සඞ්ඛාරුපෙක්ඛා ඤාණය
ඒ යෝගාවචර තෙමේ, පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් සියලු සංස්කාරයන් ශුන්යයහ’යි විනිශ්චය කොට, යලිදු ආත්ම වශයෙන් හෝ වේවයි, ආත්මික (ආත්මයට අයත් කිසිවක්) වශයෙන් හෝ වේවයි, ශුන්යයහ’යි ද්විකෝටික (කෙළවර දෙකක්) වශයෙන් ගෙන ශුන්යතාව විග්රහ කරයි. හේ තෙමේ ආත්මයක් හෝ ආත්මයට අයත් සේ ගත හැකි අන් කිසිවක් හෝ නොදැක, යලිදු, “නාහං ක්වචනි, කස්සචි කිඤ්චනතස්මිං, නච මම ක්වචනි, කිස්මි චි කිඤ්චනතා අත්ථි” (මම කිසි තැනෙක නොවෙමි, කිසිවකුගේ කිසිවක් වශයෙන් හෝ නොවෙමි, තවද මාගේ (මාහට අයත්) කිසිවක් තුළ, කිසිවකු සතු කිසිවක් හෝ නැත) යනුවෙන් මෙහි යම් චතුස්කෝටික (කෙළවර සතරක් ඇති) ශුන්යතාවක් කියන ලදද, එය අනුව පරිග්රහ කරයි.
කෙසේද?:- මේ යෝගාවචර තෙමේ, “නාහං ක්වචනි” (මම කිසිදු තැනෙක නොවෙමියි) යනුවෙන් ආත්මයක් නොදැකැ’යි කී නියායි, “කස්සචි කිඤ්චන්තස්මි’’ (කිසිවකුගේ කිසිවක්, ලෙසින් එළවිය හැකි කිසිවක්) නොදකිති’යි කී නියායි. සොහොවුරෙකැ’යි හැඟීමෙන් සොහොවුරකු වශයෙන් හෝ, මිතුරෙකැ’යි හැඟීමෙන් මිතුරකු වශයෙන් හෝ පරිෂ්කාර (පරිභෝගභාණ්ඩ) යෙකැ’යි හැඟීමෙන් එළවිය හැකි කිසිවක් නොදකිති’යි යන අර්ත්ථයි; “නච මම ක්වචනි” (මට අයත් කිසිවක් කිසි තැනෙකවත් නැත) යන මෙහි ‘මම’ යන පදය (මොහොතකට) ඉවත් කොට, “නච ක්වචනි’’ අනිකකුගේ ආත්මයක් හෝ කිසිදු තැනෙක නොදකිති’යි යන අර්ත්ථයි; ඉක්බිති ‘මම’ යන පදය නැවත පමුණුවා, “(නච) මම කිස්මි චි කිඤ්චනතත්ථි” යනුවෙන් ඔහු අනෙකෙකුගේ ආත්මය තමාගේ කිසිවක් තුළ කිසිවක් වශයෙන් එළවියහැකි කිසිවක් නොදනිති’යි, තමාගේ සොහොවුරෙකැ’යි හැඟීමෙන් සොහොවුරකු වශයෙන් හෝ, මිතුරෙකැ’යි යන හැඟීමෙන් මිතුරකු වශයෙන් හෝ පරිෂ්කාරයෙකැ’යි හැඟීමෙන් පරිෂ්කාරයක් වශයෙන් හෝ මේ කවර ආකාරයෙකින් හෝ අනෙකෙකුගේ ආත්මයක් මෙකී කිඤ්චන භාවයෙන් (කිසිවෙකැයි යන හැඟීමෙන්) එළවිය හැකි දෙයක් නොදනිති’යි යන අර්ත්ථයි. මෙසේ මේ යෝගාවචර තෙමේ, යම්හෙයකින්, මෙසේ මේ යෝගාවචර තෙමේ, කිසිදු තැනෙක (i) තමාගේ ආත්මයක් නොදකීද, (ii) පරහට අයත් කිසිවක් වශයෙන් දැක්විය හැකි එවන් ආත්මයක් හෝ නොදකීද, (iii) පරහට අයත් ආත්මයක් හෝ කිසිදු තැනෙක නොදකීද, (iv) තමාගේ (සොහොවුරු ආදී) කිසිවෙකැ’යි දැක්විය හැකි පරහට අයත් ආත්මයක් හෝ නොදකීද, එහෙයින් ඔහු විසින් මේ චතුෂ්කෝටික (සිවුකොන්) ශුන්යතාව පරිග්රහ කරන ලද්දේ වේ.
