මුඤ්චිතුකම්‍යතා ඤාණය
මේ නිබ්බිදා ඤාණයෙන් කලකිරෙන, උකටලී වන නො-ඇලෙන කුලපුත්‍රයාගේ සිත සියලු භව-යෝනි-ගති-විඤ්ඤාණට්ඨිති, සත්‍වාවාසයනට ඇතුළත්, ප්‍රභේද සහිත සංස්කාරයන් අතුරෙන් කිසිදු සංස්කාරයෙක්හි නොරැඳේ, නොලැඟේ, නොබැඳේ, සියලු සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැත්තේ, දුරුවනු කැමැත්තේ වෙයි. කුමක් මෙන්ද යත්:- යම්සේ වනාහි දැලක් තුල හසුවූ මසෙක්, සර්පමුඛයට පත් මැඬියෙක්, මැදිරියෙක ලූ වලි කුකුලෙක්, දැඩි මළ පුඬුවක හිර වූ මුවෙක්, අහිගුණ්ඨිකයකු අතට පත් නයෙක්, මහ වගුරෙක වැටුණු ඇතෙක්, ගුරුළු මුවට පත් නා රජෙක්, රාහුමුඛයට පත් සඳ, සතුරන් විසින් වට කරන ලද පුරුෂයෙක්දැ’යි මේ ආදී වූ ඒ ඒ තැනින් මිදෙනු කැමැත්තාහු, ඉවත් වනු කැමැත්තාහු වෙත්ද, එසේම ඒ යෝගියාගේ සිත සියලු සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැත්තේ, දුරු වනු කැමැත්තේ වෙයි. ඉක්බිති, මෙසේ සියලු සංස්කාරයන් කෙරෙහි ඇලුම් දුරු කළ, සියලු සංස්කාරයන්ගෙන් මිදෙනු කැමැති ඔහුට ‘මුඤ්චිතුකම්‍යතා ඤාණය’ උපදියි.
මුඤ්චිතුකම්‍යතා ඤාණය නිමි.
පටිසංඛානුපස්සනා ඤාණය
මෙසේ ඒ යෝගාවචර තෙමේ, සියලු භව-යෝනි-ගති-ස්ථිත-නිවාසගතවූ, ප්‍රභේද සහිත වූ සංස්කාරයන් කෙරෙන් මිදෙනු පිණිස, නැවතත් එම සංස්කාරයන්ම, පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් ත්‍රිලක්‍ෂණයට නගා විග්‍රහ කෙරෙයි;
හේ තෙමේ සියලු සංස්කාරයන් අනිත්‍යාදී ත්‍රික (ත්‍රිලක්‍ෂණ) වශයෙන්, තාවකාලික වශයෙන්, ඉපදීම-නැසීයාම යන දෙකින් පිරිසුන් සෙයින්, විනාශ වන සෙයින්, සසල වන සෙයින්, බිඳෙන සුලු සෙයින්, නොතිර වූ සෙයින්, සඞ්ඛත (කෘත්‍රිම) වූ සෙයින්, මරණ ස්වභාව ඇති සෙයින්දැ’යි යන ආදී කරුණු හෙයින් අනිත්‍යයයි දකියි.
නිරතුරුව පෙළන සුලු හෙයින්ද, ඉවසීම දුෂ්කර වූ හෙයින්ද, දුකට වස්තු වන හෙයින්ද, රෝගයක් සෙයින්ද, ගඩක් සෙයින්ද, හුළක් සෙයින්ද, පාප රෝගයක් සෙයින්ද, ආබාධයක් සෙයින්ද, අන්තරායයක් සෙයින්ද, උපද්‍රවයක් සෙයින්ද, බියක් සෙයින්ද, විපතක් සෙයින්ද, ආරක්‍ෂා රහිතයක් සෙයින්ද, රැකවරණ රහිතයක් සෙයින්ද, සරණ නොවන්නක් සෙයින්ද, ආදීනවයක් සෙයින්ද, පාපයට මුල්වන්නක් සෙයින්ද, වධකයකු සෙයින්ද, සාශ්‍රවයක් සෙයින්ද, මාරාමිෂයක් (කෙලෙස් බිළියක්) සෙයින්ද, ජාතිස්වභාව සෙයින්ද, ජරාස්වභාව සෙයින්ද, ව්‍යාධි ස්වභාව සෙයින්ද, ශෝක ස්වභාව සෙයින්ද, සංක්ලේශ ස්වභාව සෙයින්දැ’යි යන ආදී කරුණු අනුව දුඃඛ යයි දකියි.
