නිබ්බිදානුපස්සනා ඤාණය
මෙසේ ඒ යෝගාවචර තෙමේ සියලු සංස්කාරයන් ආදීනව වශයෙන් දකිනුයේ සියලු භව-යෝනි - ගති-විඤ්ඤාණට්ඨිති සත්වාවාසයනට පත් ප්රභේද සහිත එම සංස්කාරයන් කෙරෙහි කලකිරෙයි, උකටලී වෙයි, නො-ඇලෙයි.
යම්සේ වනාහි චිත්රකූට පර්වත පාදයෙහි ඇලුණු ස්වර්ණ හංස රාජයෙක් තෙමේ සැඩොල් ගම් දොරක පිහිටි කසවළෙක නො-ඇලේද, මහ විල් සත වෙතම ඇලේද, එසේම මේ යෝගී නමැති රාජහංසයාද මනාකොට දුටු ආදීනව සහිත ප්රභේද ඇති සංස්කරයන් කෙරෙහි නො-ඇලෙයි; භාවනාවෙහි ඇලුණු හෙයින් භාවනාරතියෙන් සමන්විතව අනුපස්සනා සතෙහිම ඇලෙයි.
යම්සේ රන් මැදිරියෙක දමනලද සිංහ රාජයෙක් එහි නොඇලේද, තුන්දහස් යොදුන් විතර ඇති හිමවතෙහිම ඇලේද, එසේ මේ යෝගී නමැති සිංහරාජයාද ත්රිවිධ වූ සුගති භවයෙහි පවා නො-ඇලෙයි; ත්රිවිධ අනුපස්සනාවන්හිම ඇලෙයි.
යම්සේ සර්වාංග ධවල වූ සත් තැනෙකින් පොළොව ස්පර්ශ කෙරෙන, ඍද්ධිමත්, ආකාශගාමී ඡද්දන්ත හස්ති රාජයෙක් නගරමධ්යයෙක්හි නො-ඇලේද, හිමවත්හි ඡද්දන්ත විල වෙතම ඇලේද, එසේම මේ යෝගී නමැති උතුම් හස්තියාද කිසිම සංස්කාරයක් කෙරෙහි නො-ඇලෙයි. “අනුප්පාදො ඛෙමං’’ (නො-ඉපදීම ක්ෂේමයයි) යනුවෙන් ආදී නයින් දක්වන ලද ශාන්ති පදයෙහිම ඇලෙයි; එම ශාන්තිපදය වෙතම නැඹුරු වූ, එය වෙතම බරවූ, එය වෙතටම නැමුණු සිත් ඇත්තෙක් වේ.
නිබ්බිදානුපස්සනා ඤාණය නිමි
ඒ නිබ්බිදානුපස්සනා ඤාණය පළමු කී ඤාණ ද්වයය හා සමග අර්ත්ථයෙන් එක සමාන වේ. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-
“එක්ම භයතුපට්ඨාන ඤාණය නම් තුනක් ලබයි, ‘සියලු සංස්කාරයන් භය වශයෙන් දුටහ’යි භයතුපට්ඨාන නම් විය; එම සංස්කාරයන් කෙරෙහිම ආදීනවයන් උපදිති’යි ආදිනවානුපස්සනා නම් විය; එම සංස්කාරයන් කෙරෙහිම කලකිරීම උපන්හ’යි නිබ්බිදානුපස්සනා නම් විය.”
පෙළෙහිද කියන ලදි:- “භයතුපට්ඨානයෙහි යම් ප්රඥාවක් වේද, යම් ආදීනවයෙක්හි ඤාණයක් වේද, යම් නිබ්බිදානුපස්සනා ඥානයක් වේද, මේ ධර්මයෝ සමානාර්ත්ථවත් වෙති, හුදෙක් ව්යංජන (අක්ෂර) වශයෙන්ම විවිධ වෙති” යනුවෙනි.
