ආදීනවානුපස්සනා ඤාණය
භයතුපට්ඨාන ඤාණය සේවනය කරන, වඩන, ප්‍රගුණ කරන ඒ යෝගාවචරයාහට සියලු භව-යෝනි-ගති-ස්ථිති-සත්‍වාවාසයන්හි ආරක්‍ෂාස්ථානයක්, රැකවරණයක්, යන-එන මඟක්, පිළිසරණක් නොපෙනේ. සියලු භව-යෝනි-ගති-ස්ථිති නිවාසයනට පැමිණි සංස්කාරයන් අතුරෙන් එකදු සංස්කාරයක් කෙරෙහි පැතුමක් හෝ පරාමර්ශයක් (දෘෂ්ටි වශයෙන් ගැනීමක් නොවේ. භවත්‍රයය ගිනිදැල් සිඳුණ අඟුරින් පිරි අඟුරු වළවල් සෙයින්ද, සතර මහාභූත විෂඝෝර සර්පයන් සෙයින්ද, පංචස්කන්‍ධය කඩු ඔසවා ගත් වධකයන් සෙයින්ද, අභ්‍යන්තර ආයතනය පාලුගමක් සෙයින්ද, බාහිර ආයතන සය ගම්පහරන සොරුන් සෙයින්ද, විඤ්ඤාණට්ඨිති සතද, සත්‍වාවාස නවයද එකොළොස් ගින්නෙකින් ඇවිල දිලිසෙන ගිනි ඇති තැන් සෙයින්ද සියලු සංස්කාරයෝ ගඩ සෙයින්ද, ලෙඩ සෙයින්ද, හුල් සෙයින්ද, පාපරෝග සෙයින්ද, ආබාධ සෙයින්ද, ආස්වාද රහිතව, නීරසව, මහදොස් රැසක් වශයෙන් වැටහෙයි.
කෙසේද යත්:- සුවසේ ජීවත් වනු කැමැති, බියසුලු පුරුෂයකුට, රමණීය ආකාරයෙන් දිස්වන මූත් වල්සතුන් පිරි වනගහනයක් සෙයින්ද, දිවියන් ගැවසෙන ගුහාවක් සෙයින්ද, කිඹුලන්, රකුසන් සහිත ජලාශයක් සෙයින්ද, කඩු ඔසවා ගත් සතුරන් සෙයින්ද, විස සහිත බොජුනක් සෙයින්ද, සොරුන් ගැවසෙන මගක් සෙයින්ද, ගිනිගත් ගෙයක් සෙයින්ද, යුදට සැරසුණ සේනා සහිත රණ බිමක් සෙයින්ද වැටහෙයි. යම්සේ ඒ පුරුෂයා එම වල්සතුන් ගැවසී වනගහනාදියට පැමිණ බියපත්ව, සංවේගයට පත්ව, ලොමු දැහැගෙන, සියලු අතින් ආදීනවම දකියි. එසේම මේ යෝගාවචරයාද භඞ්ගානුපස්සනා වශයෙන් සියලු සංස්කාරයන් භය වශයෙන් වැටහුණු කල්හි, හාත්පසින් නීරස, ආස්වාද රහිත, ආදීනවම දකියි. මෙසේ දක්නා ඔහුට ආදීනව ඤාණය උපන්නේ නම් වේ. එම ඥානය සඳහා කියන ලදි:-
“භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානය වනුයේ කෙසේද? ඉපැදීම භයෙකැ’යි යනුවෙන් භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඤාණය වේ; පැවැත්ම භයෙකැ’යි -පෙ- නිමිත්ත භයෙකැයි -පෙ- ආයූහනය (කර්ම රැස්කිරීම) භයෙකැ’යි -පෙ-ප්‍රතිසන්‍ධිය භයෙකැ’යි -පෙ- නිබ්බත්තිය භයෙකැ’යි -පෙ- ජාතිය භයෙකැ’යි -පෙ- ජරාව භයෙකැයි -පෙ- ව්‍යාධිය භයෙකැ’යි -පෙ- මරණය භයෙ’කැයි -පෙ- සෝකය භයෙකැයි -පෙ- වැලපීම භයෙකැ’යි යනුවෙන් භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඤාණය වේ. “නො-ඉපැදීම ක්‍ෂේම (අභය) යැ’යි ශාන්ති පද සංඛ්‍යාත නිර්වාණ විෂයයෙහි ඥානයයි - නොපැවැත්ම -පෙ- අනුපායාසය ක්‍ෂේමයයි, ශාන්ති පදයෙහි ඥානයයි; පැවැත්ම -පෙ-, උපායාසය භයෙකැ’යි, අනුපායාසය ක්‍ෂේමයයි, ශාන්ති පද විෂයයෙහි ඥානයයි;