මේ ආකාරයෙන් චතුෂ්කෝටික ශුන්යතාව පරිග්රහණය කොට, යලිදු, ස-අයුරෙකින් ශූන්යතාව පරිග්රහණය කරයි; කෙසේද? චක්ඛු (හෙවත් ඇස) i. ආත්ම වශයෙන්, ii. ආත්මයට අයත් වූවක් වශයෙන්, iii. නිත්ය ස්වභාව වශයෙන්, iv. ස්ථිර ස්වභාව වශයෙන්, v ශාස්වත ස්වභාව වශයෙන්, vi. විපරිණාම නොවන ස්වභාව වශයෙන් ශුන්ය වේ; -පෙ- මනස -පෙ- ශුන්ය වේ; රූප -පෙ- ධර්මයෝ -පෙ- ශුන්ය වෙති; චක්ඛු විඤ්ඤාණය -පෙ- මනෝ විඤ්ඤාණය, චක්ඛු සම්ඵස්සය ශූන්ය වේ; යන මේ පිළිවෙළින් ‘ජරාමරණ’ පදය තෙක් මේ ක්රමය ගෙනයා යුතුය.
මේ ආකාරයෙන් ස-අයුරෙකින් ශූන්යතාව පරිග්රහණය කොට, යලි අප අයුරෙකින් පරිග්රහණය කරයි; කෙසේද යත්:- රූපය, i. නිත්ය සාරත්වයෙන්, ii. ස්ථිරසාරත්වයෙන්, iii. සුඛසාරත්වයෙන්, iv. ආත්ම සාරත්වයෙන්, v. නිත්ය භාවයෙන්. vi. ස්ථිරභාවයෙන්, vii. ශාස්වත භාවයෙන්, viii. අවිපරිණාමධර්ම ස්වභාවයෙන් අසාර වේ; සාරයක් නැත්තේ වේ, සාරත්වයෙන් තොර වේ, -පෙ- වේදනාව -පෙ- සඤ්ඤාව -පෙ- සංඛාරය -පෙ- විඤ්ඤාණය -පෙ- චක්ඛු හෙවත් ඇස -පෙ- ජරාමරණය අසාර වේ. සාරයක් නැත්තේ වේ, සාරත්වයෙන් තොර වේ. නිත්ය සාරයෙන් -පෙ- අවිපරිණාම ධර්ම වශයෙන් (විපරිණාම ධර්මයට අයත්වන හෙයින්) අසාර වේ, සාරයක් නැත්තේ වේ; සාරත්වයෙන් තොර වේ. බටගසක් සෙයින්, අසාර වේ, සාරයක් නැත්තේ වේ, සාරත්වයක් නැත්තේ වේ, සාරත්වයෙන් තොර වේ. එරඬු ගසක් සෙයින් -පෙ-, දිඹුල් ගසක් සෙයින් -පෙ-, හෙළ වරා ගසක් සෙයින් -පෙ-එරබඳු ගසක් සෙයින් -පෙ-. පෙන පිඬක් සෙයින් -පෙ- දියබුබුලක් සෙයින් -පෙ- , මිරිඟුවක් සෙයින් -පෙ-, කෙසෙල් කඳක් සෙයින් -පෙ-, මායාවක් සෙයින් -පෙ-, අසාර වේ, සාරයක් නැත්තේ වේ, සාරත්වයෙන් තොර වේ. එසේම රූපය -පෙ- ජරාමරණය අසාර වේ, සාරයක් නැත්තේ වේ, සාරත්වයෙන් තොර වේ. නිත්යසාරත්වයෙන් වේවයි, -පෙ- අවිපරිණාම ධර්ම ස්වභාවයෙන් වේවයි, අසාර වේ -පෙ- සාරත්වයෙන් තොර වේ.