උපද්‍රව හෙයින්, දුර්ගන්‍ධ හෙයින්, ජුගුප්සා (සඟවනු රිසි) වන හෙයින්, පිළිකුල් වන හෙයින්, අලංකරණයට යෝග්‍ය නොවන හෙයින්, විරූප වන හෙයින් හා බීභත්ස (වලකනු රිසි) වන හෙයින්දැ’යි යන ආදී කරුණු අනුව දුඃඛ ලක්‍ෂණයට පිරිවර වූ අශුභ වශයෙන් දකියි.
පර (තමා සතු නොවන) හෙයින්, හිස් වූ හෙයින්, තුච්ඡ (අගයක් නැති) හෙයින්, ශූන්‍ය වූ හෙයින්, අස්වාමික වූ හෙයින්, ඊශ්වර රහිත හෙයින්, වශයෙහි පැවැත්විය නොහැකි හෙයින්දැ’යි යන ආදී කරුණු අනුව අනාත්ම වශයෙන් දකියි.
මෙසේ දක්නා ඔහු විසින් සංස්කාරයෝ ත්‍රිලක්‍ෂණයට නඟා විග්‍රහ කරන ලද්දාහු නම් වෙති. කවර හෙයින් මේ යෝගියා මෙසේ මේ සංස්කාරයන් විග්‍රහ කෙරේද? මිදෙනු සඳහා උපාය සම්පාදනය පිණිසයි.
මේ එයට උපමායි:- එක්තරා පුරුෂයෙක් තෙමේ මසුන් අල්වන්නෙමි’යි කෙමිනක් ගෙන දියෙහි බහාලීය. හේ තෙමේ කෙමිනෙහි කටින් අත දමා ජලය තුළින් සර්පයකු ගෙලෙන් ගෙන, මවිසින් මසෙක් අල්වා ගන්නා ලද්දේ වනැයි සතුටු විය; හේ තෙමේ, ‘මට මහ මසෙක් ලැබිණැ’යි ඔසවා බලනුයේ සෝවැති තුන දැක, සර්පයෙකැ’යි හැඳින, බිය පත්ව, ආදීනව දැක, (සපකු) ගැනීමෙහි කලකිරී, මිදෙනු කැමැතිව, මිදෙනු පිණිස උපායයක් යොදනුයේ, නගුට අග පටන් අතෙහි වෙළීම් හරවා, අත ඔසවා දෙතුන් වරක් හිස වට සිසාරවා, සර්පයා දුර්වල කොට ‘යව, දුෂ්ට සර්පය’යි විසිකොට වහා වෑ-ඉවුරට නැගී, ‘ඒකාන්තයෙන් මහා සර්පයකු මුවින් මිදුණෙමි’ යි ආ මග බලමින් සිටියේය.
එහි, මේ යෝගියා මුලින් ආත්මභාවය ලැබ සතුටු වූ කාලය, ඒ පුරුෂයා මත්ස්‍යයෙකැ’යි සර්පයා ගෙලෙන් ගෙන සතුටු වූ කාලය වැනිය; මේ යෝගාවචරයා ඝනීභූතව පැවැති සංස්කාරයන් විග්‍රහ කොට එහි ත්‍රිලක්‍ෂණය දැකීම, ඒ පුරුෂයා කෙමින කටින් හිස ඉවතට ගෙන සෝවැති තුන දැකීම වැනිය; මේ යෝගියාගේ භයතුපට්ඨාන ඤාණය ඒ පුරුෂයා බියපත් වූ කාලය වැනිය, ඉක්බිති ආදීනවානුපස්සනා ඤාණය ඒ පුරුෂයාගේ ආදීනව දැකීම වැනිය; නිබ්බිදානුපස්සනා ඤාණය ඒ පුරුෂයා සර්පයකු ගැනීමෙන් කලකිරීම වැනිය; මුඤ්චිතුකම්‍යතා ඤාණය සර්පයා මුදා හැරීමට කැමැති වීම වැනිය; (යෝගියා විසින්) පටිසංඛානුපස්සනා ඤාණයෙන් සංස්කාරයන් කෙරෙහි ත්‍රිලක්‍ෂණය ආරෝපණය කිරීම සර්පයා මුදාහැරීම පිණිස උපාය යෙදීම වැනිය; යම්සේ වනාහි ඒ පුරුෂයා සර්පයා හිස වට සිසාරවා දුර්වල කොට නැවත, දෂ්ට කළ නොහැකි බවට පමුණුවා මනා සේ මිදේද, එසේම මේ යෝගාවචරයාද ත්‍රිලක්‍ෂණා රෝපණයෙන් සංස්කාරයන් විග්‍රහ කොට, නැවතත් නිත්‍ය-සුඛ-ශුභ-ආත්ම ආකාරයෙන් වැටහෙනු නොහැකි බවට පත් කොට මනා සේ එයින් මිදේ. එහෙයින් ‘මිදෙනු පිණිස උපාය යෙදීම සඳහා මෙසේ පරිග්‍රහ කෙරෙයි’ යනුවෙන් කියන ලදි.