මුඤ්චිතුකම්යතා ඤාණය
මේ නිබ්බිදා ඤාණයෙන් කලකිරෙන, උකටලී වන නො-ඇලෙන කුලපුත්රයාගේ සිත සියලු භව-යෝනි-ගති-විඤ්ඤාණට්ඨිති, සත්වාවාසයනට ඇතුළත්, ප්රභේද සහිත සංස්කාරයන් අතුරෙන් කිසිදු සංස්කාරයෙක්හි නොරැඳේ, නොලැඟේ, නොබැඳේ, සියලු සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැත්තේ, දුරුවනු කැමැත්තේ වෙයි. කුමක් මෙන්ද යත්:- යම්සේ වනාහි දැලක් තුල හසුවූ මසෙක්, සර්පමුඛයට පත් මැඬියෙක්, මැදිරියෙක ලූ වලි කුකුලෙක්, දැඩි මළ පුඬුවක හිර වූ මුවෙක්, අහිගුණ්ඨිකයකු අතට පත් නයෙක්, මහ වගුරෙක වැටුණු ඇතෙක්, ගුරුළු මුවට පත් නා රජෙක්, රාහුමුඛයට පත් සඳ, සතුරන් විසින් වට කරන ලද පුරුෂයෙක්දැ’යි මේ ආදී වූ ඒ ඒ තැනින් මිදෙනු කැමැත්තාහු, ඉවත් වනු කැමැත්තාහු වෙත්ද, එසේම ඒ යෝගියාගේ සිත සියලු සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැත්තේ, දුරු වනු කැමැත්තේ වෙයි. ඉක්බිති, මෙසේ සියලු සංස්කාරයන් කෙරෙහි ඇලුම් දුරු කළ, සියලු සංස්කාරයන්ගෙන් මිදෙනු කැමැති ඔහුට ‘මුඤ්චිතුකම්යතා ඤාණය’ උපදියි.
මුඤ්චිතුකම්යතා ඤාණය නිමි.
පටිසංඛානුපස්සනා ඤාණය
මෙසේ ඒ යෝගාවචර තෙමේ, සියලු භව-යෝනි-ගති-ස්ථිත-නිවාසගතවූ, ප්රභේද සහිත වූ සංස්කාරයන් කෙරෙන් මිදෙනු පිණිස, නැවතත් එම සංස්කාරයන්ම, පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් ත්රිලක්ෂණයට නගා විග්රහ කෙරෙයි;
හේ තෙමේ සියලු සංස්කාරයන් අනිත්යාදී ත්රික (ත්රිලක්ෂණ) වශයෙන්, තාවකාලික වශයෙන්, ඉපදීම-නැසීයාම යන දෙකින් පිරිසුන් සෙයින්, විනාශ වන සෙයින්, සසල වන සෙයින්, බිඳෙන සුලු සෙයින්, නොතිර වූ සෙයින්, සඞ්ඛත (කෘත්රිම) වූ සෙයින්, මරණ ස්වභාව ඇති සෙයින්දැ’යි යන ආදී කරුණු හෙයින් අනිත්යයයි දකියි.
නිරතුරුව පෙළන සුලු හෙයින්ද, ඉවසීම දුෂ්කර වූ හෙයින්ද, දුකට වස්තු වන හෙයින්ද, රෝගයක් සෙයින්ද, ගඩක් සෙයින්ද, හුළක් සෙයින්ද, පාප රෝගයක් සෙයින්ද, ආබාධයක් සෙයින්ද, අන්තරායයක් සෙයින්ද, උපද්රවයක් සෙයින්ද, බියක් සෙයින්ද, විපතක් සෙයින්ද, ආරක්ෂා රහිතයක් සෙයින්ද, රැකවරණ රහිතයක් සෙයින්ද, සරණ නොවන්නක් සෙයින්ද, ආදීනවයක් සෙයින්ද, පාපයට මුල්වන්නක් සෙයින්ද, වධකයකු සෙයින්ද, සාශ්රවයක් සෙයින්ද, මාරාමිෂයක් (කෙලෙස් බිළියක්) සෙයින්ද, ජාතිස්වභාව සෙයින්ද, ජරාස්වභාව සෙයින්ද, ව්යාධි ස්වභාව සෙයින්ද, ශෝක ස්වභාව සෙයින්ද, සංක්ලේශ ස්වභාව සෙයින්දැ’යි යන ආදී කරුණු අනුව දුඃඛ යයි දකියි.