ඒ යෝගාවචර තෙමේ මෙසේ අට අයුරෙකින් ශූන්යතාව පරිග්රහණය කොට යලිදු දස අයුරෙකින් පරිග්රහණය කෙරේ. කෙසේද? රූපය හිස්වූවක් ලෙසින්, නිසරු වූවක් ලෙසින්, ශූන්යයක් ලෙසින්, අනාත්ම වූවක් ලෙසින්, අස්වාමිකයක් ලෙසින්, අකාමකාර්යයක් (නොකැමැති වැඩක්) ලෙසින්, නොලද හැක්කක් ලෙසින්, වශයෙහි නොපවත්නක් ලෙසින්, තමා සතු නොවන්නක් ලෙසින්, කිසිවකු සතු නොවන්නක් ලෙසින් යන මේ දස ආකාරයෙන් බලයි; වේදනාව -පෙ- විඤ්ඤාණය හිස් වූවක් -පෙ- කිසිවකු සතු නො-වූවක් ලෙසින්, දකිති’යි
මෙසේ දස ආකාරයෙකින් ශුන්යතාව පරිග්රහණය කොට, යලිදු දොළොස් ආකාරයෙකින් පරිග්රහණය කෙරේ. කෙසේද? “රූපය සත්වයෙක් නොවේ, ජීවියෙක් නොවේ, මනුෂ්යයෙක් නොවේ, මානවයෙක් ද නොවේ, ස්ත්රියක් ද නොවේ, පුරුෂයෙක් ද නොවේ, ආත්මය ද නොවේ, ආත්මයට අයත් වූවක් ද නොවේ, මම ද නොවෙමි, මා සතු වූවක් ද නොවේ, අනෙකකු සතු වූවක් ද නොවේ, කිසිවකු සතු වූවක් හෝ නොවේ. වේදනාව -පෙ- විඤ්ඤාණය -පෙ- සත්වයෙක් නොවේ -පෙ- කිසිවකු සතු වූවක් හෝ නොවේ,” යනුවෙන්
මෙසේ දොළොස් ආකාරයෙකින් ශුන්යතාව පරිග්රහණය කොට, යලිදු, තීරණ පරිඥා (පූර්ණ අවබෝධයෙන්) වශයෙන් මෙසේ දෙසාළිස් ආකාරයෙකින් ශූන්යතාව පරිග්රහණය කෙරේ;- රූපය අනිත්යවූවක් ලෙසින්, දුඃඛයක්, ලෙඩක්, ගඩක්, හුලක් (පිළිකාවක්) පාපරෝගයක්, ආබාධයක්, තමා සතු නොවන්නක්, විනාශ වන්නක්, අන්තරායයක්, උපද්රවයක්, භයක්, විපතක්, සසල වූවක්, බිඳෙන සුලු වූවක්, අස්ථිර වූවක්, ආරක්ෂා රහිත වූවක්, රැකවරණ රහිත වූවක්, සරණ නොවූවක්, අසරණ බවට පත්වීමක්, නිසරු වූවක්, හිස් වූවක්, ශූන්යයක්, ආත්ම නොවන්නක්, ආස්වාද රහිතයක්, ආදීනවයක්, විපරිණාම ධර්මයක්, අසාර වූවක්, පාපයට මුලක්, වධකයකු, විනාශයක්, ආශ්රව සහිතයක්, සංස්කාරයක්, මාරයාගේ ඇමක්, ජාති ස්වභාවයක්, ජරා ස්වභාවයක්, ව්යාධි ස්වභාවයක්, මරණ ස්වභාවයක් ලෙසින්, සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ස්වභාවයක් ලෙසින්, හටගැනීමක්, අවරට යාමක්, විසිර යාමක් ලෙසින්, දකියි. වේදනාව -පෙ- විඤ්ඤාණය -පෙ- අනිත්ය වූවක් ලෙසින් -පෙ- දකියි.