහැකි)ම වේ. විදර්ශනා ප්‍රවාහයට වැටුණ හෙයින් විදර්ශනා සංඛ්‍යාවට යෙයි. සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අර්හත් මාර්ගයයි යන මේ මාර්ග සතර පිළිබඳ වූ ඥානය ‘ඤාණදස්සන විසුද්ධි’ නම්වේ.
මෙකී මාර්ගයන් අතුරෙන් පළමුකොට ප්‍රථම මාර්ගඥානය සපයනු කැමැත්තහු විසින් කළ යුතු අන් කිසිවක් නැති; ඔහු විසින් කළයුතු දෙයක් වී නම් එය අනුලෝමාවසානයෙහි වූ විදර්ශනාව උපදවමින් කරන ලද්දේම වේ. මෙසේ උපන් අනුලෝම ඤාණ ඇති ඔහුගේ (ඒ යෝගාවචරයාගේ), එම ත්‍රිවිධවූම අනුලෝම ඤාණයෙන්, සත්‍යයන් වසා ගෙන සිටි අතිමහත් මෝහාන්‍ධකාරය, ස්ව-ශක්ති ප්‍රමාණයෙන් අතුරුදහන් කළ කල්හි සකලවිධ සංස්කාර ධර්ම විෂයයෙහි සිත නොවදියි, නොසිටියි, නො- ඇලෙයි, නොරැඳෙයි, නොලැගෙයි, නොබැඳෙයි; නෙළුම් කොලයෙහි දිය මෙන් හැකිලෙයි, හැකිලෙයි, ලිහිසයි; සියලු නිමිත්තාරම්මණයද, සියලු පවත්තාරම්මණයද පළිබෝධ වශයෙන් වැටහෙයි. ඉක්බිති ඔහුට සියලු නිමිත්ත ආරම්මණය හා පවත්ත ආරම්මණය පළිබෝධ සෙයින් වැටහුණු කල්හි, අනුලෝම ඤාණය ආසේවන ප්‍රත්‍යය වශයෙන් පිහිටි පසු, නිමිති රහිත, පැවතුම් රහිත, සංස්කාර විරහිත නිරෝධ සංඛ්‍යාත නිර්වාණය අරමුණු කෙරෙමින්, පෘථග්ජන ගෝත්‍රය, පෘථග්ජන සංඛ්‍යාව (ව්‍යවහාරය), පෘථග්ජන භූමිය ඉක්මවමින්, ආර්යගෝත්‍රයට ආර්ය සංඛ්‍යාවට, ආර්යභූමියට අවතීර්ණ වෙමින්. නිර්වාණාලම්බනය වෙතට ප්‍රථම ආවර්තනය (නැඹුරු වීම) වූ ප්‍රථමාවර්ජනය වූ, ප්‍රථම සමන්නාහාර (යොමු වීම) වූ, මාර්ගයට අනන්තර, සමනන්තර. ආසේවන, උපනිස්සය, නත්‍ථි, විගත යන ෂඩ් - ආකාරයෙන් ප්‍රත්‍යයභාවය සිද්ධ කරන, මුදුන් පත්වූ විදර්ශනාවෙහි අග්‍රඵලය වූ, පෙරළා නොයන ගෝත්‍රභූ ඤාණය උපදියි.