ඉපැදීම දුකෙකැ’යි යනුවෙන් භයතු පට්ඨානයෙහි ප්‍රඥාව ආදීනව විෂයයෙහි ඥානයයි; නො-ඉපැදීම සැපෙකැ’යි යනුවෙන් ශාන්තිපද විෂයයෙහි ඥානයයි; නොපැවැත්ම -පෙ- අනුපායාසය සැපෙකැ’යි යනුවෙන් ශාන්තිපද විෂයයෙහි ඥානයයි; පැවැත්ම -පෙ- උපායාසය දුකෙකැ’යිද අනුපායාසය සැපෙකැයිද යනුවෙන් ශාන්තිපද විෂයයෙහි ඥානයයි;
ඉපැදීම සාමිෂ (ලෞකික) යයි යනුවෙන් භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනව විෂයයෙහි ඥානයයි; පැවැත්ම -පෙ- උපායාසය සාමිෂයයි යනුවෙන් භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනව විෂයයෙහි ඥානයයි; නො-ඉපැදීම නිරාමිෂයයි යනු ශාන්තිපදයෙහි ඤාණයයි; නොපැවැත්ම -පෙ-, අනුපායාසය නිරාමිෂයයි යනු ශාන්තිපද විෂයයෙහි ඥානයයි; ඉපැදීම සාමිෂයයිද, නො-ඉපැදීම නිරාමිෂය’යි යනු ශාන්තිපද විෂයයෙහි ඥානයයි; පැවැත්ම -පෙ- උපායාසය සාමිෂය, -පෙ- අනුපායාසය නිරාමිෂය’යි යනු ශාන්ති පද විෂයයෙහි ඥානයයි.
ඉපැදීම සංස්කාරයයි යනුවෙන් භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඤාණයයි; පැවැත්ම -පෙ- උපායාසය සංස්කාරයයි යනුවෙන් භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානයයි; නො-ඉපැදීම නිර්වාණයයි යනු ශාන්තිපදයෙහි ඥානයයි. ඉපැදීම සංස්කාරයයි, නො-ඉපැදීම නිර්වාණයයි යනු ශාන්තිපදයෙහි ඥානයයි; පැවැත්ම -පෙ- උපායාසය සංස්කාරයයි අනුපායාසය නිර්වාණයයි යනු ශාන්තිපදයෙහි ඥානයයි.
“උප්පාදඤ්ච පවත්තඤ්ව නිමිත්තං දුක්‍ඛන්ති පස්සති,
ආයූහනං පටිසන්‍ධිං ඤාණං ආදීනවෙ ඉදං.
අනුප්පාදං අප්පවත්තං අනිමිත්තං සුඛන්ති ච
අනායූහන පටිසන්‍ධි ඤාණං සන්තිපදෙ ඉදං
ඉදං ආදීනවෙ ඤාණං පඤ්චට්ඨානෙසු ජායති,
පඤ්චට්ඨානෙ සන්තිපදෙ දස ඤාණෙ පජානාති.
ද්වින්නං ඤාණානං කුසලතා නානාදිට්ඨිසු නකම්පති.”
ඉපැදීමද, පැවැත්මද, නිමිත්තද, ආයූහනයද, ප්‍රතිසන්‍ධියද දුකෙකැ’යි දකියි; මේ ආදීනවයෙහි ඥානයයි.
නො-ඉපැදීමද, නොපැවැත්මද, අනිමිත්තයද, අනායූහනය හා අප්‍රතිසන්‍ධියද සැපෙකැ’යි දකියි; මේ ශාන්තිපද නිර්වාණ විෂයයෙහි වූ ඥානයයි.
මේ ආදීනව විෂයයෙහි ඥානය (ඉපැදීම, පැවැත්ම, නිමිත්තය, ආයූහනය හා ප්‍රතිසන්‍ධියැයි යන) පස් තැනෙහි උපදියි; ශාන්තිපද විෂයයෙහි ඥානයද එසේම පස් තැනෙක්හි උපදිති’යි මේ ආකාරයෙන් මේ දශඥානය දනියි; මේ ඥානද්වයයෙහි කුශලතාව නානාවිධ දෘෂ්ටීන් විෂයයෙහි නොසැලේ.
දන්නා ලදැ’යි යන අර්ත්‍ථයෙන් එය ‘ඤාණ’ නමි; (අනිත්‍යාදී ත්‍රිලක්‍ෂණය) යථා තත්ත්‍වයෙන් දනී යන අර්ත්‍ථයෙන් ‘පඤ්ඤා’ නමි. එහෙයින් භයතුපට්ඨානයෙහි ‘පඤ්ඤා’ යයිද ආදීනයෙහි ඤාණ යයිද කියනු ලැබේ.
එහි ‘උප්පාද’ (ඉපැදීම) යනු, පූර්ව කර්ම හේතුවෙන් මේ භවයෙහි ඉපැදීමයි; ‘පවත්ත’ (පැවැත්ම) යනු, එසේ උපන්නහුගේ පැවැත්මයි, ‘නිමිත්ත’ යනු, සියලු සංස්කාරයන් පිළිබඳ නිමිතියි; ‘ආයූහන’ යනු, මතු ප්‍රතිසන්‍ධියට හේතුවන කර්මයන් රැස්කිරීමයි; ‘පටිසන්‍ධි’ යනු, මතු භවයෙහි ඉපැදීමයි; ‘ගති’ යනු, (නිරය ආදී) යම් ගතියෙකින් ඒ ප්‍රතිසන්‍ධිය වේනම් එයයි; ‘නිබ්බන්ති’ යනු, ස්කන්‍ධයන්ගේ හටගැනීමයි, ‘උප්පත්ති’ යනු, “සමාපන්නස්ස වා උප්පන්නස්ස වා” (සමන්විත වූවහුගේ හෝ ප්‍රතිසන්‍ධියට පැමිණියහුගේ) යයි කියන ලද විපාක ප්‍රවෘත්තියයි. ‘ජාති’ යනු, ජරා ආදියට හේතු වූ, භව-හේතුවෙන් ඇති වූ ඉපැදීමයි. ජරාමරණ ආදිය ප්‍රකට වූ අර්ත්‍ථ ඇත්තේම වේ. එහි ‘උප්පාදය’ ආදී කොට ඇති පසම ආදීනව ඥානයට වස්තු වශයෙන් කියන ලදි, සෙසු (ගති, නිබ්බන්ති ආදිය) එකී පසටම පර්යාය වශයෙන් කියන ලදි. ‘නිබ්බත්ති’, ‘ජාති’ යන දෙක ‘උප්පාද’ යන්නටද ‘පටිසන්‍ධි’ යන්නටද පර්යාය වේ, ‘ගති’, ‘උප්පත්ති’ යන මෙ දෙක ‘පවත්ත’ (පැවැත්ම) යන්නටද, ‘ජරා’ ආදිය ‘නිමිත්ත’ යන්නටද පර්යාය වේ. එහෙයින් කීහු:-
උප්පාදඤ්ච පවත්තඤ්ච නිමිත්තං දුක්‍ඛන්ති පස්සති,
ආයූහනං පටිසන්‍ධිං ඤාණං ආදීනවෙ ඉදං තිච
ඉදං ආදීනවෙ ඤාණං පඤ්ච ඨානෙසු ජායතී’තිච
ඉපැදීමය, පැවැත්මය, නිමිත්තය, ආයූහනය, ප්‍රතිසන්‍ධිය’යි යන මේ පස ආදීනවයෙහි “ඤාණ” යයිද, මේ ආදීනවයෙහි ඥානය මෙකී පස් තන්හි උපදිති’යි යනුයි.